ජීවත් වෙන්න හොඳම නගරය ඕක්ලන්ඩ් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jun 9, 2021

ජීවත් වෙන්න හොඳම නගරය ඕක්ලන්ඩ්

'කොවිඩ් 19' වයිරස වසංගතයෙන්, ලෝකයට එල්ල වන බලපෑම සුළුපටු නොවෙයි. ලෝකයේ සෑම අස්සක් මුල්ලක් පාසාම 'කොවිඩ් 19' වයිරසය ව්‍යාප්ත වූයේ අප කාගේ කාගේත් ජීවිත උඩු යටිකුරු කරමිනි. 

කෙසේ නමුත් 'කොවිඩ් 19' වසංගතය මැද ලෝකයේ ජීවත් වීමට සුදුසු නගර ලැයිස්තුව මේ වනවිට ප්‍රසිද්ධියට පත් කර තිබේ. 

2021 වසරේ ජීවත් වීමට හොඳම නගර ලැයිස්තුගත කර ඇත්තේ ලෝ සුපතල 'ද ඉකොනොමිස්ට්' The Economist ආර්ථික සඟරාවේ The Economist Intelligence Unit කළ සමීක්ෂණ දත්ත වාර්තා පාදක කර ගනිමින් ලකුණු ලබා දීමේ ක්‍රමවේදයකට අනුවය.

'කොවිඩ් 19' වයිරසය ආරම්භ වූයේ 2019 වසරේ චීනයේ වූහාන් නුවරිනි. 2020 වසරේ අප්‍රේල් මාසය වෙද්දී, වයිරසය ලොව පුරා ඉතා වේගයෙන් පැතිර යන්න වූ අතර, රටවල් බොහොමයක් පළමු වරට ලොක්ඩවුන් කෙරුණි. 

අද වනවිට ආසාදිතයන් හමුවීමේ ප්‍රතිශතය සැලකිල්ලට ගනිමින්, රටවල්, පළාත් සහ නගර ලොක්ඩුවන් කිරීම් සහ සංචරණ සීමා පැනැවීම් සිදුවෙයි. 

'කොවිඩ් 19' වයිරසය ව්‍යාප්තවීම ආරම්භ වූ දිනයේ පටන්, ඉතාමත් සාර්ථකව වයිරස ව්‍යාප්තිය පාලනය කරගත් රටක් වන්නේ නවසීලන්තයයි. ඊට හේතුව නවසීලන්ත අග්‍රාමාත්‍ය ජැසෙන්ඩා එර්ඩර්න්, සෞඛ්‍ය අංශවලින් උපදෙස් ලබා ගනිමින්, නිවැරදි වේලාවේ නිවැරදි තීන්දු තීරණය ගැනීමය.

ලොක්ඩවුන් කිරීම් හරහා රටේ ආර්ථිකයට බලපෑමක් එල්ල වුණත් ආසාදිතයන් සහ මරණ අවම කර ගැනීමට ජැසෙන්ඩාගේ රජය සමත් විය. කොරෝනා වයිරසය සාර්ථකව පාලනය කරගත් රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ ද පැසැසුම් නවසීලන්තයට ලැබී තිබේ.

'ඉකොනොමිස්ට්' The Economist ආර්ථික සඟරාවේ The Economist Intelligence Unit කළ සමීක්ෂණයට අනුව, 2021 වසරේ ලොව ජීවත්වීමට සුදුසුම නගරය එසේත් නැතිනම් හොඳම නගරය ලෙස අංක 1 ස්ථානයේ ඇත්තේ නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරයයි. 

2 වැනි ස්ථානය ජපානයේ ඔසාකා නගරයයි. 3 වැනි ස්ථානයේ ඇත්තේ ඕස්ට්‍රේලියාවේ ඇඩෙලේඩ් ය. නවසීලන්තයේ අගනුවර වන වෙලිංටන් 4 වැනි ස්ථානයට පත් වී තිබේ. ජපානයේ ටෝකියෝ අගනුවර ඇත්තේ ද 4 වැනි ස්ථානයේය. හොඳම නගරය තේරීම ලකුණු ලබා දීමක් මගින් සිදුවෙයි. ඒ අනුව, සම ලකුණු ලැබීම හේතුවෙන් 4 වැනි ස්ථානයට වෙලිංටන් සහ ටෝකියේ පත් වී ඇත. 

6 වැනි ස්ථානය ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරටත්, 7 වැනි ස්ථානය ස්විට්සර්ලන්තයේ සූරිච් නගරයටත්, 8 වැනි ස්ථානය ස්විට්සර්ලන්තයේ ජිනීවා නගරයටත් හිමිවී තිබේ. 9 වැනි ස්ථානයක් නැති නමුත් සූරිච් නගරයට අමතරව, 8 වැනි ස්ථානයට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ද අයත් වෙයි. 10 වැනි ස්ථානයේ ඇත්තේ ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන්ය. 

ජීවත් වීමට හොඳම නගර 10 මෙසේ හඳුන්වා දෙද්දී, ජීවත් වීමට කිසිසේත්ම සුදුසු නොවන නගර 10 ද 'ඉකොනොමිස්ට්' The Economist ආර්ථික සඟරාවේ The Economist Intelligence Unit විසින් නම් කරනු ලැබ ඇත. 

අංක 1 ස්ථානයේ සිට පිළිවෙළින් එම ලැයිස්තුවට ඇතුළත් වන්නේ සිරියාවේ ඩමැස්කස්, නයිජීරියාවේ ලාගෝස්, පැපුවා නිව්ගිනියාවේ පෝට් මෝස්බී, බංග්ලාදේශයේ ඩකා, ඇල්ජීරියාවේ ඇල්ජියර්ස්, ලිබියාවේ ට්‍රිපොලි, පාකිස්තානයේ කරච්චි, සිම්බාබ්වේ රාජ්‍යයේ හරාරේ, කැමරූන් රාජ්‍යයේ ඩවුලා සහ 10 වැනි ස්ථානයේ ඇත්තේ වෙනිසියුලා රාජ්‍යයේ කැරකැස් අගනුවරය. 

CNN

Classified_Ad

Classified_Ad_News_Bottom