ඩුබායි හරහා ඉතාලි පනින්න හැදූ දෙදෙනා දැලේ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Apr 24, 2021

ඩුබායි හරහා ඉතාලි පනින්න හැදූ දෙදෙනා දැලේ

ව්‍යාජ තොරතුරු ඇතුළත් කර සකස් කළ ගුවන් ගමන් බලපත්‍රයක් සහ ඉතාලි වීසා බලපත්‍රයක් උපයෝගී කරගනිමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි ඔස්සේ ඉතාලිය වෙත පැන යාමට තැත් කළ ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් අද (24) අලුයම කටුනායක ගුවන්තොටුපළ ආගමන හා විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 

එක් අයෙක් 40 හැවිරිදි තරුණයෙක් වන අතර අනෙක් තරුණිය 23 හැවිරිදි පිළියන්දල ප්‍රදේශයේ අයෙකි. මොවුන් අද දින උදෑසන 3. 25 ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි බලා පිටත්වයාමට නියමිතව තිබූ එමිරේට්ස් ගුවන් සේවයේ ඊ. කේ. 649 දරන ගුවන් යානයට ගොඩවීම සඳහා ගුවන්තොටුපළ වෙත පැමිණ තිබුණි. එහිදී ගුවන් ප්‍රවේශපත් ලබා ගැනීමේ කවුළුව වෙත පැමිණි ඔවුන් ඉදිරිපත් කළ ගමන් බලපත්‍ර ඇතුළු ලියකියවිලි සම්බන්ධයෙන් මතු වූ සැකයක් මත එමිරේට්ස් ගුවන් සේවා නිලධාරීන් එම ලේඛන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගුවන්තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත බාරදී තිබේ. 

 ඔවුන් දෙදෙනා සතු ගමන් බලපත් සහ වීසා බලපත් මූලික විමර්ශනයට ලක් කළ දේශසීමා ආවේක්ෂණ ඒකක නිලධාරීන් අනාවරණය කර ගනු ලැබූයේ එම ගමන් බලපත් සහ ඉතාලි වීසා බලපත්‍ර මොවුන්ගේ ඡායාරූප සහ වෙනත් පුද්ගලයකුගේ තොරතුරු ඇතුළත් කර සකස් කර ඇති බවයි. ඒ අතර මේ දෙදෙනා සතුව මීට පෙර භාවිත කළා යැයි පැවසූ අවලංගු කළ ගමන් බලපත්‍ර දෙකක් ද සොයා ගැනීමට එම නිලධාරීහු සමත් වූහ. 

එම ගමන් බලපත්‍ර දෙක ද ව්‍යාජ තොරතුරු ඇතුළත් කර සකස් කර ඇති අතර මීට පෙර ඉතාලිය ගමන් කර ඇති බව ඇඟවීම සඳහා ව්‍යාජ ලෙස සලකුණු කර තිබූ ශ්‍රී ලංකා සහ ඉතාලි ආගමන හා විගමන මුද්‍රා ද සොයා ගැනීමට එම නිලධාරීන්ට හැකි විය. මොවුන් දෙදෙනා මීට පෙර කිසිදු දිනක ඉතාලියට ගොස් හෝ විදේශ ගතවී නො මැති අය බව අනාවරණය වූ අතර ඔවුන් විදේශ ගතවී ඇති බව ඇඟවීම පිණිස ව්‍යාජ ආගමන හා විගමන මුද්‍රා සටහන් කර ඇති බව ද හෙළි විය.

මීට පෙර භාවිත කළ ගමන් බලපත් රැගෙනවිත් ගුවන්තොටුපළ බලධාරීන් නොමග යැවීමට කටයුතු කරන ලෙසට මොවුන් හට උපදෙස් දී ඇත්තේ ද ව්‍යාජ ලේඛන සාදා දුන් තැරැව්කරු බව සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය විය. මේ දෙදෙනා මුල් අවස්ථාවේදී තමන් සහෝදරයා සහ සහෝදරිය ලෙස හඳුන්වාදී ඇති නමුන් විමර්ශනවලින් අනාවරණය වූයේ මොවුන් එකිනෙකා නාඳුනන වෙනත් අය බවයි.

ඒ අතර එකම තැරැව්කරුවකු මගින් මොවුන් ව්‍යාජ ගමන් බලපත් සහ වීසා බලපත්‍ර ලබා ගෙන ඇති බව ද එම නිලධාරීන් සිදු කළ මූලික විමර්ශනයෙන් හෙළි විය. ඉන් පසුව සැකකටයුතු මෙම තරුණිය ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන්තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත බාර දී ඇත.

ගුවන්තොටුපොළ 
විශේෂ වාර්තාකරු

Classified_Ad

Classified_Ad_News_Bottom