සිංහල සිනමාවේ නවතම අධ්‍යක්ෂවරිය: නජිනි දික්ඕවිට - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Apr 23, 2021

සිංහල සිනමාවේ නවතම අධ්‍යක්ෂවරිය: නජිනි දික්ඕවිට

ශ්‍රී ලාංකේය සිංහල සිනමාවේ අධ්‍යක්ෂවරියන් සිටින්නේ අතේ ඇඟිලි ගණනටත් අඩු සංඛ්‍යාවකි. එහෙත් කෙටි චිත්‍රපට අධ්‍යක්ෂණයේ පිරිමි පාර්ශ්වයට වඩා අද කාන්තා පාර්ශ්වය අධ්‍යක්ෂණයේ යෙදී සිටින බව අපට දැකගන්නට තිබේ. ඒ නිසාවෙන්ම වෘතාන්ත චිත්‍රපට අංශයට ද දැන් දැන් කාන්තා අධ්‍යක්ෂවරියන්ගේ පැමිණීමේ ලකුණු පහළ වී තිබේ. එහි අලුත්ම උදාහරණය නජිනි දික්ඕවිට නමැති තරුණ සිනමා අධ්‍යක්ෂවරියගේ ආගමනයයි. 
කුඩා කාලයේ සිටම සිනමාවට ඇල්මක් උනන්දුවක් දැක්වූ නජිනි සහාය අධ්‍යක්ෂවරියක් ලෙසින් ද කටයුතු කරමින් සිනමාවේ හතර කොණ හොඳින් අධ්‍යයනය කර තමන්ගේ කුළුඳුල් සිනමා අධ්‍යක්ෂණය නිර්මාණය කළාය. ඒ ‘රුහිරු’ය. ළඟදීම මෙරට සිනමාශාලාවල තිරගත කිරීමට නියමිතව තිබෙන මෙම චිත්‍රපටය සමඟ සිංහල සිනමාවට එක්වන නවතම අධ්‍යක්ෂවරිය ලෙස ඇය වාර්තා පොතට එක්වන්නීය. 
ඔබ සිංහල සිනමාවට එක්වන අලුත්ම නවක අධ්‍යක්ෂවරියයි. සිනමාවට ඒමට මෙතරම් ආසාවක් ඇල්මක් දැක්වූයේ ඇයි? 

මම කුඩා කාලයේ ඉඳන්ම චිත්‍රපට බලනවා. සිංහල, ඉංග්‍රීසි හා හින්දි චිත්‍රපට බලන්න පටන් ගන්නේ වයස අවුරුදු හතරේ ඉඳලයි. ඒකත් එක්ක ඇති වූ ආසාව තමයි මේක වෘත්තියක් දක්වා දිවගියේ. මේ චිත්‍රපට බැලීම නිසා මට ඉංග්‍රීසි හා හින්දි භාෂා සිංහල භාෂාව වගේම චතුර ලෙස කතා කිරීමේ හැකියාව පවා ඇති වුණා. පාසලේදීත් කලා කටයුතුවලට දායක වුණා. මම වේදිකාවට සම්බන්ධ වුණේ අවුරුදු හතේදී විතර. නාට්‍යවල රඟපෑවා. අවුරුදු 18 වනතුරුම වේදිකා නාට්‍යවල රඟපාලා අධ්‍යක්ෂණය කරලා සහතික පවා ලබාගත්තා. එහෙම පැමිණි ගමනක් තමයි සිනමා අධ්‍යක්ෂවරියක් දක්වා මේ තරම් දුර ගමනක් මට එන්න පුළුවන් වුණේ.

එතකොට සිනමා අධ්‍යක්ෂවරියක් වෙන්න ඔබ ආ ගමන් මග කොහොම ද?

