විලෙන් මතුවුණු හොල්මන් නගරය - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Mar 27, 2021

විලෙන් මතුවුණු හොල්මන් නගරය

කිලෝ මීටර් 400 ක් පමණ ඉහළින් පෘථිවි කක්ෂයේ රඳවා ඇති අභ්‍යවකාශ නැවැතුම්පොළ පහළ ඇති දේ ඡායාරූපයට නගයි. පෘථිවියේ පහළ සිදුවන භූමියේ වෙනස් වීම්, කාලගුණ පෙරැළි ආදී සියල්ල ඉහළ සිට නෙත් හෙළන අභ්‍යවකාශ නැවැතුම්පොළට දකින්න ලැබේ. 

2012 වසරේ, අභ්‍යවකාශ නැවැතුම්පොළ ලතින් ඇමෙරිකාව ඉහළින් ගමන් කරමින් තිබුණි. ලතින් ඇමෙරිකාව හෙවත් දකුණු ඇමෙරිකාවේ ආජන්ටිනාවේ, ජනගහනයෙන් වැඩිම නගරය ලෙස සැලකෙන, බුවනෝස් අයර්ස් නගරයේ සිට සැතපුම් 300 ක් නිරිතදෙසින් පිහිටි විශාල විලක් සහ ඒ අවට භූමියේ දසුන් ද එසේ ගත් ඡායාරූප අතරට ඇතුළත්ය. 

බැලූ බැල්මට කිසිදු අමුත්තක් දකින්න නොලැබුණි. කෙසේ නමුත් වසර තුනකට පසු, පෘථිවි කක්ෂයේ රඳවා ඇති අවේක්ෂණ චන්ද්‍රිකාවක් මෙම විල සහ ඒ අවට භූමිය ඡායාරූපයට නැගූ අවස්ථාවේදී අසාමාන්‍ය දෙයක් දකින්න ලැබුණි. 

ඒ, විලේ ජලය දෙබෑ කරගෙන ඉහළට මතුවුණු නගරයකි. එය කුමක් හෝ මහා ව්‍යසනයකට හසුවී, නටබුන් වී ගිය හොල්මන් නගරයකි. 

ඇමෙරිකන් ජාතික මයික් පැවැලෙක් ඉතිහාසඥයෙකි. ඒ වගේම, ඔහු හමුදා කටයුතු සම්බන්ධයෙන් විශේෂඥයෙකි. විනාශයක තරම හොඳින් හඳුනා ගත හැකි විදියේ දක්ෂයෙකි. 

‘මුලින්ම මේ චන්ද්‍රිකා ඡායාරූප දකින්න ලැබුණු වෙලාවේ මම පුදුම වුණා. ඡායාරූපයේ දකින්න ලැබුණේ නටබුන් වුණු නිවාස සහ ගොඩනැගිලි. මහා විනාශයක් සිදුවෙලා. මේ විල කේන්ද්‍රකොට ගනිමින් යුද්ධයක් හටගත්තේ නැහැ. ඒ නිසා මේ නගරයට සිද්ධ වුණේ මොකක්දැයි දැනගන්න මට දැකගන්න ඕනෑ වුණා. මම ගියා විල පිහිටි තැනට’ යැයි මයික් පැවැලෙක් පවසයි. චන්ද්‍රිකා ඡායාරූපවලින් පැවැලෙක්ට වැඩි යමක් පැහැදිලි කිරීමට නොහැකි විය. 

හොල්මන් නගරය සියැසින් දැක ගැනීමට, පැවැලෙක් ඇතුළු රූපවාහිනී කණ්ඩායමක් සැතපුම් 4,000 ක ගුවන් ගමනින් පසු බුවර්නෝස් අයර්ස් නගරය බලා පැමිණියේය. කුලියට ගත් පිකප් රියක නැගුණු ඔහු ඉන්පසු දකුණුදෙසින් පිහිටි අබිරහස් ‘හොල්මන් නගරය’ බලා ගමන් ආරම්භ කළේය. 

