යුරෝපයේ උසින් වැඩිම කඳු වැටිය ඇල්ප්ස් ය. කිලෝ මීටර් 1,200 ක් දිගට ඇල්ප්ස් කඳු වැටිය ප්‍රංශය, ස්විට්සර්ලන්තය, ඉතාලිය, ජර්මනිය, ස්ලොව්නියාව, මොනාකෝ රාජ්‍යය, ඔස්ට්‍රියාව ආදී යුරෝපා රටවල් පුරා පැතිර පවතී. ඇල්ප්ස් කඳු වැටියේ උසින් වැඩිම කන්ද මොන් බ්ලොන්ක් එහෙත් ධවල ශිඛරයයි. එහි උස මීටර් 4,810 කි. මෙය පිහිටා ඇත්තේ ප්‍රංශ ඉතාලි දේශසීමාවේ ය. ඇල්ප්ස් කඳුකරය නිවහන කරගත් ජීවීන්ට සීත සෘතුවේ ආහාර සොයා ගැනීම ගැටළුවකි. සැබැවින්ම අභියෝගයකි. එවැනි අභියෝගවලට නිරන්තරයෙන් මුහුණ දෙන, ගුවන ජයගත් ශූරයකු ලෙස රන්වන් රාජාලියා හැඳින්විය හැකිය. රන් රාජාලියාගේ සත්ව විද්‍යාත්මක නාමය ඇක්විලා ක්රයිසෙටෝස් ය.
ගොදුරු සොයමින්
රන්වන් රාජාලියකු දිවා කාලයේ සෑම මිනිත්තුවක්ම ගත කරන්නේ කෑම සොයමිනි. කඳුවැටියේ බෑවුම් සිසාරා කොතැනක හෝ කුමක් හෝ කෑමට ඇතිදැයි සොයයි. එසේ කෑම සොයමින් ගුවනේ පාවෙන රන්වන් රාජාලි ගැහැනු සතෙක්. ඇගේ පියාපත් විහිදූ කළ ඒවාගේ දිග අඩි 7 කි. ශක්තිමත් පියාපත් සලමින්, කඳු අතරින් ගුවනේ පාවී යෑමට රන්වන් රාජාලියා ප්‍රිය කරයි. එසේ ගුවනේ පා වෙමින්, රන්වන් රාජාලියකු සෑම දිනකම, සැතපුම් 100 කට වැඩි දුරක් යමින් ආහාර සොයයි.
වේගවත්ම කුරුල්ලා
සෙසු රාජාලියන්ගේ මෙන්ම රන්වන් රාජාලියාගේ ද ඇස් ඉතා තියුණුය. සැතපුම් දෙකක් පමණ දුරින් හිම අතරේ සිටින මීයකු වැනි පුංචි ගොදුරක් පවා පැහැදිලිව දකින්න ලැබේ. එසේ ගොදුරක් දුටු විට රන්වන් රාජාලියා වහා ක්‍රියාත්මක වෙයි. පැයට සැතපුම් 200 ක වේගයකින් පහළට ඇදී යන්න රන්වන් රාජාලියාට පුළුවනි. එසේ පහළට වේගයෙන් ඇදෙන රන්වන් රාජාලියා දෙවැනි වන්නේ පෙරිග්රීන්ට පමණි. රාජාලීන් මෙන්ම පෙරිග්‍රීන් ද අයත් වන්නේ ගොදුරු අල්ලන පක්ෂීන් අතරටය. පෙරිග්‍රීන් යනු කුරුලුගොයෙකි. ලොව වේගවත්ම පක්ෂියා ලෙස සැලකෙන්නේ පෙරිග්රීන්ය.
