

පුරාෂාධිපත්‍ය රජ කරන නාවික ක්ෂේත්‍රයේ, බාධක සහ අභියෝග ජය ගනිමින්, ඊජිප්තුවේ පළමු නැව් කපිතාන්වරිය බවට පත් වීමට සමත් වූයේ මර්වා එල්සෙලෙඩාර් ය.
පසුගිය දා 'ඇරෑබ් නිවුස්' පුවත් වෙබ් අඩවිය පුවතක් පළ කරන්න වූයේ සූවස් ඇළේ නැව සිරවීමේ සිද්ධිය වගකිව යුත්තේ මර්වා බවය. එම පුවත ඉන්පසු ට්විටර් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ ද කතාබහට ලක් විය.
එහෙත් එය බොරු පුවතකි. මෙවැනි බොරු පුවත් Fake News අන්තර් ජාලයේ සහ සමාජ මධ්‍ය අතරේ නිරන්තරයෙන් සංසරණය වෙයි.
කෙසේ නමුත් බොරු පුවත මර්වා එල්සෙලෙඩාර්ගේ ප්‍රතිරූපයට හානියක් කර අවසන්ය.
'අයිඩා 4' නමැති ඊජිප්තු නැවේ කපිතාන් ලෙස මර්වා එල්සෙලෙඩාර් කටයුතු කරයි.
එදා 'එවර්ගිවන්' නමැති යෝධ නෞකාව වැලි කුණාටුවකට ද හසුවී, එහි කාර්ය මණ්ඩලයේ අත්වැරදීමක් නිසා සූවස් ඇළේ පැත්තට හිර වෙද්දී, මර්වා එල්සෙලෙඩාර් නායකත්වය දෙන, ඊජිප්තු සමුද්‍ර ආරක්ෂක අධිකාරියට අයත් 'අයිඩා 4' නැව, ඊජිප්තුවේ සිට රතු මුහුදේ ප්‍රදීපාගාරයක් වෙත අවශ්‍ය බඩු බාහිරාදිය ගෙන යමින් තිබුණි.
'එවර්ගිවන්' නැව නිසා සූවස් ඇළ සිරවී නැව් ගමනාගමනයට බාධා එල්ල වෙද්දී, මර්වා සහ 'අයිඩා 4' නැව තිබුණේ ඇලෙක්සෙන්ඩ්‍රියාවට ඔබ්බෙන් සැතපුම් ගණනාවක් දුරිනි.
තමන්ගේ ඡායාරූපයක් ද පළ කරමින්, එවර්ගිවන් නැව සූවස් ඇළේ සිරවූයේ තමන්ගේ වරදින් යැයි 'ඇරෑබ් නිවුස්' වෙබ් අඩවිය පුවත් පළ කර තිබෙනු දැකීම මර්වාගේ පුදුමයටත්, කනස්සල්ලටත්, දුකටත් හේතුවක් විය.
'ඇත්තටම මා පුදුම වුණා. සූවස් ඇළේ සිද්ධියට මාගේ කිසිදු සම්බන්ධයක් නැහැ. ඒත් මාගේ නමත් ඡායාරූපත් පළ කරමින් ෆේක් නිවුස් පළ වුණා.' යැයි ආචාර්ය උපාධිධාරිණියක ද වන 29 හැවිරිදි මර්වා BBC පුවත් සේවය සමඟ පවසා ඇත.
'මා කාන්තාවක් වීමත්, කපිතාන්වරියක වීමත්, පිරිමින්ට පමණක් සීමා වුණු නාවික කටයුතුවලට සම්බන්ධ වීමත් බොහෝ දෙනාගේ ඇස්වල කටු ඇණෙනවා වගේ දෙයක්. මෙවැනි ෆේක් නිවුස් පළ කර තිබෙන්නේ මගේ නම කැත කිරීමේ අරමුණින් වෙන්න ඕනෑ.' යැයි මර්වා වැඩිදුරටත් පැහැදිලි කර තිබේ.
අද වනවිට ලෝකයේ නාවික ක්ෂේත්‍රයට කාන්තාවන් සම්බන්ධ වී සිටින්නේ සියයට 2 ක් පමණක් යැයි 'ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානය' පෙන්වා දී ඇත.
මැදපෙරදිග කලාපීය රටවල නාවික නිලධාරීන් පුහුණු කරන්නේ අරාබි ලීගය යටතේ පවතින 'විද්‍යා, තාක්ෂණ සහ සමුද්‍රීය ප්‍රවාහන පුහුණු විද්‍යාලය' මගිනි. අරාබි ලීගය යනු අරාබි රටවල එකමුතුවෙන් පිහිටුවා ගත් සංවිධානයයි.
මෙහි පුහුණුවට ඇයැදුම්පත් ඉදිරිපත් කළ හැක්කේ පිරිමින්ට පමණි.
කෙසේ නමුත් මර්වාගේ සොහොයුරා නාවික හමුදා නිලධාරියකු වීමත්, මර්වා එවකට ඊජිප්තුවේ ජනාධිපති වූ හොස්නි මුබාරක්ගෙන් කළ ලිඛිත ඉල්ලීමක් ද සැලකිල්ලට ගනිමින් ඇයට 'විද්‍යා, තාක්ෂණ සහ සමුද්‍රීය ප්‍රවාහන පුහුණු විද්‍යාලය' ඇතුළත් වීමට විශේෂ අවසරණයක් ලැබුණි.
කැපිලි කෙටිලි මැද ඊජිප්තු නාවික ක්ෂේත්‍රයට පිවිස කපිතාන්වරියක් තෙක් උසස්වීමට ඇය සමත් වූයේ ඉන්පසුවය.
BBC