පැවැලෙක් සහ රූපවාහිනී කණ්ඩායම විලට ආසන්න වෙද්දී හිරු බැස යමින් තිබුණි. කෙමෙන් කෙමෙන් පරිසරයේ ස්වභාවය වෙනස් වන බව පැවැලෙක්ට දකින්න ලැබුණි. 

මහ මූසල තැනක්. මේ වගේ පාළුවට ගිය මූසල තැන් බටහිර ගොපළු චිත්‍රපටවල මං දැකලා තිබෙනවා. ඇමෙරිකාවේ තවමත් මෙවැනි පාළුවට ගිය අතහැර දැමූ නගර තිබෙනවා. අතහැර දැමුණු පතල් තියෙනවා. නගරයට දිවෙන මාර්ගයේ තාර ගැලවිලා. ඉරිතලලා. අබලන් වෙලා. අවට නිවාස සහ ගොඩනැගිලිවල නටබුන් පමණක් මහ මූසල පෙනුමට දකින්න ලැබුණි. නිවාස සහ ගොඩනැගිලිවල බිත්ති කොටස් පමණි. 

වහල කැඩී සුන් විසුණු වී ගිය නිවාස ඇත්තේ කිහිපයකි. නගරය මැදට යද්දී පැවැලෙක් සහ රූපවාහිනී කණ්ඩායමට විනාශයේ අති බිහිසුණු ස්වරූපය පැහැදිලිව දකින්න ලැබුණි. 
චන්ද්‍රිකා ඡායාරූපයෙන් දකින්න ලැබුණාට වඩා මහා පරිමාණයේ ව්‍යසනයක් නගරය මැදට ගිය විට පෙනෙන්න විය. එය පරමාණු බෝම්බයක් පිපිරීමෙන් පසු දකින්න ලැබෙන ව්‍යසනයක් බඳුය. දකින්න ඉතිරි වී ඇත්තේ තැනින් තැන ඇති මියගිය ගස් කඳන් කිහිපයකි. මිනිස් පුළුටක් දකින්න නොලැබෙයි. සතකු යැයි කීමට හැක්කේ ඉදහිට දකින්න ලැබෙන ලිහිණියකු පමණි. 

‘එපෙක්වෙන්’ නමැති මේ මූසල නගරයේ ඇඟ කිලිපොළා දැඩි නිහඬතාවක් පවතී. සිදුවුණු මහා ව්‍යසනයකින්, නගරය මුළුමනින්ම වැනැසී ගොසිනි. වසර 25 කට ආසන්න කාලයක් තිස්සේ ජලයෙන් යටවී තිබුණු ‘එපෙක්වෙන්’ නගරය කෙමෙන් කෙමෙන් ඉහළට මතුවෙන්න පටන්ගෙන ඇත්තේ 2010 වසරේදීය. 

නගරය ජලයෙන් යටවී ගියේ 1985 වසරේ නොවැම්බර් 10 වැනිදාය. සාමාන්‍යයෙන් මහා පරිමාණයේ ආපදාවක් සිදුවුණු ස්ථානයක දකින්න නොලැබෙන විදියේ අසාමාන්‍ය දෙයක් පැවැලෙක්ගේ නෙත ගැටුණි. නටබුන් සියල්ල අසාමාන්‍ය විදියේ සුදු පැහැ කුඩු (පවුඩර් වැනි) විශේෂයකින් වැසී පවතී. 

‘එපෙක්වෙන්’ නගරයේ සුලමුල දැන ගැනීමේ අටියෙන්, පැවැලෙක් ප්‍රාදේශිය භාෂා පරිවර්තනකුගේ සහාය ලබා ගැනීමට අපේක්ෂා කළේය. ඔහු ගීෂා ලෝන්ගීය. ගීෂා ලෝන්ගී කියා සිටියේ, ‘එපෙක්වෙන්’ නගරයට නුදුරින් වෙනත් නගරවල වෙසෙන පුද්ගලයන්ගෙන් සිදුවුණේ කුමක්දැයි හෝඩුවාවක් දැන ගැනීමට හැකිවනු ඇතැයි කියාය. නටබුන් වුණු හොල්මන් නගරයට ආසනන්තම මිනිස් වාසය වූයේ ‘කාර්වේ’ නමැති කුඩා නගරයයි. 

