ඉක්මනින් පළාත් සභා ඡන්දය තියන්න - ඉන්දියාව - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Mar 23, 2021

ඉක්මනින් පළාත් සභා ඡන්දය තියන්න - ඉන්දියාව

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනයට අනුව කඩිනමින් පළාත් සභා මැතිවරණය පවත්වා ඒවාට කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක වීමට අවස්ථාව සැලසිය යුතු යැයි ඉන්දීය ප්‍රකාශ කරයි. 

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාවට සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉන්දීය නියෝජිතයා අද (23) එම ප්‍රකාශය කළේය. 

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරය පසුගිය මාසයේ දී ආරම්භ වූ අතර එක්සත් රාජධානිය ප්‍රමුඛ මූලික කණ්ඩායම ශ්‍රී ලංකාවේ මානව හිමිකම්, වගවීම හා ප්‍රතිසන්ධානය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාවට අදාළ ඡන්ද විමසීම අද (23) පැවැත්විණි.

එහිදි අදහස් දැක්වූ ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයා ඉන්දීය රජයේ ස්ථාවරය පැහැදිලි කරමින් මෙසේ කීය.

“එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය තුළ ඇතුළත් මානව හිමිකම් ආරක්ෂා කිරීම හා ප්‍රවර්ධනය, ඵලදායී ජාත්‍යන්තර සංවාද සහ සහයෝගීතාව පවත්වා ගැනීම සෑම රාජ්‍යයකම මූලික වගකීම යැයි ඉන්දියාව විශ්වාස කරනවා. ශ්‍රී ලංකාව යනු ඉන්දියාවේ ආසන්නතම අසල්වාසියෙක්. 

ඉන්දියාව 2009 වසරේ සිට ශ්‍රී ලංකාවට සහන ලබා දී තිබෙනවා. එමෙන්ම පුනරුත්ථාපන සහ නැවත පදිංචි කිරීමේ කටයුතුවලට ද ඉන්දීය, ශ්‍රී ලංකාවට සහාය ලබා දී තිබෙනවා. අපි ශ්‍රී ලංකාවට සංවර්ධන සහාය ලබාදීමේ දී විශේෂයෙන්ම උතුරු හා නැගෙනහිර පළාත්වල ජීවත්වන ජනතාවගේ ජීවනෝපාය සහ ආර්ථිකය පුනර්ජීවනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනවා. 

ඉන්දියාව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ප්‍රශ්නයට ප්‍රවේශ වන්නේ මූලික කරුණු දෙකක් පදනම් කරගෙනයි. ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට සමානාත්මතාව, යුක්තිය/සාධාරණත්වය, අභිමානය සහ සාමය උදාකරදීමට සහාය වීම ඉන් පළමුවැන්නැයි. 

ශ්‍රී ලංකාවේ එක්සත් බව, ස්ථාවරත්වය සහ භෞමික අඛණ්ඩතාව දෙවැන්නයි. මේ කරුණු දෙක ශ්‍රී ලංකාවේ ප්‍රගතියට ඉවහල් වන බවත් අන්‍යෝන්‍ය වශයෙන් උපකාරී වන බවත් එමෙන්ම ඉහත කී අරමුණු ඉටු වන බවත් අපි සෑම විටම විශ්වාස කරන්නෙමු. 

දේශපාලනමය වශයෙන් බලය බෙදීම, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනයට අනුව පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වමින් පළාත් සභා කාර්යක්ෂමව පවත්වාගෙන යෑම තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකා රජයට උපකාරී වන්නැයි ඉන්දියාව ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරනවා. 

ඒ වගේම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය, එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිවාරයේ දී යෝජනාවලින් ලබා දී තිබෙන බලතල අනුව ක්‍රියාකරනු ඇතැයි ද අපි විශ්වාස කරනවා. 

ශ්‍රී ලංකාවේ සියලු දෙනාගේ මූලික අයිතිවාසිකම් සහ මානව හිමිකම් සම්පූර්ණයෙන්ම ආරක්ෂා කරමින් සහ ජාත්‍යන්තර ප්‍රජාව සමඟ ඵලදායී අයුරින් සම්බන්ධ වන්නැයි ද සංහිඳියා/ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය ඉදිරියට ගෙන යමින් දෙමළ ප්‍රජාවගේ අභිලාෂ ඉටු කරන්නැයි ද අපි ශ්‍රී ලංකා රජයට අවධාරණය කරනවා.”

Classified_Ad

Classified_Ad_News_Bottom