
'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසය ආරම්භ වූ අවස්ථාවේදී, ලෝක සෞඛ්‍ය සංවිධානය වහා ක්‍රියාත්මක වී, නිවැරදි වේලාවේ නිවැරදි තීන්දු තීරණ ගත්තා නම්, කොරෝනා වයිරසය ගෝලීය වසංගතයක් තෙක් දුරදිග නොයනු ඇති බව, ලෝක සෞඛ්‍ය සංවිධානය සම්බන්ධ, 'ඉන්ටිපෙන්ඩන්ට් පැනල්' නමැති ස්වාධීන මණ්ඩලය පවසයි.
'ඉන්ටිපෙන්ඩන්ට් පැනල්' නමැති මෙම මණ්ඩලයේ කාර්යය වන්නේ, ලෝක සෞඛ්‍ය සංවිධානය ඔවුන්ගේ වගකීම් නිසි ලෙස ඉටු කරනවා ද යන්න විමර්ශනය සහ ඒ සම්බන්ධයෙන් වාර්තා සකස් කිරීමය.
පසුගිය 2020 දී, කොරෝනා වයිරස වසංගතය ලොවට බලපෑම් කළ ආකාරයත්, ආර්ථිකමය වශයෙන් සහ සමාජයීය වශයෙන් එයින් සිදුවුණු බලපෑමත් සම්බන්ධයෙන්, මෙම ස්වාධීන මණ්ඩලය ඉතා පුළුල් අපක්ෂපාතී විමර්ශනයක් පවත්වා තිබේ.
ඒ, 2020 සැප්තැම්බරයේ සිට මෙම 2021 මැයි මාසය තෙක් කාල සීමාව තුළදීය.
'වසංගතවලට මුහුණ දීම සහ ප්‍රතිචාර දැක්වීම' පිළිබඳ සොයා බැලීම් සිදු කරන්නේ ද මෙම ස්වාධීන මණ්ඩලයයි.
2019 දෙසැම්බරයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවර කේන්ද්‍ර කොට ගනිමින් 'කොවිඩ් 19' වයිරසය ආරම්භ වී, එය ගෝලීය ව්‍යසනයක් තෙක් දුරදිග ගියේ, ලෝක සෞඛ්‍ය සංවිධානය නිවැරදි වේලාවේ නිවැරදි තීන්දු තීරණ නොගැනීම නිසා බව ස්වාධීන මණ්ඩලය නිකුත් කළ වාර්තාවේ සඳහන් වෙයි.
මෙම මණ්ඩලයේ සම සභාපතිවරුන් ලෙස කටයුතු කරන්නේ නවසීලන්තයේ හිටපු අග්‍රාමාත්‍යවරියක වන හෙලන් ක්ලාක් සහ ලයිබීරියාවේ හිටපු ජනාධිපතිවරයකු වන එලන් ජොන්සන් සර්ලීෆ්ය.
'ලෝක සෞඛ්‍ය සංවිධානය හරි වෙලාවේ හරි තීරණ ගත්තා නම්, අප අද ගෝලීය වශයෙන් මුහුණ දෙන මේ ව්‍යසනය වළක්වා ගන්න තිබුණා. කොරෝනා වසංගතය ගෝලීය ව්‍යසනයක් වීමේ වරද ලෝක සෞඛ්‍ය සංවිධානය බාර ගන්න ඕනෑ' සම සභාපතිනිය එලන් ජොන්සන් සර්ලීෆ් පවසන්නීය.
'වසංගතවලට මුහුණ දීම සහ ප්‍රතිචාර දැක්වීම' පිළිබඳ මෙම ස්වාධීන මණ්ඩලයට විවිධ රටවල සෞඛ්‍ය, දේශපාලන සහ ආර්ථික ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක විද්වතුන් ඇතුළත් වෙයි.
අද වනවිට ගෝලීය වශයෙන් මිලියන 159 කට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති අතර මිලියන 3.3 කට මරු කැඳවා ඇත.
ඇමෙරිකාව ඇතුළු යුරෝපා රටවල් එන්නත්කරණය මගින් වයිරස ව්‍යාප්තිය පාලනය කර ගැනීමට උත්සාහ ගනිද්දී, ඉන්දියාව නේපාලය වැනි ආසියානු රටවල් වයිරස ව්‍යාප්තිය හේතුවෙන් දරුණු ලෙස බැටකන බව මාධ්‍ය වාර්තා දිගින් දිගටම පෙන්වා දෙයි.
චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරින් පළමු ආසාදිතයන් හමුවෙද්දී සහ 2020 ජනවාරි මාසය වනවිට චීනයේ හුබෙයි පළාතෙන් හෝ එරට සෙසු පළාත්වලින් ආසාදිතයන් වාර්තා වෙද්දී, ලෝක සෞඛ්‍ය සංවිධානය ඒ ගැන වැඩි අවදානයක් යොමු කළේ නැත.
ලෝක සෞඛ්‍ය සංවිධානය එසේ කළේ චීනයට හිතවත්කමක් පෙන්වමින් යැයි ඒ වනවිට ඇමෙරිකාවේ ජනපති ධුරය හෙබවූ ඩොනල්ඩ් ට්‍රම්ප් පවා දෝෂාරෝපණය කර තිබුණි.
ලෝක සෞඛ්‍ය සංවිධානය 'කොවිඩ් 19' ලෙස වයිරසය නම් කළේ 2020 ජනවාරියේය.
චීනයෙන් පිට පළමු 'කොවිඩ් 19' රෝගියා හමුවුයේ තායිලන්තයෙනි. ලෝක සෞඛය සංවිධානය එම අවස්ථාවේදී හෝ රටරටවල රාජ්‍ය නායකයන් සමඟ එක් වී, එකඟතාවක් ඇති කර ගනිමින් සංචරණ සීමා පනවමින් ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කළා නම්, වයිරස ව්‍යාප්තිය පාලනය කර ගැනීමට ඉඩ තිබුණු බව ස්වාධීන මණ්ඩල පැහැදිලි කර තිබේ.
රොයිටර්