පැවැලෙක් සහ ගීෂා දෙදෙනා කාර්වේ නගරය බලා ගමන් ඇරැඹූහ. ගීෂා පවසන පරිදි, ‘එපෙක්වෙන්’ නගරයේ සිදුවුණු විනාශය සහ නගරයට සිදුවුණේ කුමක්දැයි යන්න සම්බන්ධයෙන් නොයෙක් නොයෙක් මත පවතී. පැවැලෙක් සහ ගීෂා හමුවීමට ගියේ නීතීඥවරයෙකි. ඔහුගේ නම එසීකිල් එන්සීනා බාසෝ ය. 

නීතීඥ බාසෝ ‘එපෙක්වෙන්’ නගරයේ සිදුවුණේ කුමක්දැයි යන්න සම්බන්ධයෙන් නගරය අතහැර පලා ගිය නගර වැසියන්ගෙන් කටඋත්තර සටහන් කරගත් නීතීඥවරයාය. නගරය වැනැසෙන්න පෙර ජලයට ඉහළින් අමුතු විදියේ දීප්තිමක් ආලෝකයක් විහිදෙන්න වුණැයි ‘එපෙක්වෙන්’ නගරයේ ඇතැම් පදිංචිකරුවන් තමාට පැවැසූ බව බාසෝ කියයි. 

‘විලෙන් අමුතු විදියේ එළියක් විහිදෙන්න වුණා යැයි බොහෝ දෙනෙක් මා සමඟ පැවැසුවා. ඒත් මට නම් එහෙම එළියක් දකින්න ලැබිලා නැහැ.’ බාසෝ වැඩි දුරටත් කියා සිටී. දකින්න ලැබුණැයි කියන මේ දීප්තිමත් ආලෝකයෙන් පසු, හිටිහැටියේ මහා ජල ගැලීමකට ‘එපෙක්වෙන්’ නගරය හසුවී තිබේ. 

නගරය මුළුමනින්ම විනාශ කළේ සුනාමියක් සේ ආ විලේ ජල කඳය. එම කටඋත්තරයත්, දකින්න ලැබුණු සාක්ෂිත් අනුව, සැබැවින්ම භූගෝලීය පෙරැළියක් නිසා මේ මහා විනාශය සිදුවුණු බව පැහැදිලි විය. 

කෙසේ නමුත් විලෙන් දීප්තිමත් ආලෝකයක් විහිදීම සම්බන්ධයෙන් පැවැලෙක් අන්දුන් කුන්දුන් විය. 

ආජන්ටිනාවේ සිටින පැවැලෙක් ඔහුගේ මිතුරකු මෙන්ම භූ විද්‍යාඥයකු ද වන ඇලන් ලෙස්ටර්ට වීඩියෝ ඇමැතුමක් ලබා දී, ‘එපෙක්වෙන්’ නගරය ගැනත්, විලෙන් විහිදුණු ආලෝකය ගැනත්, නගරය ජලයෙන් යටවීම ගැනත් විස්තර පැවැසීය.

‘ආලෝකයක් විහිදුණැයි කීම නම් පුදුමයට කාරණාවක්. කොහොම නමුත් අසාමාන්‍ය භූගෝලීය සන්සිද්ධියක් තිබෙනවා. අප එය හඳුන්වන්නේ ‘ඊ.කියු.එල්’ යන නමින්. සරලව කීවොත් භූ කම්පන එළි. ඒ කියන්නේ, ඇතැම් භූමි කම්පා සිදුවෙද්දී, දීප්තිමත් ආලෝකයක් පොළොවෙන් විහිදීමක් සිදුවී තිබෙනවා. මේ ගැන ඇසින් දුටු සාක්ෂි රැසක් ලැබී තිබෙනවා. කෙසේ නමුත් මෙහෙම වෙන්නේ ඇයි කියලා විද්‍යාඥයන්ට තවමත් පැහැදිලි කරන්න හැකියාවක් ලැබිලා නැහැ. ඇතැම් විට මෙසේ ආලෝකයක් දිස්වන්නේ භූමි කම්පා සමඟ තාපය හෝ විදුලිය නිපදවීමක් සිදුවීමෙන් යැයි අප සැක කරනවා. ඒත් ඒක තහවුරු වෙලා නැහැ.’ යැයි භූ විද්‍යාඥ ඇලන් ලෙස්ටර් පැහැදිලි කළේය. 

