අද පාස්කු ඉරිදා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Katayam.com

Apr 4, 2021

අද පාස්කු ඉරිදා

ජේසුස් වහන්සේ මරණය පරදා උත්ථානය වීම සිහි ගන්වන පාස්කු ඉරිදා අදය. මේ සටහන පළ වන්නේ ඒ නිමිත්තෙනි. 

 මරණය යන වදන ඇසූ සැණින් අපට සිහිවන්නේ අවසානයක් පිළිබඳව ය. එහෙත් කිතුනු අප එය, සදාතන දොරටුවට ඇතුළු වන දොරටුව ලෙස හැඳින්වීම නිවැරැදි ය. 

පොදුවේ ගත් කල, මරණය වූ කලී, භීතිය ගෙන දෙන්නාවූ වචනයක් මිස, අපගේ සිතට සැනසීමක් ගෙන දෙන්නක් බවට ප්‍රායෝගිකව හැඳින්වීම මගේ අදහසට අනුව නම් කළ නොහැක්කකි. ඒ මන්දයත්, ඕනෑම මිනිසෙකු කැමති වන්නේ තමන්ගේ ආයු කාලය තත්පරයකින් හෝ වැඩිකර ගැනීමට යි. මරණය එනතුරු කිසිවෙක් ආශාවෙන් බලා සිටින්නේ නැත. මෙය මිනිස් ස්වභාවය ලෙස අපි පිළිගත යුත්තෙමු. 

මිනිසාගේ උවමනාවන් අසීමිතය. ඊට සාපේක්ෂව ඔහුට ඇති සම්පත් ප්‍රමාණයත්, කාලයත් සීමිතය. මේ කරුණ නිසාම ඕනෑම මිනිසෙකු තම මරණ මොහොතේදී මෙලොවින් සමුගෙන යන්නේ, ජීවිතයේ කරන්නට තිබුණු තවත් බොහෝ දේ ඉතිරි කරමින්ය. “මම නම් කරන්න ඕන හැම යුතුකමක් ම කළා. දැන් නම් ඉතින් මැරුණත් කමක් නෑ” බොහෝ දෙනෙක් මෙසේ කීව ද, ඒ තුළ පවතින සත්‍යතාවත්, සැබෑ අරුතත් ඊට වඩා වෙනස් එකක් වන්නට බොහෝ දුරට ඉඩ ඇත. මේ ආකාරයෙන් ගත් කල පැහැදිලි වන කරුණක් වන්නේ මරණය මිනිස් මනස තුළ අසුබවාදී සිතුවමක් සිත්තම් කරන බවයි. 

මෙසේ “මරණය” යන සංකල්පය ගැන මානුෂික ඇසින් අප විමසා බලද්දී, අප ගැලවුම්කරුවාණන් වූ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ, ඔවුන් වහන්සේගේ ඝාතනය විජයග්‍රහණයක් සේ සැලකූ සේක. ‘‘ඔවුන් වහන්සේ, දෙවියන් වහන්සේගේ ස්වරූපය දරූ නමුත්, දෙවියන් වහන්සේ හා සමානත්වය තමන් විසින් බදාගෙනම තබා ගත යුතු වස්තුවකැයි නොසිතා, එය ඉවතලා, සේවකයකුගේ ස්වරූපයක් ‘ගෙන, අප හා සමාන මිනිස් කෙනෙක් වූ සේක. මනුෂ්‍යාකාරයෙන් සිටිමින්, ඔවුන් වහන්සේ මරණය, එනම් කුරුසියේ මරණය දක්වා, පහත් වී කීකරු වූ සේක” (පිලිප්පි 2:6-8). 

