
හමුදා කදවුරේ, වෛද්ය මධ්යස්ථානයට කඩා වැදුණු නිදාල් කළ වෙඩි තැබීමෙන්, ඇමෙරිකන් සොල්දාදුවෝ 13 ක් ජීවිතක්ෂයට පත්වූහ. තවත් 30 කට වැඩි පිරිසක් තුවාල ලැබූහ. පෙරළා කළ වෙඩි තැබීම්වලින් නිදාල් තුවාල ලැබීය. ඒත්, ඔහු මියගියේ නැත. ඉනෙන් පහළ අප්රාණික විය. 2011 වසරේ දී මිනීමැරුම් චෝදනා 13 ක් සහ මිනීමැරීමට තැත් කිරීමේ චෝදනා 32 ක් යටතේ ඔහුට නඩු පවරන ලදී. 2013 දී හමුදා අධිකරණය හමුවේ, නිදාල් හසන් සියලු චෝදනාවලට වරදකරු වූ අතර ඔහුට මරණ දඬුවම නියම විය.
ෆෝට් හුඩ් ඝාතන සම්බන්ධයෙන්, ඇමෙරිකන් ජාතික ආරක්ෂක ඒජන්සිය සිදු කළ විමර්ශනවලදී අනාවරණය වූයේ, 2009 නොවැම්බර් පස් වැනිදා, එනම් වෙඩි තැබීමට දින දෙකකට පෙර, නිදාල් හසන් සහ යේමනයේ සිටි ඉමාම් අන්වර් අල්-අවුලාකි අතරේ ඊ මේල් ගනුදෙනු සිදුවුණු බවත්, නිදාල් ඉස්ලාමීය අන්තවාදියකු බවට පරිවර්තනය වී සිටි බවත්ය.
නිදාල් ඊ මේල් ගනුදෙනු සිදු කළ අන්වර් අල්-අවුලාකි යනු ඇමෙරිකානුවෙකි. ඔහු උපන්නේ 1971 වසරේ, නිව් මෙක්සිකෝ ජනපදයේය. ඔහුගේ මාපියන් යේමනයෙන් ඇමෙරිකාවට සංක්රමණය වූ අය යැයි පැවැසෙයි. ඉස්ලාම් ආගමික පූජකයකු වූ අන්වර් අල්-අවුලාකි, අන්තවාදී අදහස් ඇත්තකු විය.
ආගමික දේශකයකු, ලේඛකයකු පමණක් නොව, අවසානයේ අල්-කයිඩා ත්රස්ත සංවිධානයේ ප්රධාන පෙළේ නායකයකු බවට ද ඔහු පත් විය. ඔහු ඇමෙරිකාව හැර යේමනයට ගියේය. ෆෝට් හුඩ් කදවුරේ ඝාතනයට උඩගෙඩිදීම කළේ අන්වර් අල්-අවුලාකි බව තහවුරු විය.
යේමනයේ සැඟවී සිටි අන්වර් අල්-අවුලාකි ඝාතනය කිරීමට ඇමෙරිකන් බුද්ධි අංශ සහ හමුදාව සමත් විය. ඒ, 2011 වසරේදීය. අන්වර් අල්-අවුලාකි ඉලක්ක කර ගනිමින් ප්රහාරය සිදුවූයේ එවකට ඇමෙරිකාවේ ජනාධිපති ධුරය හෙබවූ බැරැක් ඔබාමාගේ අණ පරිදිය.
පසුව යේමනයේ පුරවැසිභාවය හිමි වුවත්, අන්වර් අල්-අවුලාකි ඇමෙරිකන් පුරවැසියෙකි. ඒ අනුව, ඇමෙරිකන් හමුදාව ඩ්රෝන ප්රහාරයක් එල්ල කරමින් ඝාතනය කළ පළමු ඇමෙරිකන් පුරවැසියා අන්වර් අල්-අවුලාකිය.
ෆෝට් හුඩ් කදවුරේ වෙඩි තැබීම වැළැක්වීමට අපොහොසත් වීම මුල්කොට ගනිමින්, ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ එෆ්.බී.අයි කාර්යාංශය වෙන වෙනම විමර්ශන පැවැත්වූ අතර, කොංග්රස් මණ්ඩලය (ඇමෙරිකන් පාර්ලිමේන්තුව) මගින් ද තවත් විමර්ශනයක් පැවැත්විණි.
අවසානයේ, මිනීමැරුම් චෝදනාවලටත්, මිනීමැරීමට තැත් කිරීමේ චෝදනාවලටත් වරදකරු වී මරණ දඬුවම නියම වුණු නිදාල් හසන් ඇමෙරිකාවේ කැන්සාස්, ෆෝට් ලීවන්වර්ත් පිහිටා ඇති හමුදා බන්ධනාගාරයට යැවුණි.
නිදාල් හසන්ගේ මරණ දඬුවම, මෙම වසරේ දෙසැම්බර් 3 වන දින ඇමෙරිකාවේ වේලාවෙන් පස්වරු 1.00 ට ෆෝට් හුඩ් හිදී ක්රියාත්මක වනු ඇතැයි ඇමෙරිකාවේ වැඩ බලන හමුදා ලේකම් ඇඩම් ටෙල් මාධ්ය හමුවේ පවසා ඇත.
නිදාල් හසන්ගේ මරණ දඬුවම ක්රියාත්මක වනු ඇත්තේ ඔහුට වෙඩි තැබීමෙනි. මරණ දඬුවම ක්රියාත්මක කරන ආකාරය සජීවීව විකාශය කිරීමට කටයුතු කරන බව ඇමෙරිකන් ආරක්ෂක ලේකම් පීට් හෙග්සිත් පවසා ඇත. මීට පෙර හමුදා අධිකරණයක් හමුවේ වරදකරු වී හමුදා සාමාජිකයකු නැතිනම් හමුදා සෙබළකුගේ මරණ දඩුවමක් ක්රියාත්මක වූයේ 1961 අප්රේල් 13 වැනිදාය.
