


චිත්‍රපටයේ පෙම්වතිය ශ්‍රී නමැති තරුණියයි. ඇය හිත හොඳ, අනුන්ට උදවු කරන තැනැත්තියකි. චිත්‍රපටය ආරම්භයේ දීම කෙනකුට පිහිටවීමට යන ශ්‍රී අකරතැබ්බකට මුහුණ දෙයි.
රෝහලේ දී ලොකු අමාරුවක වැටෙයි. සිරුර සිහිසුන් වී කෝමා තත්ත්වයකට පත් වෙද්දී ශ්‍රීගේ ආත්මය ලොකු ටෙඩි බෙයා කෙනකුගේ සිරුරට යයි.
ආර්යා චරිත නිරූපණයෙන් එක් වන්නේ ශිවා නමැති පෙම්වතාගේ චරිතයටය. ශිවා වෙනස් කෙනෙකි. බුද්ධිමත් දක්ෂයෙකි. ජීවිතය තේරුම්ගත් අයකු වන අතර ඉගෙනීම අතින් පරතෙරට ගිය අයෙකි. ඕනෑ දේකට ඔට්ටුය. ජීවිතය තේරුම්ගත් නිසාම, මව සමඟ ජීවත් වන ශිවා ට සිටින්නේ එක් යහළුවකු පමණි.
ශ්‍රීගේ ආත්මය සහිත ටෙඩී, ශිවා ට හමුවීමත් සමඟ ශිවාගේ ජීවිතය වෙනස් වෙයි. ශිවා ට හොඳ යෙහෙළියක හමුවෙයි.
ශිවා සහ ශ්‍රී ටෙඩි බෙයාර් එක් වී, ශ්‍රී ට සිදුවුණේ කුමක්දැයි සොයයි.
රෝහලේ නපුරන්ගෙන් බේරී, ශ්‍රී ට යළි ඇගේ සිහිසුන් සිරුරට යා හැකි වේවිද? එවිට ඇයට ශිවා අමතක වේවිද? දෙමළ සිනමාවේ ප්‍රියතම සටන් ජවනිකාවලින් පිරුණු 'ටෙඩී' චිත්‍රපටය අවසානයේ ඇති කුතුහලය මෙයයි.
ශ්‍රීගේ චරිතයට පණපොවන්නේ සයියේෂා සයිගාල් ය. 2015 දී 'අකිල්' චිත්‍රපටයෙන් රංගනයට පිවිසි ඇය මේ වනවිට සිනමා නිර්මාණ රැසකට එක් වී සිටී.
'ටෙඩී' චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා ශක්ති සවුන්දර් රාජන් ය. අමුතු විදියේ, සම්ප්‍රදායික රාමුවෙන් වෙනස් වුණු දෙමළ චිත්‍රපට අධ්‍යක්ෂකවරයකු ලෙස ශක්ති සවුන්දර් රාජන් ප්‍රකටය.
2016 දී රාජන් අධ්‍යක්ෂණය කළ 'මිරුතාන්', සොම්බි චිත්‍රපටයකි. 2018 දී අධ්‍යක්ෂණය කළ 'ටික් ටික් ටික්' චිත්‍රපටය ග්‍රහකයකින් පෘථිවිය බේරා ගැනීමට ඉන්දීය අභ්‍යවකාශ ආයතනයෙන් අභ්‍යවකාශයට යන ගගනගාමීන් කණ්ඩායමක් ගැනය. 2014 දී තිරගත වුණු 'නියාගාල් ජාකිරන්තායි' පොලිස් නිලධාරියකු සහ ඔහුට සහාය වන හමුදා නිල සුනඛයකු ගැනය.
෴ලුසිත ජයමාන්න