මම කලාවට සම්බන්ධ වෙන්න ඕනේ කියලා අවුරුදු 18 දී කියන විට මගේ දෙමවුපියන්වත්, නෑදෑයින්වත් මට හොඳ ප්‍රතිචාර දැක්වූයේ නෑ. මොකද මේ ක්ෂේත්‍රයේ කාන්තාවන්ට ඉස්සරහට යන්න ගොඩක් බාධා තිබෙනවා. ඒ නිසා මට යන්න දුන්නේ නෑ කලාව පැත්තට. මම තොරතුරු තාක්ෂණවේදය පිළිබඳ උපාධිධාරිනියක්. මම එය හදාරමින් තොරතුරු තාක්ෂණවේදයට සම්බන්ධ රැකියාවක් අවුරුදු 3ක් පමණ කරනවා. එතනින් වෘත්තීය පැත්තෙන් මට සතුටක් කවදාවත් තිබුණේ නෑ. මගේ ආසාව තිබුණේ කලාවටයි. තොරතුරු තාක්ෂණවේදය උපාධියට අමතරව මම විලාසිතා නිර්මාණකරණය පිළිබඳවත් හදාරන්න ගත්තා. ඒ අතරතුරේදී මට අවස්ථාවක් ලැබෙනවා තිස්ස නාගොඩවිතාන මහතා නිෂ්පාදනය කළ ‘ගුත්තිල’ චිත්‍රපටයේ ඇඳුම් නිර්මාණ කිරීමේ සහායිකාවක් ලෙස කටයුතු කරන්න. මම ඇඳුම් නිර්මාණ සහායිකාවක් ලෙස (Costume Assistant) තමයි සිනමාවට පිවිසෙන්නේ. මොකද ක්ෂේත්‍රයේ අවස්ථාවක් ඉල්ලන්නවත් මට විශේෂ කිසිම කෙනෙක් සිටියේ නෑ. ඒ නිසා මට ලැබුණු පළමු අවස්ථාව ප්‍රයෝජනයට අරගෙන මම පළමු වතාවට චිත්‍රපට ‘සෙට්’ එකකට සම්බන්ධ වෙනවා. එතනින් එහාට මම දන්න කියන සහාය අධ්‍යක්ෂවරුන්ට කියනවා මට සහාය අධ්‍යක්ෂණයට අවස්ථාවක් ලබාදෙන්න කියලා. මොකද අධ්‍යක්ෂණය පැත්තට යන්න මට ආසාවක් හා ලොකු බලාපොරොත්තුවක් තිබෙන හින්දා. ඒ අදහස මම ඔවුන්ට කිව්වා. එතනින් එහාට එක්තරා චිත්‍රපටයක සහාය අධ්‍යක්ෂණයට සම්බන්ධ වෙන්න. එතැනින් පස්සේ මම තොරතුරු තාක්ෂණය සම්බන්ධ කළ රැකියාවෙන් ඉවත් වෙලා මට ලැබුණු මාසික පඩිය පවා අමතක කරලා හම්බ වෙන විදිහට සහාය අධ්‍යක්ෂවරියක් ලෙසට මේ ක්ෂේත්‍රයේ වැඩ කරන්න පටන් ගන්නවා. 2018 ඉඳලා අවුරුදු දෙක හමාරක කාලයක් තුළ විවිධ අධ්‍යක්ෂවරු යටතේ මියුසික් වීඩියෝ, චිත්‍රපට, ටෙලිනාට්‍ය යන මාධ්‍යවල සහාය අධ්‍යක්ෂවරියක් විදිහට වැඩ කරලා මහන්සියෙන් පැමිණි ගමනක්. ඒ ගමනේ ප්‍රතිඵලය තමයි මගේම කුළුඳුල් අධ්‍යක්ෂණය ‘රුහිරු’ නිර්මාණය කියන්නේ. ඒ වගේම දැනට මම ජාතික චිත්‍රපට සංස්ථාවේ චිත්‍රපටකරණය හා සම්බන්ධව ඩිප්ලෝමාව හදාරමින් ඉන්නවා.
ඔබේ ප්‍රථම නිර්මාණය ‘රුහිරු’ චිත්‍රපටයේ තිර රචනයත් සිදුකරන්නේ ඔබමයි. මේ චිත්‍රපටය කරන්න මග පෑදුණේ කොයි ආකාරයට ද?

