මොකක්ද මේ ඇෆ්ලාටොක්සින්? - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Apr 4, 2021

මොකක්ද මේ ඇෆ්ලාටොක්සින්?

මොකක්ද මේ ඇෆ්ලාටොක්සින්?  අපිට වැඩක් ඇති දෙයක්ද? පොල් තෙල් වලට කවුරුවත් අලුතින් කලවම් කළ දෙයක්ද? 
ඇෆ්ලාටොක්සින් යනු විෂ සහිත පිළිකා කාරක සහ විකෘති කාරක ද්‍රව්‍යක් වන අතර ඒවා සමහර හතු, පුස්, දිලීර වර්ග (ඇස්පර්ගිලස් ෆ්ලේවස් සහ ඇස්පර්ගිලස් පැරසිටිකස්) මගින් නිපදවේ. 

එම හතු වැඩෙන්නේ පසෙහිද , දිරාපත් වන වෘක්ෂලතාදියේද, පිදුරු සහ ධාන්‍ය වර්ග වලද වේ.මයියොක්කා, මිරිස් ගම්මිරිස්, කපු බීජ, මෙනේරි, රටකජු, සහල්, තල ඇට, බඩ ඉරිඟු, සූරියකාන්ත බීජ, ස්වීට්කෝන්, ගස් ගෙඩි, තිරිඟු සහ විවිධ කුළුබඩු වැනි නුසුදුසු ලෙස ගබඩා කර ඇති ප්‍රධාන ආහාර ද්‍රව්‍යවල ඒවා නිතිපතා වැවෙනු දක්නට ලැබේ. 

මේවා වේලා තෙල් නිපදවීමේදී , අපිරිසිදු ලෙස ආහාර සැකසූ විට, ඇෆ්ලාටොක්සින් සාමාන්‍ය ආහාර සැපයුමට ඇතුල් වන්නේ මිනිස් , සුරතල් සතුන්ගේ සහ කෘෂිකාර්මික සතුන් සඳහා වන ආහාර ගබඩාවල දීය.

අපිරිසිදු ආහාර ලබාදෙන සතුන්ට ඇෆ්ලාටොක්සින් ඔවුන් යොදා නිෂ්පාදනය කරන බිත්තර, කිරි නිෂ්පාදන සහ මස් තුලට අඩංගු විය හැකිය. 

නිදසුනක් වශයෙන්, පාකිස්තානයේ ඇෆ්ලාටොක්සින්- කුකුළු මස් හා බිත්තර සාම්පලවල ඉහළ ප්‍රතිශතයක් සොයාගැනීමේදී ඒවා දූෂිත කුකුළු ආහාර මගින් සිදුවූ බවට සැක කෙරේ. 

දරුවන් ඇෆ්ලාටොක්සින් වලට නිරාවරණය වීම විශේෂයෙන් ඔවුන්ට බලපායි. ළමා වර්ධනය සහ ඇෆ්ලාටොක්සින් වලට නිරාවරණය වීම අතර සම්බන්ධයක් සමහර අධ්‍යයනයන්හි වාර්තා වී ඇත. 

ළමුන්ගේ වර්ධනය හීන වීමට අමතරව අක්මාවට හානිවීම, අක්මා පිළිකා,ආදිය ඇතිවේ. එපමණක් නොව, ළමා වියේ මිටිවීම සහ ඇෆ්ලාටොක්සින් නිරාවරණය අතර හේතු සම්බන්ධතාවයක් වසංගත රෝග අධ්‍යයනයන් මගින් තවමත් නිශ්චිතව දක්වා නැත, එවැනි පරීක්ෂණ සිදු වෙමින් පවතී. 

වැඩිහිටියන්ට නිරාවරණය වූවාට වැඩි ඔරොත්තු දීමක් ඇති නමුත් ඔවුන්ද අවදානමට ලක් වේ. කිසිදු සත්ව විශේෂයකට මෙයින් බේරීමක් නොමැත. අප දන්නා වඩාත්ම උග්‍රම පිළිකා කාරක ද්‍රව්‍ය අතර අෆ්ලාටොක්සින් ප්‍රමුඛ වේ. ශරීරයට ඇතුළු වූ පසු, අෆ්ලාටොක්සින් අක්මාව මගින් ප්‍රතික්‍රියාශීලී ඉපොක්සයිඩ් අතරමැදි සංයෝගය හෝ හයිඩ්‍රොක්සිකරනය වී හානිකර බවින් අඩු ඇෆ්ලාටොක්සින් එම් 1 බවට පත්විය හැකිය. 

එම ඇෆ්ලාටොක්සින් බහුලව ආහාර මාර්ගය මගින් ශරීර ගතවේ. කෙසේ වෙතත් වඩාත් විෂ සහිත ඇෆ්ලාටොක්සින් බී 1 සම හරහා විනිවිද යාමට හැකිය. 

එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පරිපාලන අංශය(FDA)සත්ව ආහාර වල අඩංගු ඇෆ්ලාටොක්සින් සඳහා ක්‍රියාකාරී මට්ටම් 20 සිට 300 ppb ලෙස දැක්වේ. එනම් කොටස් බිලියනයකට කොටස් 20-300 (parts per billion )ලෙස ශරීරයට නිරාවරණය වීම වැළැක්වීම සඳහා පූර්වෝපාය පියවරක් ලෙස මිනිස් හා සතුන්ගේ පරිභෝජනය සඳහා FDA විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

මෙය කොතරම්ද යත් ශතවර්ශයකින් තත්පර තුනක් ලෙස සමාන කර ඇත. අප රටේ එය මිනිස් පරිභෝජනය සඳහා 10 ppb ලෙස දක්වා ඇත "ඇෆ්ලාටොක්සින්" යන පදය සෑදී ඇත්තේ එය නිපදවන හතු වලින් එකක් වන ඇස්පර්ගිලස් ෆ්ලේවස් නිසාය.

