කොරෝනා ගැන සුළුවෙන් හිතන්න එපා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jun 5, 2021

කොරෝනා ගැන සුළුවෙන් හිතන්න එපා

‘කොවිඩ් 19’ යනු සුලමුල පවා හරිහැටි නොදන්නා, නිසි ප්‍රතිකර්මයක් හෝ රෝගයකි. බිහිසුණු වයිරසයකි. ‘කොවිඩ් 19’ ආසාදනය වැළැක්වීමට එන්නත් නිපදවා ඇති අතර, වයිරසයට එරෙහිව දැනට ඇති එකම පිළියම එන්නතය. ‘එන්නත් ලබා ගත්තත් කොරෝන හැදෙනවා’ යනු ඇතැමුන්ගේ අදහසය. 

එය නිවැරදිය. නියමිත එන්නත් මාත්‍රා දෙකම ලබා ගෙන තිබියදී ආසාදිතයන් හමුවුණු අවස්ථා ද අසන්න ලැබේ. එසේ වුවත්, එන්නත් ගැන විශ්වාසය තැබිය යුතුමය. මේ බිහිසුණු වයිරසයට එරෙහිව නිපදවා ඇති එන්නත් ලබා ගැනීම කළ යුතුමය. නියමිත එන්නත් මාත්‍රා හෝ එක් එන්නත් මාත්‍රාවක් පමණක් හෝ ලබාගෙන ඔබට වයිරසය ආසාදනය වුවත්, සංකූලතා ඇතිවීම අවම වෙයි. 

‘කොවිඩ් නියුමෝනියා’ ඇතුළු සංකූලතා රැසකින් ඔබ ආරක්ෂා කිරීමට එන්නත් සමත් වේවි. කොරෝනා වසංගතය හමුවේ අප හැමෝම කළ යුතු වන්නේ ආසාදිතයකු නොවී සිටීමය. 

මුහුණු ආවරණ පැලඳීම, සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම, අත් පිරිසුදුව තබා ගැනීම කොරෝනා පැරදීමට හැකි හොඳම ක්‍රමයයි. එන්නත් ලබා ගත්ත ද මෙම සෞඛ්‍ය පුරුදු පිළිපැදිය යුතුමය. 

කොරෝනා ආසාදියකු බව තහවුරු වන්නේ පී.සී.ආර්. හෝ රැපිඩ් ඇන්ටජන් පරීක්ෂණයකින් 'පොසිටිව්' වීමෙනි. පී.සී.ආර්. පරීක්ෂණවලට 'පොසිටිව්' නොවන කොරෝනා ප්‍රභේද හමුවී ඇති බව ද මෙහිදී මතක තබා ගත යුතුය.  කිසිදු රෝග ලක්ෂණයක් නොමැති ඔබ, ඔබට නොදැනුවත්වම කොරෝනා ආසාදිතයකු විය හැකිය. 

මහා බ්‍රිතාන්‍යයේත්, ඇමෙරිකාවේත් වෛද්‍යවරුන්ට අනුව, කොරෝනා සුවවීම යනු පී.සී.ආර්. පරීක්ෂණය 'නෙගටිව්' වීම නම් නොවෙයි. කොරෝනා ආසාදිතයන් වී, පී.සී.ආර්. පරීක්ෂණය 'නෙගටිව්' වූ පුද්ගලයන් මාස ගණනකට පසු නොයෙක් නොයෙක් රෝගාබාධවලට ලක් වී ඇතැයි ඇමෙරිකාවෙන් සහ මහා බ්‍රිතාන්‍යයෙන් නිරන්තරයෙන් වාර්තා වෙයි. 

‘කොරෝනා ආසාදනය වී සුවය ලබනවාට වඩා මැරෙනවා සැපයි’ යන්න බ්‍රිතාන්‍ය වැසියන් බොහෝ දෙනාගේ අදහසය. කොරෝනා රෝගයේ බිහිසුණු බව කොතරම් ද යන්න අපට අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වෙයි. 

