සක්වළ වීරයෝ: Lanterns - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Sep 4, 2026

සක්වළ වීරයෝ: Lanterns

DCU සුපිරි වීරයන් අතරේ, විශ්වයේ සාමය සුරකින පොලිස් නිලධාරීන් මෙන් ක්‍රියා කරන ග්‍රීන් ලැන්ටර්න්වරුන් ඇසුරින් නිර්මාණය වුණු, HBO හරහා විකාශය වන ලැන්ටර්න්ස් (Lanterns) ටෙලි කතා මාලාව මේ වනවිට ඉහළ ප්‍රේක්ෂක අවධානයක් දිනාගෙන අවසන්ය. 

ලැන්ටන්ස් චිත්‍රකතාවලින්, කාටූන්වලින් සහ කාටූන් චිත්‍රපටවලින් ජනප්‍රිය වූ හැල් ජෝර්ඩන්, ග්‍රීන් ලැන්ටර්න්වරයා පාදක කර ගනිමින් ලැන්ටර්න්ස් (Lanterns) ටෙලි කතා මාලාව නිර්මාණය වී ඇත. 

ලැන්ටර්න්ස් (Lanterns) හරහා ජෝන් ස්ටුවර්ට් ද ප්‍රේක්ෂක අපට හඳුන්වා දෙයි. කතාමාලවට අනුව, ජෝන් ස්ටුවර්ට් යනු හැල්ගෙන් පසු ඔහුගේ මුද්ද ලබා ගැනීමට පුහුණුව ලබන අනුප්‍රාප්තිකයාය. 
ඇමෙරිකාවේ නෙබ්‍රැස්කා ජනපදයේ රෂ්විල් නමැති කුඩා නගරයේ මනුෂ්‍ය වෙසින් සැගවී සිටින පිටසක්වළ ජීවීන් කිහිප දෙනකු ඝාතනය වීම සහ එය පිටුපස සිටින්නේ කවුරුන්දැයි අනාවරණය කර ගැනීම ලැන්ටර්න්ස් (Lanterns) ටෙලි කතා මාලාවේ ප්‍රධාන කතා තේමාවය. 

ඊට අමතරව, හැල් ජෝර්ඩන්ගේ සහ ජෝන් ස්ටුවර්ට්ගේ චරිතවල පසුබිම් කතා ද ප්‍රධාන කතා තේමාවට සමගාමීව ගලා යයි. ඒ, අතීතයට සහ අනාගතයට නරඹන්නන් රැගෙන යමිනි. 

හැල් ජෝඩන් ලෙස චරිත නිරූපණය කරන්නේ ජනප්‍රිය මෙන්ම සම්මානනීය නළු කයිල් චැන්ඩ්ලර්ය. ජෝන් ස්ටුවර්ට් ලෙස චරිත නිරූපණය කරන්නේ ජනප්‍රිය නළු ඇරන් පියේර්ය. ඊට අමතරව, DCU විශ්වයේ අලුත් සුපර්මෑන් චිත්‍රපටයෙන් දකින්න ලැබුණු ගායි ගාඩ්නර් ග්‍රීන් ලැන්ටර්න්වරයා ද මෙම කතාමාලාවේ දකින්න ලැබේ. ගායි ගාඩ්නර් ලෙස චරිත නිරූපණය කරන්නේ ජනප්‍රිය නළු නේතන් ෆිලියොන් ය. 
රෂ්විල් නගරයේ ෂෙරිෆ් ලෙස කටයුතු කරන කෙරී කේන් ලෙස කෙලී මැක්ඩොනල්ඩ්, ඇගේ සැමියාගේ පියා මෙන්ම පිටසක්වළ තර්ජනවලින් පෘථිවි වැසියන් ආරක්ෂා කළ යුතු යැයි අන්තවාදීව සිතන විලියම් මේකන් ලෙස ගැරෙට් ඩිලාහන්ට් ද, ඔහුගේ බිරිඳ සෝයි මේකන් ලෙස ඉන්දීය සම්භවයක් සහිත ඇමෙරිකන් නිළි පූර්ණා ජගන්නාතන් ද සෙසු චරිතවලට පණ පොවති. 

