
ප්‍රංශයේ දෝර්ම් පළාතේ 'තායින් ලාහර්මිතේජ්' ගම්මානයේ සංචාරය කරමින්, ජනතාව අතරට ගොස් ඔවුන්ගේ සුවදුක් විමසමින් සිටිද්දී, ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්ට අතුල් පහරක් එල්ල විය.
අතුල් පහර එල්ල කළ තැනැත්තා එසේ කළේ මැක්රොන් ඔහුට අතට අත දීමට ළං වුණු අවස්ථාවේදීය.
එම තැනැත්තා එසේ කළේ තමන් 'මැක්රොන් විරෝධියකු' යැයි කෑ ගසමිනි.
ජනපති ආරක්ෂක අංශ නිලධාරීන් වහා එම තැනැත්තාගේ ඇඟට කඩා පැන ඔහුත්, ඔහු සමඟ සිටි තවත් තැනැත්තකුත් අත්අඩංගුවට ගත් බව පසුව වාර්තා විය. අතුල් පහර එල්ල වීමෙන් පසුවත්, මැක්රොන් රැස්ව සිටි පිරිසට අතට අත දෙමින්, ඔවුන්ගෙන් සුව දුක්ව විමසීම දිගටම සිදු කළ බව රොයිටර් පුවත් සේවය වාර්තා තර තිබේ.
'මට අනතුරක් නෑ. ඒක හුදෙකලා සිදුවීමක් ලෙස මා සලකනවා' යැයි සිද්ධියෙන් පසු 'දුපීන් ලිබ්රේ' පුවත්පත සමඟ අදහස් දක්වමින් මැක්රොන් පැහැදිලි කළේය.
'කොවිඩ් 19' වසංගතය හමුවේ පැනැවූ ප්‍රංශයට පනවා තිබුණු ලොක්ඩවුන් තහංචි, මේ වනවිට කෙමෙන් ලිහිල් වී ඇත.
මැක්රොන් දෝර්ම් පළාතේ 'තායින් ලාහර්මිතේජ්' ගම්මානයට ගියේ එම ගම්මානයේ අවන්හල් හිමිකරුවන් සහ වෙෙළඳසැල් හිමිකරුවන් හමුවෙමින් ඔවුන්ගේ ගැටලු විමසා ඒවාට විසඳුම් ලබා දීමටය. හෝටල් පාසල් කීපයක් ද ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක් විය.
ජනපතිවරයාට එල්ල වුණු ප්‍රහාරය ප්‍රංශයේ ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වුණු අතුල් පහරක් යැයි ප්‍රංශ අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තු සභාවේ දී පැවැසුවේය. පක්ෂ විපක්ෂ දේශපාලනඥයන් බොහෝ දෙනා මැක්රොන්ට එල්ල වුණු අතුල් පහර සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කර තිබේ.
ප්‍රංශ ජනාධිපතිවරණය ලබන 2022 වසරේ පැවැත්වෙන අතර, 43 හැවිරිදි මැක්රොන් ඊට යළි ඉදිරිපත් වීමට නියමිතය. කෙසේ නමුත් 'කොවිඩ් 19' වසංගතය හමුවේ ප්‍රංශයේ ආර්ථිකය ද කඩා වැටීමකට ලක්වීමත්, ජනතාව පීඩාවට පත්වීමත් හේතුවෙන් මැක්රොන් සහ ඔහුගේ රජයට එරෙහි කණ්ඩායම් වැඩි වන බවක් දකින්න ලැබේ.
වයිරස වසංගතයට එරෙහිව එන්නත්කරණ කටයුතු සිදුවුවත් එය අපේක්ෂා කළ මට්ටමට සාර්ථකත්වයක් පෙන්නුම් කර නොමැති අතර, පළාත් මට්ටමින් ලොක්ඩවුන් තහංචි පැනවීම සහ සංචරණ සීමා පැනවීම දිගින් දිගටම සිදුවෙයි. ජනපති මැක්රොන්ට ද 'කොවිඩ් 19' වයිරසය ආසාදනය වී සුවය ලැබූවෙකි.
2022 වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණය නිමිත්තෙන් ප්‍රංශය පුරා සංචාරය කරමින් ජනතා ගැටලු සොයා බැලීම, මැක්රොන්ගේ අදහස වී තිබේ.
ඔහු නිරිතදිග දෝර්ම් පළාතේ 'තායින් ලාහර්මිතේජ්' ගම්මානයට පැමිණියේ ද ඒ අනුවය.
මැක්රොන්ට එල්ල වුණු අතුල් ප්‍රහාරය සම්බන්ධයෙන් මැක්රෝන්ගේ ප්‍රධාන ප්‍රතිවාදී දේශපාලනඥයන් පිළිකුල පළ කර ඇති අතර, ඔවුන් සියලු දෙනා මැක්රොන්ට සහාය දක්වමින් අදහස් දැක්වීමට කටයුතු කර ඇත. එලැඹෙන ජනාධිපතිවරණයේ දී මැක්රොන් පරාජය කිරීමට සූදානමින් සිටින්නේ මරීන් ලා පෙන් ය.
'ජනපති මැක්රොන්ට පහරදීම මා තරයේ හෙලා දකිනවා. මැක්රොන් සහ මා අතරේ දේශපාලනික මත ගැටුම් තිබෙනවා. ඒත් මේ වෙලාවේ ජනාධිපති ඔහුයි. ඒ නිසා ඔහුට ගරු කළ යුතුයි. මැක්රොන්ට එරෙහිව සටන් කිරීම කළ යුත්තේ දේශපාලනික වශයෙන්. ජනාධිපතිවරණය තමයි ඒකට තිබෙන වේදිකාව. මැක්රොන්ට එරෙහිව අංශු මාත්‍රයකින්වත් ප්‍රචණ්ඩ ක්‍රියාවක් සිදුවෙන්න දෙන්න බැහැ. මගේ අදහස එයයි' යැයි මැක්රොන්ගේ ප්‍රධාන ප්‍රතිවාදීයා වන ලා පෙන්, ඇගේ ට්විටර් පණිවුඩයකින් පවසා ඇත.
ජනපති මැක්රොන් පසුගිය කාලය පුරාවට අවස්ථා ගණනාවකදී ජනතා අප්‍රසාදයට ලක් වූ අයෙකි. ජනාධිපති මැක්රොන් හඳුන්වා දී ඇති ප්‍රතිසංස්කරණ බොහොමයක් ප්‍රංශ වැසියන්ගේ විරෝධයට හේතුවක් වී ඇත. ප්‍රංශයේ මුස්ලිම් වැසියන් සම්බන්ධයෙන් ජනපති මැක්රොන් දැඩි නීතිරීති ක්‍රියාත්මක කළේය. ඒ, අන්තවාදීන්ගෙන් ප්‍රංශයේ ජාතික ආරක්ෂාවටත්, ප්‍රංශ වැසියන්ටත් එල්ල වන තර්ජන හේතුවෙනි.
මැක්රොන් වැඩියෙන් අප්‍රසාදයට පත් වී සිටින්නේ ප්‍රංශයේ තරුණ ප්‍රජාව අතරේය. ප්‍රංශ දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ, ලබන 2022 වසරේ ජනාධිපතිවරණය මැක්රොන්ට අවාසි වනු ඇති බවය.
Reuters/DailyMail