එවරස්ට් කන්ද තරණය කිරීමට ගිය නෝර්වේජියානු කඳු නගින්නකුට 'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.
වයිරස ආසාදිතයකු බව තහවුරු වී ඇත්තේ එර්ලෙන්ඩ් නෙස් නමැත්තාය. නෙස් සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ, තමන් කොරෝනා ආසාදිතයකු බව පවසා ඇත.
එර්ලෙන්ඩ් නෙස් නේපාල රෝහලකට ඇතුළත් කළ බවත් ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවත් විදෙස් පුවත් සේවා වැඩිදුරටත් වාර්තා කර තිබේ.
ලොව උසින් වැඩිම ශිඛරය ලෙස සැලකෙන්නේ එවරස්ට්ය. නේපාලයේ සංචාරක කර්මාන්තය රැඳී පවතින්නේ එවරස්ට් තරණයට පැමිණෙන විදෙස් සංචාරකයන්ගෙනි.
පසුගිය වසරේ කොරෝනා වසංගතය හේතුවෙන් තහංචි පැනැවුණු බැවින්, එවරස්ට් තරණයට පැමිණියේ අතලොස්සක් පමණි.
මෙම වසරේ කඳු නගින්නන් බොහෝ දෙනකු පැමිණෙනු ඇතැයි නේපාල රජය විශ්වාස කරන නමුත් කොරෝනා වසංගතය ඊට හරස් වනු ඇතැයි බිය පළ කෙරේ.
රොයිටර්