මෙය උදාර පල්ලියගුරු අයියාගේ අදහසක් අනුව නිර්මාණය වූ කතාවක්. මට ඔහුව මුලින්ම හම්බවෙන්නේ සහාය අධ්‍යක්ෂවරියක් ලෙස වැඩ කරන්න ගිහිල්ලයි. ඔහු නිෂ්පාදනය කළ ‘ආලේ කොරෝනා’ චිත්‍රපටයේ රූගත කිරීම් කරද්දී එක්තරා තිර පිටපතක් සාකච්ඡා කරන්න මම ගියා. එහිදී ඔහු කියනවා වෙන කතාවක් මා ළඟ තිබෙනවා. ඒ වගේ කතාවක් කරමු ද කියලා යෝජනාවක් කරනවා. එතනදී මම කලින් වැඩ කළ අධ්‍යක්ෂවරයා එය ප්‍රතික්ෂේප කරනවා. එතනදී මම ඒ අවස්ථාව ඉල්ලගන්නවා, මම මෙය ලියා දෙන්නම් කියා. උදාර අයියා එවෙලේ කිව්වා, ඔයාට අත්දැකීම් තිබෙන එකේ අධ්‍යක්ෂණයටත් එක්ක ආසා එකේ ඔයා මේ චිත්‍රපටය කරන්න පටන් ගන්න, සියලුම සහයෝගය ලබාදෙන්නම් කියලා. ඒ විදිහට තමයි මෙහි තිර පිටපත පවා මා අතින් ලියා මෙය අධ්‍යක්ෂණය වෙන්නේ. එහි සම්පූර්ණ ගෞරවය උදාර අයියාට හිමිවිය යුතුයි.
ඔබ තරුණ රූමත් අධ්‍යක්ෂවරියක්. සමාජයේ විශේෂයෙන් සිනමා ක්ෂේත්‍රයේ වැඩ කරද්දී ඇති වූ අපහසුතා අභියෝග ඔබට දැනුණේ කොයි ආකාරයට ද?

මම හිතන්නේ හරිම පහසු ගමනක් පැමිණි කෙනෙක් විදිහටයි. මොකද කියනවා නම් මට ඔය බොහෝ දෙනා කියන තරම් සිනමා ක්ෂේත්‍රය කටුක තැනක් වුණේ නෑ. බලපෑම් ඇති වෙනවා හෝ නොවෙනවා කියන එක මා විශ්වාස කරන්නේ තමන් හැසිරෙන විදිහ හා තමන් දෙන ඉමේජ් එක අනුව වෙන දෙයක් කියලයි. එතකොට මටත් අයුතු යෝජනා කියන ඒවා ආවා. හැබැයි ඒ වගේ තැන්වලින් මම බොහොම ඉක්මනට අයින් වෙලා ඇවිල්ලා තිබෙනවා. මම අද වනතුරු වැඩ කරලා තියෙන්නේ තෝරා බේරාගත් ඇත්තටම මගේ හැකියාවට හා මම මහන්සි වෙන ප්‍රමාණයට සලකලා බලලා වැඩ කරන්න අවස්ථාව ලබාදුන්න පුද්ගලයන් එක්ක විතරයි. ඒ නිසා මට මේ පැමිණි ගමන ලොකු කටුක ගමනක් වුණේ නෑ.” 

වත්මන් ලාංකේය සිංහල සිනමාව ඔයා අවබෝධ කරගෙන තිබෙන්නේ කොයි විදිහට ද? 