කෙසේ නමුත් ‘එපෙක්වෙන්’ නගරය පිහිටා ඇත්තේ භූමි කම්පාවක් හටගන්නා ස්ථානයක නොවේ. භූමි කම්පා හටගන්නේ භූ තැටි මායිම් එකිනෙකා මත ගැටෙද්දීය. භූමි කම්පා හටගන්නේ භූ තැටි මායිම් ඇති ස්ථානවල පමණි. ‘එපෙක්වෙන්’ නගරයට ආසන්නතම භූ තැටි මායිම ඇත්තේ සැතපුම් 600 කට වඩා දුරිනි. 

භූ විද්‍යාඥයන්ට මෙම නගරය ආශ්‍රිතව ජල ගැලීම් සිදුවෙද්දී, කිසිදු භූ චලනයක් ගැන වාර්තා වී නැත. ‘එපෙක්වෙන්’ නගරයට සිදුවුණේ කුමක්දැයි යන්න සම්බන්ධයෙන් පැහැදිලි හෝඩුවාවක් ලබා ගැනීමේ අරමුණ ඇතිව දිගටම සෝදිසි කිරීම් සිදුවිය. තොරතුරු රැස් කර ගැණින.

‘මපූචි’ නමැති ස්වදේශීය ගෝත්‍රිකයන් ගැන ගීෂාගෙන් පැවැලෙක් දැනගත්තේය. ‘මපූචි’ ගෝත්‍රිකයන් කිහිප දෙනකු නගරයේ ඈත කෙළවර නටබුන් වූ ප්‍රදේශයේ ජීවත් වෙන බව ඔවුන්ට දැනගන්න ලැබුණි. ඔවුන් හමුවීමට ගිය පැවැලෙක්, භාෂා පරිවර්තක සගයා ගීෂාගේ උදවු ඇතිව ඔවුන්ගෙන් කරුණු කාරණා විමසීමක් කළේය. 

පැවැලෙක් සමඟ කථාබහට එක් වූයේ ‘මපූචි’ ගෝත්‍රික කාන්තාවක සහ පිරිමියෙකි. කාන්තාව මැදිවියේ පසුවුණු තැනැත්තියකි. ඔවුන් පෙන්වා දුන්නේ විලේ ගුප්ත මැජික් බලයක් ඇති බවය. මපූචි ගෝත්‍රිකයන්ගේ ඇදහිලි සහ විශ්වාස අනුව, ‘එපෙක්වෙන්’ නගරයේ අබිරහස විසඳීමට හැකිවේවි යැයි යන සිතුවිල්ලෙන් පැවැලෙක් ඔවුන් කියන දේ අසා සිටියේය. මපූචි යනු ආන්ටිනාවේ ජීවත්වන පැරැණිතම ගෝත්‍රයකි.

 ඔවුන්ගේ ආරම්භය සිදුවී ඇත්තේ අන්දීස් කඳු වැටිය කේන්ද්‍රකොට ගනිමිනි. ‘එපෙක්වෙන්’ නගරය අයත් භූමිය සහ විල ඔවුන්ගේ ගුප්ත ඇදහිලිවලට අයත් ශුද්ධ වූ ස්ථානයක් වෙයි. රෝග සුව කිරීමේ සුවිශේෂී හැකියාවක් මේ විලේ ඇති බව මපූචි ගෝත්‍රික කාන්තාව පැවැලෙක්ට පැහැදිලි කළාය. විලේ වතුර ඔවුන්ට ඔසුවකි. 