ආරක්ෂක ලේකම් පීට් හෙග්සිත්එම සෙබළා ජෝන් ඒ. බෙනට් ය. ඔහු ස්ත්රී දූෂණයකට සහ මිනීමැරීසට තැත් කිරීම යන චෝදනාවලට වරදකරු විය.
නිදාල් හසන්ගේ මරණ දඬුවම ක්රියාත්මක කරමින්, ඔහු වෙඩි තබා මරා දමන බවත්, එම දසුන් සජීවීව නැරඹීමට සැලැස්වීමටත් ඉඩ ලබා දෙන බවට ආරක්ෂක ලේකම් පීට් හෙග්සිත් මාධ්ය හමුවේ ප්රකාශ කිරීමත් සමග ආන්දෝලනයක් නිර්මාණය විය.
ඊට හේතුව, මේ වනවිට ඇමෙරිකාව තුළ මරණ දඬුවම ක්රියාත්මක කරන ආකාරය පිළිබඳව බරපතල ප්රශ්න මතුවී තිබීමය. එම ප්රශ්නවලට ප්රධාන වශයෙන් හේතු වූයේ පසුගියදා ටෙනිසි ජනපදයේ ක්රිස්ටා පයික් නමැති වරදකාරිය, විෂ එන්නතකින් මරා දැමීමට ගත් උත්සාහයත්, එම උත්සාහය අසාර්ථක වීමත් සමගය.
ක්රිස්ටා පයික් යනු 1995 වසරේදී ඇමරිකාවේ ටෙනෙසී හිදී සිදු වූ කුරිරු ඝාතනයක් සම්බන්ධයෙන් මරණ දඩුවම නියම වූ කාන්තාවකි. ඇය විසින් කළ වරද වූයේ ඊර්ෂ්යාව මුල් කරගනිමින් ඇගේ, පෙම්වතාගේ සහ තවත් අයෙකුගේ හවුල්කාරීත්වයෙන් කොලීන් ස්ලෙමර් නම් සිසුවියක අමානුෂික ලෙස වධදී ඝාතනය කිරීමය. මේ වෙනුවෙන් 1996 දී ඇයට විදුලි පුටුව මගින් මරණ දඩුවම නියම වූ අතර, පසුව එය මාරක විෂ එන්නතක් මගින් ක්රියාත්මක කිරීමට නියම විය.
ඉකුත් සැප්තැම්බර් 30 වන දින ඇයට මාරක විෂ එන්නත (පෙන්ටොබාර්බිටාල් නමැති ඖෂධය) ලබා දී මරණ දඩුවම ක්රියාත්මක කිරීමට උත්සාහ කළද, ඇය මියගියේ නැත. මෙම මරණ දඩුවම අසාර්ථක වීමට ප්රධාන වශයෙන් හේතු වූයේ සිරුරට ඖෂධය ඇතුළත් කළ නහර මාර්ගයේ සිදු වූ දෝෂයක් නිසා ඖෂධය රුධිරයට නිසි පරිදි ගමන් නොකර පටක තුළට කාන්දු වීම හෝ එන්නත් කිරීමේ ක්රියාවලියේ යම් අක්රමිකතාවක් සිදුවීම බව වෛද්ය හා නීති අංශ සැක පළ කර ඇත. කෙසේ හෝ අවසානයේ ඇය සිහිය ලබා සාමාන්ය පරිදි කතා කිරීමට පටන් ගැනීමත් සමග බන්ධනාගාර බලධාරීන් ඇය හදිසි ප්රතිකාර සඳහා රෝහල වෙත ගෙන යාමට කටයුතු කළේය.
රෝහල්ගතව ප්රතිකාර ලබා ගැනීමෙන් පසු මේ වන විට ඇය සාමාන්ය තත්ත්වයට පත්ව සිටින අතර, ඇය යළි බන්ධනාගාරය වෙත රැගෙන යෑම සිදු කර ඇත. ඇමෙරිකන් ඉතිහාසයේ, මාරක විෂ එන්නත ලබා දීමෙන් පසු එයින් බේරුණු පළමු පුද්ගලයා වන්නේ ක්රිස්ටා පයික්ය. ඉදිරියේදී ඇයගේ මරණ දඬුවම යළි ක්රියාත්මක වේවිද නැද්ද යන්න සම්බන්ධයෙන් වාද විවාද පවතී.
නිදාල් හසන්ගේ මරණ දඬුවම ක්රියාත්මක කරන ආකාරය සම්බන්ධයෙන් ඇමෙරිකන් මාධ්ය දිගින් දිගටම ප්රශ්න කරද්දී, ආරක්ෂක ලේකම් පීට් හෙග්සිත් අවධාරණය කර ඇත්තේ, ෆෝට් හුඩ් හමුදා කඳවුරේ දී, නිදාල් හසන් වෙඩි තබා ඝාතනය කිරීම සහ එම දසුන් සජීවීව විකාශය කිරීමට ගත් තීරණය කිසිම හේතුවක් නිසා වෙනස් නොවන බවය. ‘මොකද වෙන්නේ, අපි එදාට (දෙසැම්බර් 3 වැනිදා) බලමු.’ යැයි හෙග්සිත් අවධාරණය කර ඇත.
ලුසිත ජයමාන්න
CNN ඇසුරිනි


