අලුත් දියණිය හෙලිකොප්ටරයකින් අරන් ආ පියා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Apr 24, 2021

අලුත් දියණිය හෙලිකොප්ටරයකින් අරන් ආ පියා

ඉන්දීය සමාජ විශ්වාස අනුව, ගැහැනු දරුවකු උපත ලැබීම ඇතැම් ඉන්දියානුවන්ට ලොකු අවමානයකි. අගෞරවයකි. සාම්ප්‍රදායික අදහස්වල එල්ලී සිටින ඉන්දියානුවෝ බොහෝ දෙනෙක් වෙති. ඒත්, කොරෝනා වසංගතය මැද, තම අලුත උපන් දියණියට අසීමිත ලෙස ආදරය කරන, ඇගේ උපත තම ජීවිතයේ පරම සතුට යැයි සිතන පියකු ගැන ඉන්දියාවේ රාජස්ථාන ප්‍රාන්තයෙන් අසන්න ලැබේ. 
මේ පියා හනුමාන් රාජපාත් නමැත්තාය. මොහු හින්දු භක්තිකයෙකි. හනුමාන් රාජපාත්ගේ බිරිඳ චිකී දේවි ය. පසුගිය පෙබරවාරි 3 වැනිදා නාගෞර් දිසා රෝහලේ දී ඇය දියණිය බිහි කළාය. ඇයට රියා යනුවෙන් නම් තැබුවේ ද හනුමාන් රාජපාත් ය. 

රියා බිහිවූයේ යුවල විවාහ වී වසර 35 කට පසුව වීම විශේෂත්වයකි.

දියණියක උපත ලැබුවොත්, තමන් ඇයට අසීමිතව ආදරයත් සෙනෙහසත් පුද කරන බවත් කුමරියක සේ සලකන බවත් හනුමාන් වසර ගණනක් තිස්සේ පවසා ඇත. 

අවසානයේ ඔහුට ඒ සඳහා අවස්ථාවක් උදා විය. 

ප්‍රසූතියෙන් පසු දියණිය රැගත් චිකී දේවි ඇගේ මාපියන්ගේ නිවසට ගියාය. මාපියන්ගේ නිවස පිහිටි ගම්මානය හර්සොලාව් පිහිටා ඇත්තේ හනුමාන්ගේ නිවසේ සිට කිලෝ මීටර් 40 ක් දුරිනි. හනුමාන්ගේ නිවස ඇත්තේ නිම්බ්දී චණ්ඩවාටා ගම්මානයේය. 

බිරිඳගේ නිවසට ගොස් ඇය සහ අලුත උපන් බිලිඳිය තම නිවසට ආපසු රැගෙන ආවේ නිකම්ම නොවෙයි; කුලියට ගත් හෙලිකොප්ටරයකිනි. 

හෙලිකොප්ටරයෙන් ම බිරිඳගේ ගම්මානයට ගිය හනුමාන් බිරිඳ සහ දියණිය හෙලිකොප්ටරයට නංවාගෙන ආපසු ඔහුගේ නිවසට පැමිණියේ ඇය පුදුමයට පත් කරමිණි. 

හෙලිකොප්ටරයේ නැගී හර්සොලාව් සිට නිම්බ්දී චණ්ඩවාටා ගම්මානයට පැමිණීමට ගත වූයේ මිනිත්තු 10 ක් පමණි.

'මගේ පුංචි දූ, මගේ පුංචි කුමාරි උපන්නේ මගේ වාසනාවට. ඇයයි මගේ සතුට. ඇගේ උපත සමරමින් සහ ඇය යළි මගේ නිවසට පැමිණීම සැමරිය යුතු වුණා. ඒ නිසයි හෙලිකොප්ටරයකින් ඇය රැගෙන ඒමට සිතක් පහළ වුණේ' යැයි හනුමාන් ඉන්දීය මාධ්‍ය සමඟ පවසා ඇත. 

පැය දෙකක ගමනකින් පසු හර්සලෝව් නුවරට ගොස්, එහිදී හෙලිකෝපටරය කුළියට ගත්, හනුමාන් රාජ්පාත් ඇතුළු පවුලේ සාමාජිකයන් තිදෙනකු ඊට ගොඩවී, බිරිඳගේ නිවස පිහිටි ගම්මානය බලා ගොස් තිබේ.

හෙලිකොප්ටරය ගම්මානය අසල පිට්ටනියකට ගොඩබාද්දී, දේශපාලනඥයකු පැමිණෙනවා යැයි ගම්වැසියන් කලබල වුණු බව ද පැවැසෙයි. 

දියණිය සහ බිරිඳ රැගෙන යෑමට තමන් ආවේ හෙලිකොප්ටරයකින් යැයි පැවැසූ අවස්ථාවේ, බිරිඳගේ මාපියන් පවා පුදුමයට පත් වුණු බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි. 

 හනුමාන්ගේ පියා මදාන් ලාල් ද සිය අලුත උපන් මිණිබිරිය ගැන ප්‍රීති ප්‍රමෝදයට පත් වී සිටී. හෙලිකොප්ටරයෙන් ඇය යළි හනුමාන්ගේ නිවසට පැමිණීම ගැන ඔහු සතුට පළ කරයි. 

පුතාගේ අමුතු විදියේ අදහසට තමන්ගේ සහාය නොඅඩුව ලැබුණු බව මදාන් ලාල් කුමාර් කියයි. හෙලිකොප්ටරය කුලියට ගැනීමේ කටයුතු සැලැසුම් කර ඇත්තේ ද මදාන් ලාල් කුමාර් යැයි පැවැසෙයි. 

NDTV

Classified_Ad

Classified_Ad_News_Bottom