ඩේමන් ලින්ඩෙලොෆ්, ක්‍රිස් මුන්ඩි සහ ටොම් කිංග් ප්‍රකට නිර්මාණකරුවන්ගේ එකතුවෙන් නිර්මාණය වී ඇති ලැන්ටර්න්ස් (Lanterns) කතා මාලාව, සාම්ප්‍රදායික සුපිරි වීර කතාවලින් ඔබ්බට ගිය සංකීර්ණ, අඳුරු සහ කුතුහලය පිරි අත්දැකීමක් ප්‍රේක්ෂකයාට ලබා දෙයි. 

චිත්‍රපටයේ නපුරන් ලෙස සැලකෙන්නේ මෑන්හන්ටර්ස් (Manhunters) ය. DCU විශ්වයේ මෑන්හන්ටර් (Manhunter) යන වදන සම්පූර්ණයෙන්ම එකිනෙකට වෙනස් ලෙස භාවිතයට ගැනෙයි. ඒ, මෑන්හන්ටර්ස් (Manhunters) සහ මාෂන් මෑන්හන්ටර් (Martian Manhunter) ලෙසය. 

මෑන්හන්ටර්ස් Manhunters යනු ග්‍රීන් ලැන්ටර්න් බලකාය තැනීමට පෙර එම බලකාය නිර්මාණය කළ ගාඩියන්ස් නමැති නිල් පැහැති සුදු හිස කෙස් ඇති ප්‍රමාණයෙන් කුඩා ‘ගාඩියන්ස්’ නමැති ජීවීන් විසින් විශ්වයේ සාමය රැකීමට නිර්මාණය කරන ලද ස්වයංක්‍රීය රොබෝ හමුදාවකි. 

මෙම රොබෝවරුන්ගේ දෝෂයක් නිසා, ඔවුන් හැඟීම් විරහිතව සිදු කළ ජන සංහාරයක් නිසා මෑන්හන්ටර්ස් මෑන්හන්ටර්ස් අක්‍රිය කර දැමීමට ගාඩියන්වරු කටයුතු කළහ. පසුව ඔවුන්ව අක්‍රිය කර ඒ වෙනුවට ග්‍රීන් ලැන්ටර්න් බලකාය පිහිටුවන ලදී. මෑන්හන්ටර්ස්, ලැන්ටර්න්වරුන්ගේ ප්‍රධාන සතුරන් පිරිසකි. 

මාෂන් මෑන්හන්ටර් (Martian Manhunter) යනු ජෝ-ජෝන්ස් Jonn Jonzz නමැති අඟහරු ග්‍රහලෝකයෙන් පෘථිවියට පැමිණෙන, සුපර්මෑන් වැනි පිටසක්වළ සුපිරි වීරයෙකි. DCU විශ්වයේ ජස්ටිස් ලීග් කණ්ඩායමේ ආරම්භක සාමාජිකයකු වන්නේ මාෂන් මෑන්හන්ටර් ය. සිතුවිලි කියවීමට (telepathy), ශරීරයේ රූපය වෙනස් කිරීමට (shapeshifting) සහ සිරුර විනිවිද යා හැකි ලෙස වෙනස් කර ගැනීමට මාෂන් මෑන්හන්ටර් ට හැකියාව ඇත. 
කෙටියෙන් කීවොත්, මෑන්හන්ටර්ස් යනු විශ්වයේ ආරක්ෂාව සඳහා නිර්මාණය කළ රොබෝ හමුදාවක් වන අතර, මාෂන් මෑන්හන්ටර් යනු අඟහරු ග්‍රහයාගෙන් පැමිණ පෘථිවිය සහ විශ්වය රකින සජීවී සුපිරි වීරයෙකි. මොවුන් දෙපාර්ශ්වය අතරේ කිසිදු සම්බන්ධයක් නැත. ලැන්ටර්ස් නිර්මාණකරුවන් හිතාමතා චරිත වෙනස්කම්වලට ලක් කර ඇත. 

කතා මාලාවේ ‘ගාඩියන්ස්’ පිටසක්වළුයන්ට ඕනෑම ස්වරූපයක් ගැනීමට හැකියාව ඇත. ජනප්‍රිය මෙන්ම සම්මානනීය හොලිවුඩ් නිළි ලෝරා ලිනී ද ‘ගාඩියන්ස්’ පිටසක්වළයකු ලෙස චරිත නිරූපණය කරයි. කතාමාලවේ ‘ගාඩියන්ස්’ පිටසක්වළයන්ට, මාෂන් මෑන්හන්ටර් (Martian Manhunter) මෙන් ස්වරූපය වෙනස් කිරීම කරගත හැකිය. 

෴ ලුසිත ජයමාන්න

Classified_Ad