ඒ, කොරෝනා සුවය ලැබූවන් ‘කළු දිලීරය’ නමින් හැඳින්වෙන දිලීර ආසාදනයට ලක් වීමත් සමඟය. ‘කළු දිලීරය’ හිටිහැටියේ පහළ වූ නව රෝගයක් නොවෙයි. මෙම දිලීරය (පුස්) අප අවට පරිසරයේ ඇත. කොරෝනා වසංගතයට පෙර සිට ‘කළු දිලීරය’ ආසාදනය වූ ආසාදිතයන් හමුවී තිබේ. 

කෙසේ නමුත් ඉන්දියාවේ, කොරෝනා ආසාදනය වී සුවය ලැබූවන් අතරේ ‘කළු දිලීරය’ ආසාදන බහුලව දකින්න ලැබේ. එය වසංගතයක් තෙක් දුරදිග ගොසිනි. කොරෝනා වයිරසය නිසා සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට එල්ල වන හානිය නිසා ‘කළු දිලීරය’ ආසාදනය වීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කර ඇත. 

ඉන්දියාවෙන් ‘කළු දිලීර’ වසංගතයක් අසන්න ලැබෙද්දී, ඇමෙරිකාවේ කොරෝනා සුවවූවන් අතරේ 'කොවිඩ් දිව' යනුවෙන් නම් කළ රෝගී තත්ත්වයක් ගැන අසන්න ලැබේ. මෙය ඉතාමත් බිහිසුණු තත්ත්වයකි. 
අපට මෙම රෝගී තත්ත්වය ගැන හිටිහැටියේ අසන්න ලැබුණත්, 'කොවිඩ් දිව' ගැන ඇමෙරිකන් වෛද්‍යවරුන්ට පළමුවෙන් අසන්නත් දකින්නත් ලැබුණේ පසුගිය වසරේ නොවැම්බරයේය. ඒ, දිව ඉදිමී විශාල වුණු රෝගීන් දෙදෙනකු හූස්ටන් නුවර යූ.ටී.හෙල්ත් රෝහලට ඇතුළත් කිරීමත් සමඟය. 

ඉන්පසු පසුගිය ජනවාරිය වෙද්දී, මෙවැනි දිව ඉදිමී විශාල වුණු තවත් රෝගීන් 11 දෙනකු වාර්තා විය. මේ සියලු දෙනා කොරෝනා ආසාදනය වී සුවය ලැබූවන්ය. එම 11 දෙනාගෙන් දෙදෙනකු රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිද්දී හෘදයාබාධවලට ලක් වුණු බව පැවැසෙයි. රෝගීන් 11 දෙනා අතරින් 10 දෙනකු කළු ජාතිකයන් වීම ද විශේෂත්වයකි.

'කොවිඩ් දිව' රෝගී තත්ත්වයට මුහුණ දුන් බොහෝ දෙනකුට දිව ඉදිමීම නිසා කතා කිරීමට හෝ ආහාර පාන ගැනීමට හෝ නොහැකි වුණු අතර, බටයක ආධාරයෙන් දියර ආහාර ලබා දීම සිදුවිය. කිහිප දෙනකුට සැත්කම් කිරීමට පවා වෛද්‍යවරුන්ට සිදුවිය. 

‘දිව ඉදිමී විශාල වීම ඉතා දුර්ලභ රෝගී තත්ත්වයක්. සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට එල්ල වන බලපෑම් නිසා එහෙම වෙනවා. ඒත් කොරෝනා වසංගතය හමුවේ, කොරෝනා ආසාදනය වී සුවය ලැබූවන් අතරේ මෙම තත්ත්වය බහුලව දකින්න ලැබෙනවා. ඒක ගැටලුවක්. කොරෝනා වයිරසයෙන් එක් එක් තැනැත්තාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට මොන ආකාරයකට බලපෑම් එල්ල වෙනවා ද හරියටම කියන්න බැහැ. ඒකයි කොරෝනා වයිරසය ගැන ඔබ බිය වෙන්න ඕනෑ’ යැයි 'කොවිඩ් දිව' රෝගීන්ට ප්‍රතිකාර ලබා දෙන හූස්ටන් යූ.ටී.හෙල්ත් රෝහලේ වෛද්‍ය ජේම්ස් මෙල්විල් පැහැදිලි කරයි.

Washington Post

Classified_Ad

Classified_Ad_News_Bottom