වැඩිදුර සොයා බලද්දී මේ විල කරදිය විලක් බව පැහැදිලි විය. මෙහි ලොව සෙසු මුහුදු සහ සාගරවලට වඩා 10 ගුණයකින් වැඩි ලුණු ඇති බව ද දැනගන්න ලැබුණි. ‘මේ විලේ වතුර උණුසුම් එමෙන්ම ලුණු ගතිය වැඩියි. බොහෝ වෙලාවක් වතුරේ බැහැලා සිටියොත් සිරුරේ පැහැය වෙනස් වෙනවා. සුදු පැහැ ගැන්වෙනවා. ඒ තරමට මේ විලේ ලුණු වැඩියි’ යැයි පැවැලෙක් කියයි. නගරයේ නටබුන් සුදුපැහැ පිටි මෙන් කුඩුවලින් වැසී පවතින්නේ ඇයිදැයි යන්න දැන් පැහැදිලිය. එම සුදු පැහැ කුඩු ලුණුය. 

ලවණ ප්‍රමාණය වැඩි නිසා විලේ වතුරේ ඇතැයි මපූචි ගෝත්‍රිකයන් විශ්වස කරන රෝග සුව කිරීමේ බලය ද පැහැදිලිය. කෙසේ නමුත් විල සම්බන්ධයෙන් මපූචි වැසියන් කියන්නේ මහ අමුතු විදියේ කථාවකි. ‘අපේ පැරැන්නෝ දැක්කා හීනයක්. ඔවුන් දැක්කා විල මේ නගරය ගිල ගන්නවා. මෙහෙම ව්‍යසනයක් වේවි කල්තියා ඔවුන් දැනගත්තා. ඔවුන් නගර වැසියන්ට ඒ ගැන අනතුරු ඇඟවීම් කළා. ඒත් ඔවුන් කිසිම කෙනෙක් ඊට කන් දුන්නේ නැහැ.’ යැයි මපූචි කාන්තාව පැහැදිලි කරයි. 

විලේ මෙම ස්ථානයේ මෙම ‘එපෙක්වෙන්’ නගරය ඉදි කළෝ ආජන්ටිනාවට පැමිණ ජනපද පිහිටුවාගත් විදේශිකයන් එසේත් නැතිනම් සුදු ජාතිකයෝය. ඔවුහු මපූචි පැරැන්නන් කළ අනතුරු ඇඟවීම හුදෙක් මිථ්‍යා විශ්වාසයක් සේ සළකා බැහැර කළහ. අවසානයේ දී ඔවුන්ට ඒ වෙනුවෙන් වන්දි ගෙවන්න සිදුවිය. නපුරු භූතාත්මයක් විල අරක්ගෙන සිටින බව ද ‘මපූචි’ ගෝත්‍රිකයන්ගේ විශ්වාසයයි. 

මේ භූතාත්මය සතුටුන් තැබීම කළ යුතු වෙයි. එසේ නැතිනම් විල ගොඩ ගලා අවට ඇති සියල්ල ගිල ගනී. විලෙන් මොකක් හෝ ගත්තොත්, විලට නිසි ලෙස පිදීමක් නොකර, විල ගොඩ ගලා සියල්ල විනාශ කරාවි. ඳා ජල ගැලීම සිදුවුණු අයුරු ගැන එක් දෙයක් පැහැදිලිය. මපූචි’ ගෝත්‍රිකයන්ගේ විශ්වාසය අනුව, විලේ භූතාත්මය ප්‍රකෝපකාරී වී ඇත. මිථ්‍යා විශ්වාස නොව, සිදුවුණේ කුමක්දැයි සොයා අබිරහසට විසඳුමක් දීම පැවැලෙක්ගේ අරමුණ විය. 

