කඩිනමින් පළාත් සභා මැතිවරණය පවත්වන්න - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Apr 20, 2021

කඩිනමින් පළාත් සභා මැතිවරණය පවත්වන්න

ජාත්‍යන්තර ප්‍රජාවට දුන් පොරොන්දු ඉටු කරමින් ශ්‍රී ලංකාව කඩිනමින් පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු යැයි ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් උපුටා දක්වමින් ‘ද හින්දු’ පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.

දේශපාලන අධිකාරිය තුළින් බලය බෙදන බවට ශ්‍රී ලංකා රජය දුන් පොරොන්දු ඉටු කරන්නැයි ජාත්‍යන්තරය කරන ඉල්ලීමට ඉන්දියාව සහාය පළ කරන බව ද හෙතෙම පවසා ඇත. 

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනයට අනුව සියලු පළාත් සභාවලට කාර්යක්ෂම කටයුතු කිරීමට ඉඩ ලබාදීම තහවුරු කිරීම ද ඊට අයත් යැයි හෙතෙම සඳහන් කර ඇත. 

ඉන්දියාවේ ඒ.අයි.ඒ.ඩී.එම්.කේ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. තම්බි දුරෙයි ට මෑතකදී ලිපියක් යවමින් ඉන්දීය විදේශ අමාත්‍යවරයා ඒ බව සඳහන් කර ඇත. 

ඒ.අයි.ඒ.ඩී.එම්.කේ පක්ෂය යනු තමිල්නාඩු ප්‍රාන්තය කේන්ද්‍ර කරගත් පක්ෂයකි. එම්. තම්බිදුරෙයි ඉන්දීය පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය වන රාජ්‍ය සභාව නියෝජනය කරයි. 

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ පැවැති ඡන්ද විමසීමේදී ඉන්දියාව ඡන්දය දීමෙන් වැළැකී සිටියේ යම් ස්ථාවරයක සිට බවත් එම ස්ථාවරය එම කවුන්සිලයේ දී පැහැදිලිව ප්‍රකාශ කළ බවත් ඉන්දීය විදේශ අමාත්‍යවරයා මෙහිදි දන්වා ඇත. 

“ශ්‍රී ලංකාවේ දමිළ ජනතාවට සාමය, සාධාරණත්වය, යුක්තිය සහ අභිමානය” එම ස්ථාවරය බවත් එය කවුන්සිලයේ පැවැති ඡන්ද විමසීමේදී අවධාරණය කළ බවත් ඉන්දීය විදේශ අමාත්‍යවරයා සඳහන් කර ඇත. ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ අභිලාෂ ඉටු වන පරිදි සංහිඳියා/ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය ඉදිරියට ගෙන යන්නැයි ද ජාත්‍යන්තර ප්‍රජාව සමඟ ඵලදායීව කටයුතු කරන්නැයි ද ශ්‍රී ලංකා රජයට අවධාරණය කළ බව ද හෙතෙම සිය ලිපියේ සඳහන් කර ඇත. 

ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ අභිලාෂ සහ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා සියලු ක්‍රියාමාර්ග ගැනීම තහවුරු කරන බවත් ඉන්දියාව ඊට ඉහළ ප්‍රමුඛත්වයක් දෙන බවත් ඉන්දීය විදේශ අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කර ඇත. 

‘ද හින්දු’ ඇසුරිනි

Classified_Ad

Classified_Ad_News_Bottom