ශ්‍රී ලංකාව කෙරෙහි ඕස්ට්‍රේලියාවේ අවධානය - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jun 1, 2021

ශ්‍රී ලංකාව කෙරෙහි ඕස්ට්‍රේලියාවේ අවධානය

ශ්‍රී ලංකාවේ ආයෝජන හා අධ්‍යාපන ක්ෂේත්‍රවල ප්‍රවර්ධනයට මෙන්ම, ශ්‍රී ලංකාව දකුණු ආසියානු කලාපයේ උසස් අධ්‍යාපන කේන්ද්‍රයක් ලෙස නඟාසිටුවීමට ඇති හැකියාව කෙරෙහි ද ඕස්ට්‍රේලියාවේ අවධානය යොමු වී ඇත. 

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හෝලි මහතා ඊයේ (31) සවස ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු වු අවස්ථාවේ මේ බව සඳහන් කළේය. 

කෙටි කාලසීමාවක් තුළ මෙරට මුහුදු සීමාවේදී නෞකා අනතුරු දෙකක් සිදුවුණු අතර, එමගින් සිදුවන පරිසර හානිය තක්සේරු කිරීමට සහ කාබනික පොහොර මත පදනම් වු කෘෂිකර්මාන්තයක් වෙනුවෙන් රජය දියත් කර ඇති වැඩපිළිවෙළට ඕස්ට්‍රේලියානු රජයේ තාක්ෂණික සහාය අපේක්ෂා කරන බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

අගය එකතු කිරීමේ නිෂ්පාදන සඳහා වැඩි ආයෝජන අවස්ථා උදාකර ගැනීමෙන් ඉන්දියාව, මැදපෙරදිග ඇතුළු රටවල් රැසක් ඉලක්ක කරගත් අපනයන වෙළෙඳපොළක් මෙරට ස්ථාපිත කිරීමේ හැකියාව පිළිබඳව ද මහ කොමසාරිස්වරයා මෙහිදී ජනාධිපතිතුමාගේ අවධානය යොමු කළේය. 

ඕස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතර 75 වසරක මිත්‍රශීලී සබඳතාව සිහිපත් කළ ඩේවිඩ් හෝලි මහතා, කොවිඩ් ප්‍රතිකාර කටයුතු සඳහා ඕස්ට්‍රේලියානු රජයෙන් පරිත්‍යාග කළ වෛද්‍ය උපකරණ තොගයක් රැගත් ගුවන් යානයක් ලබන 3 වන දා මෙරටට ළගා වීමට නියමිත බව පැවැසුවේය.

ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ පළමු ලේකම් ආමෙයිටි බ්‍රැඩ්ලි මෙනවිය, ආරක්ෂක උපදේශක නාවුක කපිතාන් ඉයන් කෙයින්, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, විදේශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ යන මහත්වරු මේ අවස්ථාවට එක්ව සිටියහ.

Classified_Ad

Classified_Ad_News_Bottom