කළුකුම් ලක්ෂයක් වැනසූ "කළුකුම් එක්ස් රෝගයේ" ප්‍රභවය ලෙස සොයා ගැනීමෙන් පසුව එය 1960 දී පමණ එසේ නම් කරන කරන ලදී. මයිකොටොක්සින් ( හතුවල විෂ )ප්‍රධාන කාණ්ඩ වලින් එකක් වන්නේ ඇෆ්ලාටොක්සින් ය. ඇෆ්ලාටොක්සින් බී 1 වඩාත් විෂ සහිත යැයි සැලකෙන අතර එය නිපදවනු ලබන්නේ ඇස්පර්ගිලස් ෆ්ලේවස් සහ ඇස්පර්ගිලස් පැරසිටකස් යන හතුදෙකම විසිනි. 

ඇස්පර්ගිලස් පැරසිටිකස් පැසවීම කල සුප් හොද්ද තුළ ඇෆ්ලාටොක්සින් එම් 1 අඩංගු වන නමුත් ආසාදිත අක්මාවකින් ඇෆ්ලාටොක්සින් බී 1 සහ බී 2 පරිවෘත්තීය වන විට එය සහ ඇෆ්ලාටොක්සින් එම් 2 ද නිපදවනු ලැබේ. 

දූෂණ වන ආකාර ඇෆ්ලාටොක්සින් නිෂ්පාදනය කරනු ලබන්නේ ඇස්පර්ගිලස් ෆ්ලේවස් සහ ඇස්පර්ගිලස් පැරසිටිකස් යන දෙකම වන අතර ඒවා සොබාදහමේ බහුලව පැතිරී ඇති 'වල්පැලෑටි' දිලීර වල පොදු ආකාර වේ. එම හතු පැවතීම සෑම විටම හානිකර ඇෆ්ලාටොක්සින් මට්ටම පෙන්නුම් නොකරන නමුත් සැලකිය යුතු අවදානමක් පෙන්නුම් කරයි. අස්වැන්න නෙළීමට පෙර හෝ ගබඩා කිරීමේදී ආහාර විශේෂයෙන් යටත් තෙතමනයට හා නියඟ වලට ලක්විය හැකිය.එවිට ඒ ධාන්‍ය මතුපිට එම හතු කොලනි සෑදේ. 

විශේෂයෙන් දිලීර නාශක නොයොදා සාදන කාබනික ආහාර මතුපිට මේවා වැඩීමට අවස්ථාව වැඩිය. ධාන්‍ය හෝ පොල් වේලීම , ඒවායින් තෙල් සෑදීමට පෙර සිදු කරයි. හතු වැවී මෙම විෂ එයට එකතු වීම මෙතැනදී පහසු දෙයකි. 

රාජ්‍ය යාන්ත්‍රණය තුල මෙම විෂ ඉවත් කර තෙල් වැනි ද්‍රව්‍ය පිරිපහදු කිරීම, නොකඩවා විෂ ප්‍රමාණය මැන බැලීම, විෂ වැඩි ආහාර මිනිස් හා සත්ව පරිභෝජනයෙන් ඉවත් කිරීම, ආනයනික ද්‍රව්‍ය ගැන නොකඩවා විමසිලිමත් වීම අත්‍යාවශ්‍ය දෙයකි. මෙම දේවල් අද ඊයේ ආරම්භ වීමට නොහැක. 

බොහෝ කාලයක් පුරා පැවති දෙයකි. මෑත කාලයේ මේ විෂ නිසා සිදුවූ භයානක ම සිද්ධිය 2003-2004 දී කෙන්යාවේදී 175 දෙනෙකු මිය ගොස් 317 දෙනෙකුගේ අක්මාව අක්‍රිය වීමයි. 

ඔවුන්ටත් කෙටිකලකදී එම ඉරණමම අත්වුණා විය හැකියි. 1981 දී එරටම තිරිඟු විෂවී 12 දෙනෙකු මිය ගියෝය. 2013 දී රුමේනියාව, ක්‍රොඒෂියාව,සර්බියාව තුල විෂ පැතිරුණි 2014 නේපාලය, බංගලිදේශය, 2019 කෙන්යාවේ. 

2021 ඇමරිකාවේ සුනඛයින් 70ක් මියැදුනි හදිසියේ කව්රු හෝ අවදිවී මේ විෂ පොල්තෙල් වල වැඩි බව සොයා නොගත්තා නම් තවම අපි අපේ ශරීර විෂ වලින් පිනවමින් අක්මාවට හානිකර ගනිමින් අප තවම විනෝද සයුරේ කිමිදෙමින් සිටිනු ඇත. 

කවුරු හෝ මෙම විෂ ද්‍රව්‍ය විහිළුවට ගෙන, ජනතාවට හානි කරමින් ඒවායින් තම මඩිය තරකර ගැනීමට සැරසේ නම් ඔහු ඒ කරන්නේ ජාතික අපරාධයකි.


විශේෂඥ වෛද්‍ය,
ආර්.එන්.ජී රාජපක්ෂ

Classified_Ad

Classified_Ad_News_Bottom