රංගනයටත් නර්තනයටත් හපන් ඉසබෙල් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Mar 27, 2021

රංගනයටත් නර්තනයටත් හපන් ඉසබෙල්


බොලිවුඩ් සුරූපිනී, කත්‍රිනා කායිෆ්ගේ බාල නැගණිය ඉසබෙල් බොලිවුඞ් ක්ෂේත්‍රයට පැමිණ සිටින්නීය. ඒ, 'ටයිම් ටු ඩාන්ස්' චිත්‍රපටිය හරහාය. චිත්‍රපටයේ ඉසබෙල්ගේ පෙම්වතා වන්නේ නවක නළුවකු වන සූරජ් පංචෝලි ය. 'ටයිම් ටු ඩාන්ස්' ඉසෙබෙල්ගේ පළමු බොලිවුඩ් චිත්‍රපටය වන අතර, මෙය සූරජ් පංචෝලිගේ පළමු නර්තන චිත්‍රපටයයි. 

“මා නැටුම්වලට හරිම කැමතියි. විශේෂයෙන්ම හිප්හොප් නැටුම් මම ප්‍රිය කරනවා. මේ චිත්‍රපටිය නිසා මට බෝල් රූම් නැටුම්, වගේම ලතින් නැටුම් මාදිලිත් හදාරන්න සිදු වුණා. ඇත්තටම මම මේ වෙනකම් බෝල් රූම් නැටුම් නටන්න උත්සාහ කරලා තිබුණේ නෑ.” ඉසබෙල් බොම්බේ ටයිම්ස් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් කියයි.

“මා දක්ෂ නර්තන ශිල්පිනියක් නොවෙයි. ඒත් මට සාමාන්‍යයෙන් නැටුම් පුළුවන්. ඒත් කවදාවත් ලතින් නැටුම් ඉගෙනගෙන තිබුණෙ නෑ. ලතින් නැටුම් වර්ග දහයක් තියෙනවා කියලා දැන ගත්තම මා පුදුම වුණා. ඇත්තටම ඒවා එකකට එකක් වෙනස් ඒවා. ඉගෙන ගන්න හරිම අමාරුයි. ඒත් ඉසබෙල් මට වඩා හොඳ නර්තන ශිල්පිනියක්. ඇගේ පළමු චිත්‍රපටිය මේක වුණත් ඇය තමයි මට නර්තනය පහසු කළේ.” සූරජ්, ඉසබෙල් ගැන වර්ණනා කරයි.

ඉසබෙල් ගේ මව ඉංග්‍රිසි ජාතික කාන්තාවක් වන අතර පියා කාශ්මීර ජාතිකයෙකි. කත්‍රිනා ඇයගේ වැඩිමල් සොහොයුරිය වන අතර තවත් වැඩිමල් සොහොයුරියන් පස් දෙනකු, සොහොයුරෙක් ඇයට සිටී. ඉසබෙල් නිරූපිකාවක ලෙස වෘත්තීය ජිවිතය ඇරඹුවේ වයස අවුරුදු 14 දීය. 
“පුංචි කාලේ ඉඳලම බොලිවුඞ් මගෙ හිතට සමීපයි. මා හුඟාක් හින්දි චිත්‍රපටි බලන්න පුරුදු වෙලා හිටිය. මගේ අම්මත් එහෙමයි. ඇය ලගාන් චිත්‍රපටිය මට කී වාරයක් පෙන්නුව ද කියලා මට මතකත් නෑ. ඒ වගේම කාජල් ඉන්න චිත්‍රපටි බලන්නත් මා හරි කැමතියි. මගේ ප්‍රියතම නිළිය කාජල්.” ඉසබෙල් පවසන්නේ ඉමහත් සතුටකිනි.

කත්‍රිනා, බොලිවුඩය තුළ සාර්ථක වෙද්දී ඉසබෙල්ට ද ඒ පිළිබඳ ආශාවක් ඇති වූයේය. එම නිසාම ඇය රඟපෑම, අධ්‍යක්ෂණය, නිෂ්පාදනය පිළිබඳව හැදෑරීම සඳහා ලොස් ඇන්ජලීස්හි පාසැලකට ඇතුළත් වූවාය. 

කත්‍රිනා ඇයට විශාල ශක්තියක් වූයේය. මුම්බායිවලට පැමිණි විට ඇය තමාට දුන් උපදෙස වන්නේ මේ ක්ෂේත්‍රය ජීවිතයටත් වඩා විශාල බවත්, එහි රැඳී සිටින්නට නම් බොහෝ වෙහෙස වී වැඩ කළ යුතු යැයි ඉසබෙල්ගේ අදහසය. 
ඉසබෙල් චිත්‍රපටයට එක්වන්නේ ඊෂා ලෙසිනි. ඊෂා වෘත්තීය මට්ටමේ දක්ෂ බාල් නර්තන ශිල්පිනියකි. ඇය නර්තනයේ යෙදෙන්නේ ඇය මෙන්ම වෘත්තීය මට්ටමේ නර්තන ශිල්පියකු වන විලියම් සමඟය. විලියම් ලෙස චරිත නිරූපණයේ යෙදෙන්නේ සැමී ජෝන්ස් හීනී ය. 

ඊෂා පාදයේ ආබාධයකට ලක් වෙද්දී, විලියම් ට සිදුවන්නේ ඇයට සමුදීමටය. ඊෂාට වීදි නර්තන ශිල්පියකු මෙන්ම වේටර්වරයකු ලෙස ද රැකියාව කරන ඉන්දියන් තරුණයකු හමුවන්නේ ඉන්පසුවය. ඔහු රිෂාබ් (සූරජ් පංචෝලි) ය. 

රිෂාබ්, ඊෂාගේ නර්තන සිහිනය සැබෑ කර ගැනීමට උදවු වෙන්නේ බාල් නර්තන ශිල්පියකු ලෙස පුහුණු වීමෙනි. මිනිත්තු 113 ක් පුරා දිවෙන ටයිම් ටු ඩාන්ස් චිත්‍රපටයේ ඇත්තේ, බොහොමයක් නර්තන චිත්‍රපටවල දකින්න ලැබෙන කතා තේමාවය. බාධකවලට අභියෝග කරමින් අවසානයේ ජය ගැනීමය. 

හොලිවුඩයේ පමණක් නොව බොලිවුඩයේ ද නර්තන චිත්‍රපට ප්‍රකටය. ඒ අතරට එක්වන නවතම චිත්‍රපටය වන්නේ 'ටයිම් ටු ඩාන්ස්' ය. චිත්‍රපටය මෙනිනෝ දි කොස්තාගේ අධ්‍යක්ෂණයකි. 

බොම්බේ ටයිම්ස්

Classified_Ad

Classified_Ad_News_Bottom