කපුටෝ රංචුව
සීත සෘතුවේ ගොදුරු අල්ලා ගැනීම අභියෝගයකි. එහෙයින් හාමතේ මියැදෙනවාට වඩා අහුවෙන දෙයක් රන්වන් රාජාලීන් ආහාරයට ගනී. කඳුකරයේ පහළට පියඹමින් යන රන්වන් රාජාලි ගැහැනු සතාට කපුටන් රංචුවක් විසින් වටකර ගත් නරියකුගේ මළකුණක් දකින්න ලැබේ. නරියාගේ කුණුවෙමින් පවතින සිරුර රාජාලියාට හොඳ ආහාරයකි. ඇය වහා එතැනට පහත් වෙයි. රාජාලියා පහත් වෙද්දී කපුටෝ බය වී එතැනින් ඉවත් වෙති. මේ නරියාගේ මළකුණ සති කිහිපයකට ඇයට ප්‍රමාණවත් වේවි. අකමැත්තෙන් වුවත්, රාජාලියාට බිය වී පැත්තකට වන කපුටු රංචුව එතැනින් ඉවත් වන්නේ නැත. රාජාලියාට කපුටන් කරදරයකි. කෙසේ හෝ ධෛර්යය ගෙන, කපුටෝ එකිනෙකා යළි මළකුණ වෙත ළං වෙති. රාජාලියාට නොදැනෙන සේ, සෙමින් සෙමින් ළං වී මළකුණෙන් මස් කැබැල්ලක් කඩා ගන්න උත්සාහ දරයි. තවත් කපුටෙක් සෙමින් සෙමින් ළං වී රාජාලියාගේ පිහාටුවලින් අදින්න ගනී. මස් ඉරා ගිලිමින් සිටින අතරතුරේ කපුටන් පලවා හරින්නට ද රන්වන් රාජාලියාට සිදුවෙයි.
කෑමට සටනක්
කෙසේ නමුත්, රන්වන් රාජාලි ගැහැනු සතා වද විය යුත්තේ කරදරකාර කපුටන්ගෙන් පමණක් නොවෙයි. හිටිහැටියේ, කපුටු රංචුව බිය වී වහා එතැන්න පියාඹා යෑමට පටන් ගනී. කපුටන් බිය ගැන්නුවේ කවුරුන්දැයි රන්වන් රාජාලි ගැහැනු සතා හිස ඔසවා බලයි. තවත් දැවැන්ත රන්වන් රාජාලියකු මළකුණ වෙත ළං වෙයි. ඒ රාජාලියා පාවී ඇවිත් කෙළින්ම, ගැහැනු රාජාලියාට පහරක් දෙන්නේ ඇය එතැනින් තල්ලු කරමිනි. දැවැන්ත රාජාලියා කෙළින්ම මළකුණ මත වසයි. දැන් නරියාගේ මළකුණ අයිති දැවැන්තයාටය. තමන්ගේ ආහාරය වෙනත් රාජාලියකුට අයිති වෙනවාට ගැහැනු රාජාලියා කැමැත්තක් නොදක්වයි. මළකුණ වෙනුවෙන් ඇයට දැන් සටන් කරන්න සිදුවෙයි. ඈත සිට යළි පියඹාවිත් තියුණු නිය සහිත පාදවලින් පහර දෙමින්, ගැහැනු රාජාලියා, දැවැන්ත පිරිමි රාජාලියා සමඟ පොර බදයි. අවසානයේ ගැහැනු රාජාලියාට දිනුම අත්වෙද්දී, දැවැන්තයා පසුබසී. යළිත් වරක් මළකුණ අයිති වන්නේ ගැහැනු රාජාලියාටය. හැබැයි ඒ, මිනිත්තු කීපයකට පමණය.
පරාජය බාර ගනී
රාජාලියන් දෙදෙනාගේ මළකුණ වෙනුවෙන් සටන් වදිනවා දැක තවත් රාජාලියෝ එකා දෙන්නා දැන් එතැනට පියඹා එති. දැන් රාජාලි ගැහැනු සතාට සෙසු රාජාලියන් සමඟ කෑම වෙනුවෙන් තියුණු මෙන්ම බිහිසුණු සටනක් කිරීමට සිදුවෙයි. අවසානයේ දී දියුණ අත්වන්නේ ශක්තිවන්තයාටය. සටනින් තුවාල ලබන ගැහැනු රාජාලියා පරාජය බාර ගනී. තවදුරටත් මළකුණ ආරක්ෂා කර ගැනීමට ඇයට ශක්තියක් නැත. ඇය එතැනින් පියඹා යයි. ඒ වෙනත් කොතැනක හෝ කෑමට යමක් ඇතිදැයි විමසිල්ලෙනි. ඇගේ කුසට යළි ආහාරයක් වැටෙන්නේ කවදාදැයි අවිනිශ්චිතය. ඒ සඳහා දින කීපයක් බලා සිටීමට පවා සිදුවනු ඇත.
ලුසිත ජයමාන්න
බී.බී.සී. ප්ලැනට්
අර්ත් ඇසුරිනි