ගොයම් කරල පැසී පහතට බර වන්නේ යම් සේ ද, එසේම ජේසුතුමා, පියාණන් වහන්සේගේ කැමැත්ත උදෙසා, සරලව ම පවසන්නේ නම්, අපට ඇති අසීමිත වූ ආදරය උදෙසා මරණය දක්වා ම පහත් වූයේ ද එසේම ය. ජේසු සමිඳුන්ගේ මරණය ඉතිහාසය වෙනස් කළේ ය. එය පරාජයක් නොව සැබෑ ජයග්‍රහණයකි. මරණය පරදා ලැබූ ජයකි. අප ආදි මවුපියන්ට දෙවියන් වහන්සේ දුන් පොරොන්දුව ඉටු කිරීමකි. වඩා ගැඹුරින් සලකා බලන කල, එය “මරණය” යන්නට නව අරුතක් ලබා දීමකි. ඔවුන් වහන්සේ උසස් තැනට පමුණුවනු ලැබුවේ, පහත් වීම තුළ මරණය වැළඳගත් නිසා ය. 

 පාස්කු අභිරහස, කිතුනු අපගේ විශ්වාසයේ කේන්ද්‍රස්ථානය යි. ක්‍රිස්තුන් වහන්සේගේ දුක්විඳීම, මරණය හා උත්ථානය පිළිබඳව අප විශ්වාස කරන්නේ නැතිනම්, අපගේ කිතුනුකමේ කිසිදු හරයක් නැත. ජේසු සමිඳාණෝ උත්ථාන වූයේ නැතිනම්, එතුමාණන් කෙරෙහි විශ්වාසය තැබීමෙන් හෝ කිතු දහම තුළ කියැවෙන සත්‍යතාව පිළිගැනීමේ කිසිදු අරුතත් නැත. කෙටියෙන්ම පැවසුවහොත්, ජේසු සමිඳුන් උත්ථාන නොවූයේ නම්, කිතු දහමක් අද දක්වා පවතින්නට හැකියාවක් නොමැත. එය හුදෙක් තවත් එක් ඝාතනයක් පමණක් වනු ඇත. එම ඉගැන්වීම් තවත් එක් ජීවිත දර්ශනයක් පමණක් වනු ඇත. ක්‍රිස්තුන් වහන්සේ තවත් එක් දාර්ශනිකයෙකු පමණක් වනු ඇත. අද අපි මෙම අභිරහස දිව්‍ය පූජා යාගය තුළ සමරන්නෙමු. ඔවුන් වහන්සේගේ උත්ථානය කෙරෙහි අපි අදහන බව අප ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්නෙමු. එසේ නම්, මෙලොව අපගේ පැවැත්මේ හරය ක්‍රිස්තුන් වහන්සේගේ උත්ථානය බව මොනවට පැහැදිලි වේ. ‘‘බිය නොවන්න; ඔබ සොයන්නේ කුරුසියෙහි ඇණ ගසනු ලැබූ නාසරෙත්හි ජේසුස් වහන්සේය; ඔවුන් වහන්සේ උත්ථාන වූ සේක; ඔවුන් වහන්සේ මෙහි නැත” (ශු. මාක් 16:6). 

ජේසුස් වහන්සේ අප වෙනුවෙන් තම ජීවිතය පූජා කළ සේක. අප උදෙසා උත්ථාන වූ සේක. එපමණක් නොව තමන් ජීවත්ව සිටියදීම තමන්ගේ මරණය පිළිබඳවත්, උත්ථානය පිළිබඳවත් තම ගෝලයින් දැනුම්වත් කළ සේක. “එවිට ඔවුන් වහන්සේ මනුෂ්‍ය පුත්‍රයාණන් බොහෝ දුක් වේදනා විඳින්නටත්, ප්‍රජා මූලිකයන් ද නායක පූජකයන් ද විනයධරයන් ද විසින් ප්‍රතික්ෂේප කරනු ලබන්නටත් මරනු ලබන්නටත්, තෙදිනකට පසු නැවත නැඟිටින්නටත් නියම බව ඔවුන්ට උගන්වන්න පටන් ගත් සේක (ශු.මාක් 8:31). 