දැනට මට දැනෙන විදිහට අපේ සිනමාවේ ලොකු අඩුවක් තිබෙනවා. චිත්‍රපටයකට ආයෝජනය කරන මුදල් ප්‍රමාණය පැත්තෙන් හා අපේ ප්‍රේක්ෂකයන් සිනමාශාලාවලට ඇද ගැනීමට ලොකු බාධාවක් තිබීම. එතන ඒ ප්‍රශ්නය නැති කරන්න නම් ලොකු ආයෝජන මෙයට යෙදවිය යුතු තැනයි මා ඉන්නේ. ඉන්දියාවේ අතිවිශාල බජට්වලින් තමයි චිත්‍රපට කරන්නේ. ඒ වගේ චිත්‍රපට නිර්මාණය කරනකොටත් ඒවායේ ප්‍රමිතියත් ඉහළ තැනක රඳා පවතිනවා. ඒ නිසා සිනමාශාලාවලට මිනිස්සු ඇදගන්න අපට ලේසි වෙනවා. මම හිතන්නේ නිෂ්පාදකවරු පැත්තෙන් ඒ ආයෝජනය කරන මුදල වැඩි කරන්න වෙනවා. අපි සිනමාවක් විදිහට ඉදිරියට ගොස් තව තවත් දියුණු වෙන්න නම් බජට් එකක් ඔළුවේ තියාගෙන වැඩ කරන්නේ නැතුව අපට කලාව ඔළුවේ තියාගෙන වැඩ කරන්න පුළුවන් නම් ඇත්තටම ලොකු දෙයක් කරන්න පුළුවන්. මට හමු වූ නිෂ්පාදකවරු ඒ විදිහට වැඩ කළා. කලාව ඔළුවේ තියාගෙනයි ඔවුන් වැඩ කළේ. ඒ නිසා මම හිතනවා හොඳ නිර්මාණයක් කිරීමේ හැකියාවක් මට නම් ලැබුණා කියලා.
කාන්තාවක් විදිහට මේ ක්ෂේත්‍රයේ වැඩ කරද්දී ඔයට දැනුණු දේවල් මොනවා ද? පිරිමින්ගේ ආධිපත්‍යයට යටවී තිබෙන මේ සිනමාවේ කාන්තාවකට එන්න අපහසු ද? 

මට කියන්න තියෙන්නේ චිත්‍රපට කරන්න කැමැති ගැහැනු ළමයින් ඉන්නවා නම් බය නැතුව එන්න, ඇවිත් පුංචි තැනකින් පටන්ගන්න. තමන්ට හමුවුණ චාන්ස් එක මොකක්ද ඒ චාන්ස් එක අරගෙන ෆිල්ම් සෙට් එකකට එන්න. ඒ ඇවිත් බලන්න කොහොම ද වැඩ කරන්නේ කියලා. මිනිස්සු අඳුරගන්න. තමන්ගේ ටාගට් එකට යන්න උපරිම මහන්සි වෙන්න. අනිවාර්යයෙන්ම මේ තුළ කාන්තාවකට ගමනක් තිබෙනවා. සමහරවිට අධ්‍යක්ෂවරුන්ගේ හා අනෙක් අයගේ ග්‍රහණයට හසුවෙන්න පුළුවන් කියලා බොහෝ දෙනා කියනවා. මම කියන්නේ ග්‍රහණයට හසු නොවුණහොත් තමයි ඇයට දුර ගමනක් තිබෙන්නේ. තව කෙනකුගේ රැවැටීමකට ලක්වුණාම තමන්ගේ මනෝභාවයෙන්ම තමන් කඩා වැට්ටීමකට ලක්කරනවා. තමන්ට තමා තුළින්ම ගමන අඩාලවීමක් සිදුවෙනවා. අයුතු යෝජනා ආවොත් ඒවා ප්‍රතික්ෂේප කරන්න. හෙමින් ගමනක් යන්න. අනිවාර්යෙන්ම ඉදිරියට යන්න එවිට හැකි වේවි.

ඔයාගේ ඉලක්කය කුමක් ද? සිනමාවේ නියැලී සිටීමෙන් ඔබ බලාපොරෝතතු වන්නේ කුමක් ද?

මගේ ඉලක්කය සිංහල සිනමාවේ හැමෝම කතාවෙන විදිහෙ ඔරිජිනල් නිර්මාණ කරන්නයි. කොපි සිනමාවක් නොවී අපේ රටෙන් ද හොඳ නිර්මාණ බිහිවෙලා තිබෙනවා කියන්න පුළුවන් විදිහේ නිර්මාණයක් හෝ දෙකක් මගේ අතින් බිහිකරගන්න එක තමයි ටාගට් එක.

෴සංවාද සටහන - සමන්ත යහම්පත්
    උපුටා ගැනීම - ලංකාදීප රසවින්දන
‘රුහිරු’ චිත්‍රපටයෙන්

Classified_Ad

Classified_Ad_News_Bottom