දේශීය යාන්ත්‍රණය අඛණ්ඩව - විදේශ ඇමති කියයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Mar 23, 2021

දේශීය යාන්ත්‍රණය අඛණ්ඩව - විදේශ ඇමති කියයි

එක්සත් මානව හිමිකම් කවුන්සලයේ දී කුමන යෝජනා සම්මත කරගත්ත ද , ශ්‍රී ලංකාව අනුගමනය කරන දේශීය යාන්ත්‍රණය රටේ ජනතාව වෙනුවෙන් අඛණ්ඩවම ක්‍රියාත්මක කරන බව විදේශ කටයුතු ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා අද (23) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
 
රටේ ස්වෛරීත්වය, පැවැත්ම ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් මානව හිමිකම් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා විසින් පත්කර තිබෙන කොමිසමේ කටයුතු අඛණ්ඩවම ගෙන යන බවද විදේශ අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කීය. 

විදේශ ඇමැතිවරයා‍ මේ බව සඳහන් කළේ ජිනීවා මානව හිමිකම් කවුන්සලයේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත වූ යෝජනාව පිළිබඳ ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය දැනුම් දීමට අද(23) පස්වරුවේ විදේශ අමාත්‍යාංශයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි. 

එක්සත් ජාතීන්ගේ මූලික සිද්ධාන්ත ප්‍රතික්ෂේප කරමින් එක්සත් රාජධානිය, කැනඩාව, ජර්මනිය, මලාවි රාජ්‍යය, මොන්ටිනීග්‍රෝ සහ උතුරු මැසිඩෝනියාව විසින් ඉදිරිපත් කළ යෝජනාව ජගත් මානව හිමිකම් කොමිසමේ ඡන්ද විමසීමේ දී බහුතර බලයක් ලබාගැනීමට නොහැකි වූ බව විදේශ අමාත්‍යවරයා කියා සිටියේය. 

මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ සෑම පුරවැසියෙකු වෙනුවෙන්ම එලෙස කටයුතු කරන බවත් , එසේ වුවද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළුව අන්තර්ජාතික සංවිධාන සහ ලෝකයේ සෑම රටක් සමඟම සහයෝඟයෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකාව සූදානම් බවය. 

ජගත් මානව හිමිකම් කවුන්සලයට ද එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට එරෙහිව කටයුතු කළ නොහැකි බවත් එම කොමිසම ඇතිකළ මූලික යෝජනාවට ද පටහැනි ලෙස කටයුතු කළ නොහැකි යැයිද හෙතෙම කීය. 

 එසේම මෙවර සැසියේදී මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය විසින් ශ්‍රී ලංකාව ගැන ඉදිරිපත් කළ වාර්තාව අසාධාරණ කරුණු සහ වැරැදි සංඛ්‍යා ලේඛන මත ඉදිරිපත් කර ඇති බවත්, ඒ ගැන කවුන්සිලය ඉදිරියටත් කටයුතු කරන්නේ නම් බහුතරයකින් ප්‍රතික්ෂේප කරන්නැයි කවුන්සිලයේ සාමාජික රටවල් වලින් ලංකාව ඉල්ලීමක් කළ බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය. 

 එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට පටහැනි ලෙස එක් රටක් ඉලක්ක කරගෙන යෝජනා ඉදිරිපත් කළ නොහැකි බවත් , මෙවැනි යෝජනා ඉදිරිපත් කරන අවස්ථාවක ලෝකයේ පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කිරීමේ අවශ්‍යතාවය මානව හිමිකම් කවුන්සිලයට පෙන්වා දුන් බවද අමාත්‍යවරයා මාධ්‍ය හමුවේදී කීයා සිටියේය. 

ලෝකයේ ආර්ථික අසාධාරණයට පත්ව සිටින රටවල් බලවත් රටවල් විසින් පාලනය කිරීමේ තත්ත්වයට අලුත් මතයක් ඇතිකර තිබෙන බව ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව පිළිබද ඡන්ද භාවිතයෙන් පැහැදිලිවී ඇති බවත් , ඊට අදාළව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහත්වරු ප්‍රමුඛ රජය ගතහැකි සියලු පියවරයන් ගත් බවද ගුණවර්ධන මහතා එහිදී වැඩිදුරටත් කීවේය. 

ශ්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් කවුන්සලයට ඉදිරිපත් කළ යෝජනාවට විරුද්ධව ඡන්ද 11ක් සහ තවත් රටවල් 14ක් ඡන්දය ලබාදීමෙන් වැළකී සිටීමෙන් ඡන්ද 25ක් බ්‍රිතාන්‍ය ප්‍රමුඛ රටවලට ලබාගත නොහැකි වූ බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. 

ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය ආරක්ෂා කරමින් නිවැරැදි තොරතුරු බෙදාහදා ගැනීම වෙනුවෙන් ලෝකයේ සෑම රටක් සමඟම කටයුතු කරන බැවින් මේ වනවිට ශ්‍රී ලංකාවේ සෑම පුරවැසියෙකුටම නිදහසේ ජීවත්වන්නට අවශ්‍ය පරිසරය නිර්මාණය කර තිබෙන බවද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය. 

කලාපීය සහයෝගිතා රාජ්‍ය ඇමැති තාරක බාලසූරිය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන යදාමිණී ගුණවර්ධන, සුරේන් රාඝවන්, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහත්වරු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

Classified_Ad

Classified_Ad_News_Bottom