උත්ථානය තුළ ඔවුන් වහන්සේ, මරණය පරාජය කළ සේක. ඔවුන් වහන්සේ මරණයෙන් පරාජය නොවූ සේක. නමුත් තමන්ගේ මරණයෙන්, “මරණය” පරාජය කළ සේක. මෙම උත්ථානය අපගේ ජීවිතවලට බලපාන්නේ කෙසේ ද? අපගේ දෛනික වැඩකටයුතුවලදී මෙම අභිරහසට සාක්ෂි දරන්නේ කෙසේ ද? එය එතරම් පහසු කාර්යයක් නොවේ. එය ඉතා ගැඹුරු අභියෝගයකි. එදා ඔවුන් වහන්සේගේ ගෝලයන්ට පවා ඔවුන් වහන්සේගේ උත්ථානය විශ්වාස කිරීම එතරම් පහසු කාර්යයක් වූයේ නැත.

 සතියේ පළමු වනදා අලුයම... ඔවුන් වහන්සේ ජීවමානව සිටින බව ද, ඇයට දර්ශනය වූ බව ද ඇසූ විට ඔවුහු එය විශ්වාස නොකළහ (ශු. මාක් 16:9...11). “මෙපුවත ඔවුන්ට ප්‍රලාපයක් සේ පෙනී ගියෙන්, ඔවුහු ඔවුන්ගේ කීම විශ්වාස නොකළහ” (ශු. ලූක් 24:11). තත්ත්වය එසේ තිබිය දී, එම සත්‍යතාව තුළ ජීවත් වීම මානුෂික මට්ටමින් සලකා බලන කල අරුමයක් නොවේ. කිතුදහම තුළ කැටිවී ඇති මූලික සාරය වන්නේ ආදරයයි”. ඔවුන් වහන්සේ මියගියේ මිනිස් අපට ඇති අසීමිත වූ ආදරය නිසාම ය. ජේසු තුමන්ගේ මරණය, සැබෑ ලෙස ම ආදරයේ පරිත්‍යාගයකි. ආදරයේ තිළිණයකි. ඒ තුළ ඔවුන් වහන්සේ තමන් ඉගැන්වූ දහමට සාක්ෂි දුන් සේක. ‘‘යමෙකු තමාගේ මිතුරන් උදෙසා දිවි පිදීමට වඩා උතුම් ප්‍රේමයක් කිසිවෙකුට නැත (ශු. ජොහන් 15:13). 

එදා, තත්ත්වය එසේ තිබියදී, අද අපට කෙරෙන ඒ අභියෝගාත්මක ඇරයුම පිළිබඳව සැලකිලිමත් වීම වැදගත් වේ. ඒ අභියෝගයට අද ඔබත් මාත් මුහුණදීමට නම්, ‘දුක්විඳීම” අත්‍යවශ්‍ය සාධකයක් බවට පත්වී ඇත. ජීවිතයේ පැනනගින බාධක හා ප්‍රශ්න හමුවේ බිඳවැටෙන හදවතින් යුතුව අපි බොහෝ විට උත්ථාන වූ කිතු සමිඳුන් අදහා ගනු වෙනුවට, අපගේ විශ්වාසයේ සත්‍යතාවන් පිළිබඳව ප්‍රශ්න කරන්නෙමු. දෙවියන් වහන්සේගේ වැඩසිටීම පිළිබඳවත්, උන් වහන්සේගේ දිව්‍ය සංරක්ෂණය පිළිබඳවත් අපි ප්‍රශ්න කරන්නෙමු. 

ඒ වෙනුවට අප අපගේ විශ්වාසයේ මදකම පිළිබඳව සිතා බලන්නේ නම්, මාගේ අදහසට අනුව වැදගත්ම වන්නේ එම කරුණයි. සියල්ල සිදුවන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව බවත්, සියල්ල පසුපස දේව හස්තය ක්‍රියාත්මක වන බවත් අප අදහා ගන්නේ නම්, අපගේ විශ්වාසයේ ජීවිතය ඉහත සඳහන් කළ අභියෝග හමුවේ ස්ථිරව පවත්වා ගත හැකි වනු ඇත. කිතුනුවෙකු ලෙස අප ගමන් කළ යුත්තේ ක්‍රිස්තුන් වහන්සේ ගමන් කළ මාර්ගයෙහි ය. අප ජීවත් විය යුත්තේ ඔවුන් වහන්සේගේ ඉගැන්වීම්වලට අනුව ය. ඔවුන් වහන්සේ දරා ගත් කුරුසිය දරා ගන්නට අප සෑම දෙනාටම පොදු ආරාධනයක් ඇත. එහෙත් යමෙක් කිතුනුවෙකු මෙන් දුක් විඳී නම්, ඒ ගැන ලැජ්ජා නොවී, ඔබ කිතුනු නාමය දරන බැවින් දෙවියන් වහන්සේට ගෞරව කරන්න” (1 පේදුරු 4:16). 

