
ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයකු වන ආචාර්ය මන්මෝහන් සිං කොරෝනා ආසාදිතයකු බව තහවුරු වී තිබේ. 88 හැවිරිදි හිටපු අග්‍රාමාත්‍යවරයා පී.සී.ආර්. පරීක්ෂණයකට යොමු කළ ඇත්තේ ඔහුට උණ ගැනී තිබුණු බැවිනි.
කොරෝනා ආසාදිතයකු බව තහවුරු වීමෙන් පසු ආචාර්ය මන්මෝහන් සිං නවදිල්ලි රෝහලකට ඇතුළත් කෙරුණු බවත්, ඔහු වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා සදහන් කරයි.
කොරෝනා ආසාදිතයකු බව හදුනා ගැනෙද්දී, ආචාර්ය මන්මෝහන් සිං, කොරෝනා වයිරසයට එරෙහිව ඉන්දීය විද්‍යාඥයන් සියයට සියයක් ඉන්දීය තාක්ෂණය යොදා ගනිමින් නිපදවූ 'කොවැක්සින්' එන්නතේ පළමු සහ දෙවැනි මාත්‍රා ලබා ගෙන තිබුණි.
ආචාර්ය මන්මෝහන් සිං ට 'කොවැක්සින්' එන්නතේ පළමු මාත්‍රාව ලබා දී ඇත්තේ මාර්තු 4 වැනිදා බවත්, දෙවැනි මාත්‍රාව ලබා දී ඇත්තේ පසුගිය අප්‍රේල් 3 වැනිදා බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
මේ අතර, ඉන්දියාවේ අවුරුදු 18 වැඩි සැමට කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීමට ඉන්දීය මධ්‍යම රජය අද (19) තීරණය කළේය.
එන්නත්කරණ වැඩසටහන මෙසේ පුළුල් කිරීමට තීරණය කෙරුණේ ඉන්දියාවෙන් දිනපතා කොරෝනා ආසාදිතයන් ලක්ෂ දෙකකට වැඩියෙන් වාර්තා වීමට පටන්ගෙන ඇති බැවිනි.
ඉන්දියාව ඔවුන්ගේ එන්නත්කරණ වැඩසටහන ආරම්භ කළේ පසුගිය ජනවාරියේය. මෙම අප්‍රේල් පළමු වැනිදා සිට 45 ට වැඩි සැමට එන්නත් ලබා දෙමින් එන්නත්කරණ වැඩසටහන පුළුල් කළේය.
ආසාදිතයන්ගේ අඩුවක් දකින්න නොලැබෙන බැවින්, ලබන මැයි පළමු වැනිදා සිට ඉන්දියාවේ 18 වැඩි සැමට එන්නත් ලබා දීම ආරම්භ කරන බවත්, ඉන්දියාවේ නිෂ්පාදනය කරන එන්නත් සියල්ල ඒ වෙනුවෙන් යෙදවීමටත් ඉන්දීය රජය තීරණය කළේය.
NDTV