ඊශ්‍රායල නව රජයත් ගාසා තීරයට පහර දෙයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jun 16, 2021

ඊශ්‍රායල නව රජයත් ගාසා තීරයට පහර දෙයි

ඊශ්‍රායල ගුවන් හමුදාව ඊයේ (15) ගාසා තීරයේ හමාස් ත්‍රස්තවාදීන් ඉලක්ක කර ගනිමින් ගුවන් ප්‍රහාරයක් එල්ල කළේය. ඊයේ (15) ගසා තීරයේ සිට ඊශ්‍රායලය දෙසට, දල්වන ලද බැලූන් එවීමට පලස්තීන හමාස් සාමාජිකයන් කටයුතු කළ බව පැවැසෙයි. 

එය ඊශ්‍රායලයේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වූ බැවින්, වහා ඊට ප්‍රතිචාර දක්වා හමාස් ත්‍රස්තවාදීන්ට අයත් ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින් ගුවන් ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායල ගුවන් හමුදාව කියයි.

ඊශ්‍රායල විපක්ෂ දේශපාලන පක්ෂ සන්ධානගත වී, වසර 12 ක බෙන්ජමින් නෙදන්යාහු පාලනය අවසන් කිරීම සඳහා රජයක් පිහිටුවා ගැනීමෙන් පසු ගාසා තීරයට එල්ල වුණු පළමු ප්‍රහාරය මෙයයි. 

පසුගිය මැයි 21 වැනිදා ඊශ්‍රායලයත් පලස්තීනයත් අතර සටන් විරාමයක් ආරම්භ විය. ඒ, දින 11 ක් තිස්සේ පැවැති ගැටුම් අවසන් වීමෙන් පසුවය. ඊයේ (15) ගුවන් ප්‍රහාරයත් සමඟ එම සටන් විරාමය අවසන් විය. පසුගිය මැයි 21 දක්වා දින 11 ක්ති තිස්සේ ගාසා තීරයට ඊශ්‍රායලයෙන් එල්ල වූ ප්‍රහාර හේතුවෙන්, පලස්තීනුවන් 256 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. ඒ අතර කුඩා දරුවෝ 66 ක් වෙති. 

බෙන්ජමින් නෙදන්යාහුගේ පාලනය අවසන් කරමින් බලයට පත් වූයේ දක්ෂිණාංශික, වාමාංශික, මධ්‍යස්ථ සහ අරාබි දේශපාලන පක්ෂ එක් වී සන්ධානගත වෙමිනි. මෙම සන්ධාන රජයට ඊශ්‍රායල පාර්ලිමේන්තුවේ (නෙසට් සභාව) අනුමැතිය හිමිවූයේ එක් වැඩි ඡන්දයකින් වීම විශේෂත්වයකි. 

නව සන්ධාන රජයේ නව අග්‍රාමාත්‍යවරයා වන්නේ අන්ත දක්ෂිණාංශික දේශපාලනඥයකු වන නෆ්තාලි බෙනට් ය. පෙරේදා 14 අන්ත දක්ෂිණාංශික ජාතිකවාදී ඊශ්‍රායල සහ දේශපාලන කණ්ඩායම් එක් වී, පලස්තීනුවන්ට විරෝධය දක්වමින් පෙළපාළියක් පැවැත්විය. බෙනට්ගේ නව රජයේ අනුමැතිය පවා ඊට හිමිවිය. ඊට ප්‍රතිචාර දක්වමින්, ගාසා තීරයේ පලස්තීනුවෝ දහස් ගණනින් විරෝධතා පෙළපාළි පවත්වන්න වූහ. දල්වන ලද බැලූන ගාසා තීරයේ සිට ඊශ්‍රායලය දෙසට එවීම සිදුවූයේ ඉන්පසුවය. 

මේ අතර, ඊශ්‍රායලයේ නව ඇමෙරිකන් තානාපති ලෙස, වෝල් ස්ට්‍රීට් බැංකුකරුවකු මෙන්ම ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මූල්‍ය කටයුතු ප්‍රධානියා ලෙස ද කටයුතු කළ තෝමස් ආර්. නයිඩ්ස් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පියවර ගෙන තිබේ. තෝමස් ආර්. නයිඩ්ස් ට තානාපති ධුරය හිමිවීමට නම් ඒ සඳහා ඔහුට ඇමෙරිකන් කොංග්‍රසයේ (පාර්ලිමේන්තුවේ) අනුමැතිය හිමිවිය යුතුය. 
තෝමස් ආර්. නයිඩ්ස් ඇමෙරිකාවේ සිවුවැනි විශාලතම ආයෝජන බැංකුව ලෙස සැලකෙන, 'මෝගන් ස්ටැන්ලි' බැංකුවේ උප සභාපතිවරයා ද වෙයි. නයිඩ්ස්, ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මූල්‍ය කටයුතු ප්‍රධානියා ලෙස කටයුතු කළේ බැරැක් ඔබාමා පාලන සමයේය. 

ඔබාමා පාලන සමයේ ඇමෙරිකා උප ජනාධිපති ලෙස කටයුතු කළේ බයිඩන්ය. නෙදන්යාහු පාලනය අවසන් වීමෙන් පසු, බයිඩන් පරිපාලනය, ඊශ්‍රායලයේ නව අග්‍රාමාත්‍ය නෆ්තාලි බෙනට් සහ ඔහුගේ සන්ධාන රජය සමඟ අලුතින් සබඳතා ආරම්භ කිරීමට අපේක්ෂා කරයි. ඒ අනුව, ඊශ්‍රායලයට නව ඇමෙරිකන් තානාපතිවරයකු පත් කරන බව ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි. 

අල් ජසීරා

Classified_Ad

Classified_Ad_News_Bottom