විලේ ජලයෙන් යටවී නගරය විනාශ වූ බව සත්‍යයකි. විලෙන් ආලෝකයක් නිකුත් වීම තවමත් නොවිසඳුණු අබිරහසකි.

වසර 25 කට පෙර, ඇත්තටම සිදුවුණේ කුමක්දැයි ඉතිහාස වාර්තා, පුවත් වාර්තා, පැරැණි ඡායාරූප ආදියෙන් යොසා දැන ගැනීමේ අරමුණ ඇතිව පැවැලෙක් විස්තර සෙවීම ඇරැඹීය. ඔහු ඒ සඳහා ගියේ අසල්වැසි නගරයේ පුස්තකාලයටය. එහිදී විද්‍යාත්මක වාර්තා කියවා බැලීමට පැවැලෙක්ට හැකිවිය. 

ඒවායේ සටහන් වී තිබුණේ අසාමාන්‍ය ස්වභාවික සංසිද්ධියක් හේතුවෙන් ජල ගැලීමක් සිදුවුණු බවය. ‘නොකඩවා ප්‍රචණ්ඩ මහ වැසි ඇද හැළෙද්දී, නොගැඹුරු විල්වල ජලය කැළැඹෙනවා. දෙපැත්තට පැද්දීමක් සිද්ධ වෙනවා. ඒ, සුළංවල බලපෑමෙන්. එවිට ඉවුරු යට වෙනවා. ‘එපෙක්වෙන්’ නගරයට සිදුවන්න ඇත්තේ එවැන්නක් බවයි විද්‍යාත්මක පැහැදිලි කිරීම්වල සටහන් වී තිබෙන්නේ.’ යැයි පැවැලෙක් කියයි. 

ඒත් විලේ ජලය ප්‍රචණ්ඩ ආකාරයෙන් කැළැඹී යෑමට නම්, නායයෑමක් වැනි කුමක් හෝ දෙයක් සිදුවිය යුතුය. කෙසේ නමුත්, ජල ගැලීම සිදුවීමට පෙර එවැනි නායයෑමක් විල ආසන්නයේ සිදුවී නැත. 

ආජන්ටිනා රජය ‘එපෙක්වෙන්’ නගරයට ඔබ්බෙන් විලේ ඉදි කරන ලද කුඩා ප්‍රමාණයේ වේල්ලක් ගැන විස්තර වාර්තාවක් පැවැලෙක් ට දකින්න ලැබුණේ එවිටය. මෙම වේල්ල ඉදිකර ඇත්තේ ජල ගැලීමට වසර කීපයකට පෙරය. වේල්ල නගරයට ඔබ්නේ විලේ ඉදි කළ එකකි. ඒ, නගරය ආරක්ෂා කිරීමට පවුරක් විදියටය. වේල්ල ඉදි කර තිබෙන්නේ අඩ සඳක හැඩයටය. වේල්ල අසාර්ථක වුණු බව පැහැදිලියි. 

එසේ වූයේ ඇයිදැයි දැනගැනීම පැවැලෙක්ගේ මීළඟ කාර්යය විය. චන්ද්‍රිකා ඡායාරූප අනුව යමින්, ඉතිරි වුණු නගර වැසියකු ඒ අවට ජීවත් වෙනවාදැයි ඔහු සොයා බලන්න විය. එහිදී නගරයට ඔබ්බෙන් එක් කුඩා නිවසක කවුරුන් හෝ පදිංචි වෙන බව පැවැලැක් දැනගත්තේය. එම ස්ථානයට යද්දී, එහි නිවාස සහ සෙසු ගොඩනැගිලි ද අබලන් තත්ත්වයේ පැවැතිණි. 

කෙසේ නමුත් එහි පදිංකරුවෙක් සිටියේය. එය අතහැර දැමුණු තැනක් නොවිණි. එහි පදිංචි වූයේ ‘එපෙක්වෙන්’ නගරයේ ඉතිරිවුණු වැසියෙකි. ඔහු 85 හැවිරිදි පාබ්ලෝ නෝවැක්ය. 