කිතුනුවන් වශයෙන් අපට විඳින්නට සිදුවන දුක්, බය ගැන ලැජ්ජා නොවී, ඒ ගැන සතුටු විය යුතු ය. මන්ද, ජේසුස් වහන්සේ කුරුසිය දරා ගත්තේ දුකින් හෝ කලකිරීමෙන් නොවන බැවිනි. ඒ අපට ඇති ආදරයේ නාමයෙනි. එහෙත් එක සිතින් ඔවුන් වහන්සේ අදහාගන්නා තැනැත්තා, කිසිදු අයුරකින් විනාශ වන්නේවත්, අතරමං වන්නේවත් නැත. ඒ බව ඔවුන් වහන්සේ විසින් මරණය වැළඳ ගනු ලැබීමට පෙරදීම අපට පොරොන්දු වූ සේක. මා අදහන්නා මා කරන ක්‍රියාද කරන්නේ ය... පුත්‍රයා තුළ පියාණන් වහන්සේ මහිමයට පමුණුවනු ලබන පිණිස, ඔබ මාගේ නාමයෙන් අයදින කවර දෙයක් වුවද මම ඉටුකරන්නෙමි” (ශු. ජොහාන් 14:12-13). 

 මේ මරණය ජයගත් ජීවිතය පාස්කු ඉරිදා තුළින් විජයග්‍රාහීව දෝංකාර දෙන්නේ උත්ථානයද අපට දානය කරමිනි. පාස්කුව කිතුනු අපට සැබැවින්ම ජීවිතය සිහිකැඳවන දිනයකි. පාස්කුව කිතුනුවාට උත්ථානය උදම් අනමින් සිහිපත් කරන්නට වරප්‍රසාදය දෙන දිනයකි. ශ්‍රී ලාංකීය කිතුනු මෑත කාලීන දෙවසරක ඉතිහාසය තුළ පාස්කුව යන වදන තුළ සැඟවී ඇති කඳුළු කතාවල තවම නිමාවක් නොමැත. අහිංසකයින්ගේ ජීවිතය පැහැර ගන්නට ආ මුළා වූ අන්තවාදීන් ඒ ජීවිත ඩැහැගත්තද අද මියගිය ඒ සියලු දෙනා ප්‍රාණපරිත්‍යාගීන් සේ පාස්කුවේ උත්ථානය ජීවත්වන අපට කියාදෙන බව අපගේ විශ්වාසයයි. තවදුරටත් කිතුනුවන්ගේ ජීවිතය අකාලේ ඩැහැගන්නට කිසි අන්තවාදියෙකුට නොපිළිවන් අතර පාස්කුවේ විජයග්‍රාහී මරණයේ දෝංකාරය මෑත කාලීන ශ්‍රී ලංකාවේ ප්‍රාණපරිත්‍යාගීන් විහිදා ඇති ආකාරය යුක්තිය, සාධාරණත්වය තුළ කිසිම බලවතෙකුට හෑල්ලු කරන්නට නොහැකි බව මරණය මරමින් ජයගත් මරණය තුළින්ම පවසන්නෙමු.

පමුණුගම මීසම් සේවක 
ශාන්ත සාගර හෙට්ටිආරච්චි පියතුමා
උපුටා ගැනීම - ලංකාදීප වෙබ් අඩවිය - විශේෂාංග

No comments:

Post a Comment

Stay Safe

Stay_Safe Free_Ad