ඉන්දීය විකෘතිය ගැන බය වෙන්න ඕනෑ - WHO - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

May 11, 2021

ඉන්දීය විකෘතිය ගැන බය වෙන්න ඕනෑ - WHO

ඉන්දියාවේ කොරෝනා ව්‍යාප්තිය උත්සන්න කිරීමට හේතුවක් වූ බී.1.617 නමැති දෙමුහුන් විකෘති ප්‍රභේදය එසේ මෙසේ වයිරස ප්‍රභේදයක් නොවන බවත්, එය ලොවට තර්ජනයක් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි. 

ඉන්දියාවෙන් සොයාගත් බී.1.617 විකෘති වයිරස ප්‍රභේදය ඉතාමත් බිහිසුණු වයිරස ප්‍රභේදයක් යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇඟවූ පළමු අවස්ථාව මෙයයි. ලෝක සෞඛ්‍ය සංවිධානය ඉන්දීය විකෘතිය සම්බන්ධයෙන් මෙසේ කනස්සල්ල පළ කළේ ඉන්දියාවේ දෛනික ආසාදිතයන් සහ මරණ දිනෙන් දින ඉහළ යද්දීය. 

ඉන්දියාවේ රෝහල් සියල්ල පාහේ මේ වනවිට පිරී අවසන් අතර, ඉන්දීය සෞඛ්‍ය ක්ෂේත්‍රය කඩා වැටීමකට ලක් වී ඇත. කොරෝනා වයිරසයට බිලිවුණු ඉන්දීය වෛද්‍යවරුන් ඇතුළු හෙද හෙදියන් ගණණ 800 කට වඩා වැඩිය. 

මේ වනවිට ඉන්දියාවේ ගංගා නදියේ පවා කොරෝනා ආසාදනය වී මියගිය පුද්ගලයන්ගේ මළසිරුරු පාවීමට පටන්ගෙන ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. රෝහල්ගත කළ ආසාදිතයන් දිනපතා මියයන්නේ ඔක්සිජන් නොමැතිකම නිසාය. 

බී.1.617 ඉන්දීය විකෘතිය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයන් ලොවට අනතුරු ඇඟවීම් කළේ ජිනීවා නුවර පැවැති දෛනික මාධ්‍ය හමුවේදීය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලස්ථානය පිහිටා ඇත්තේ ජිනීවා නුවරය. 

පසුගිය ඔක්තෝබරයේ පළමුවරට ඉන්දීය වෛද්‍ය පර්යේෂකයන් විසින් හඳුනාගනු ලැබූ බී.1.617 විකෘතිය, ඉන්දියාව තුළින්ම සොයා ගත් තවත් විකෘති වයිරස ප්‍රභේද දෙකක මිශ්‍රණයකි. බී.1.617 දෙමුහුන් විකෘතියක් යැයි පැවැසෙන්නේ ඒ නිසාය. 

“ඉන්දියාවේ කොරෝනා වසංගත තත්ත්වය උත්සන්න කළ බී.1.617 විකෘතිය ගැන අපට දත්ත ලැබී තිබෙනවා. ඒ වගේමයි අපගේ විද්‍යාඥයන් පවා එම විකෘති ප්‍රභේදයේ සාම්පල අධ්‍යයනය කළා. එකක් පැහැදිලියි; මෙතරම් බිහිසුණු කොරෝනා විකෘතියක් මෙතෙක් අපට දකින්න ලැබිලා නැහැ. මේ ප්‍රභේදය 'කොවිඩ් 19' වයිරසයට නව අර්ථකතනයක්. මේක පැතිරෙන්නේ සුපිරි වේගයකින්. සාමාන්‍ය කොරෝනා වයිරසය සම්ප්‍රේෂණයට අදාලව නිකුත් කළ සෞඛ්‍ය උපදෙස් පවා මේ නව ප්‍රභේදය හමුවේ වෙනස් වෙනවා. ලොව සෑම කෙනකුම මෙම විකෘතිය ගැන කල්පනාකාරී වෙන්න ඕනෑ. මේක ඉතාමත් අවදානම් තත්ත්වයක්” යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොරෝනා වසංගතය සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවන විශේෂඥ වෛද්‍ය මරීයා වැන් කෙර්කෝව් මාධ්‍ය හමුවේ දී පෙන්වා දුන්නාය. 

මේ වනවිට ඉන්දියාවේ සෑම ප්‍රාන්තයකින්ම පාහේ බී.1.617 විකෘති ප්‍රභේදය හමුවී ඇතැයි ඉන්දීය සෞඛ්‍ය අංශ පවසයි. ඉන්දීය සෞඛ්‍ය අංශ මෙම විකෘති ප්‍රභේදය සම්බන්ධයෙන් ඉන්දීය මධ්‍යම රජයට අනතුරු ඇඟවීම් කළේ පසුගිය මාර්තු මස මුලදීය. 

කෙසේ නමුත් ඒ වනවිට ඉන්දියාව තුළ ආසාදිතයන් විශාල වශයෙන් අඩුවීමක් පෙන්නුම් කළ බැවින්, නරේන්ද්‍ර මෝදි රජය එම නව විකෘති වයිරසය ගැන කිසිදු තැනීමක් නොකර, ජනතාව ඒකරාශීකරමින්, දැවැන්ත මැතිවරණ රැලි සංවිධානය කළ අතර, ලක්ෂ ගණනින් සහභාගී වූ කුම්බමේලා වැනි හින්දු ආගමික උත්සව ද පැවැත්වීමට අනුග්‍රහය දුන්නේය. 

ඉන්දියාවේ හිටිහැටියේ කොරෝනා වසංගත තත්ත්වයක් නිර්මාණය වූයේ ඒ අනුවය. මේ හේතුව නිසා ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි ප්‍රමුඛ රජය දැඩි ලෙස ජනතා අප්‍රසාදයට පත් වී සිටී.

BBC

Classified_Ad

Classified_Ad_News_Bottom