ජල ගැලීමට පෙර වේල්ල බිඳී යෑම සිදුවුණේ ඇයිදැයි සහ කොහොමදැයි විස්තර දැන ගැනීමට සිටින එකම කෙනා මේ මහල්ලාය. ඔහු සියල්ල පැහැදිලි කළේය.

‘ඔවුන් වේල්ලක් තැනුවා. අඩි 20 ක් උසයි. හැඩය අශ්ව ලාඩමක් වගේ. අවුරුදු 4 ක් වේල්ල හොඳින් තිබුණා. වේල්ල හැදුවේ වැඩිපුර වතුර නගරයට කඩා වැදීම වළක්වන්නයි. ඒ වුණාට ලොකු ගැටළුවකට මූණ දෙන්න සිද්ධ වුණා’ යැයි පාබ්ලෝ කියා සිටියේය. වේල්ල ඉදි කිරීමෙන් පසු වසර ගණනාවක් එකදිගට නගරයට ශීත කාලයේදී මහ වැසි ඇද හැළෙන්න විය. එය අනපේක්ෂිත සිද්ධියක් විය. 

‘එපෙක්වෙන්’ නගරය වැසියන් මෙවැනි මහ වැස්සක් මීට පෙර දැක තිබුණේ ද නැත. නගරයේ සාමාන්‍ය වර්ෂාපතනය වසරකට අඩි දෙකක් පමණක් විය. ඒත් මේ වසර කිහිපයේ වසරකට අඩි පහකට වඩා වැඩි වර්ෂාපතනයක් වාර්තා වුණු බව පාබ්ලෝ කියා සිටී. ඉදිකළ වේල්ල නිසිලෙස නඩත්තු කිරීමක් නොකෙරුණු අතර, අධික වර්ෂාවත් සමඟ විලට එක්වීමට නියමිත මහා ජල කඳ වේල්ලේ කොටු විය.

1985 වසරේ නොවැම්බර් 10 වැනිදා, පීඩනයට ඔරොත්තු නොදුන් වේල්ල පුපුරා කැඩී ගියේය. ඒ, සමඟ නගරයෙන් එක් කොටසක් අසුරු සැණින් ජලයෙන් යටවිය. 
අඩි 30 ක් උසට ජලය නැග ගියේය. නිවාසවල ඉතිරි වූයේ වහල පමණක් යැයි පාබ්ලෝ කියයි. ඉන්පසු නගරය කෙමෙන් කෙමෙන් විලට බිලිවිය. එය වැළැක්වීමට කළ හැකි දෙයක් නොතිබුණි. 

පාබ්ලෝ ඇතුළු නගර වැසියන් නිවසකින් තවත් නිවසකට ගොස් ඇත්තේ බෝට්ටුවලිනි. හටගත් මේ ජල ගැලීම සුළුපටු එකක් නොවන බව පැවැලෙක්ට අවබෝධ විය. දිනෙන් දින ජල මට්ටම ඉහළ ගොස් අවසානයේ දී මුළු නගරයම ජලයෙන් වැසී ගියේය. 

සෙමින් බොහොම ක්‍රමාණුකූලව විල නගරය ගිලගෙන තිබෙනවා. දවස් දෙක තුනක් යද්දී නගරවැසියන්ට සියල්ල අහිමි වී ගියේය. පාබ්ලෝ කළ විස්තරය අනුව ජල ගැලීම හටගත්තේ විලේ සිදුවුණු සාමාන්‍ය කැළැඹීමකින් නොවේ. 

මහා ව්‍යසනයක් සිදුකළ ජල ගැලීම ගැන සාක්ෂි රැසක් දැන් පැවැලෙක් සතුව ඇත. කෙසේ නමුත් විලට ඉහළින් විහිදුණු දීප්තිමත් ආලෝකය කුමක්දැයි පැහැදිලි කර ගැනීමට ඔහුට හැකියාවක් නොලැබුණි. 

‘වොට් ඔන් අර්ත් සහ AFP’ ඇසුරිනි

Classified_Ad

Classified_Ad_News_Bottom