කල් ඉකුත් වුණු එන්නත් දීලා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Stay Safe

Jun 21, 2021

කල් ඉකුත් වුණු එන්නත් දීලා

sample-ad-complete-big
367898332_0-7
ඊශ්‍රායල සමඟ ඇතිකරගත් එකඟතාවකට අනුව, එරටින් ලැබුණු 'ෆයිසර්' එන්නත් මාත්‍රා 90,000 ක් කල් ඉකුත් වීමට ආසන්න යැයි බටහිර ඉවුරේ පලස්තීන පාලන අධිකාරිය පවසයි. 

ඊශ්‍රායලය එම එන්නත් තොගය තමන්ට ලබා දී ඇත්තේ කිසිදු ප්‍රමිතියකට අනුව නොවන බව ද පලස්තීන පාලන අධිකාරිය චෝදනා කර තිබේ. 

'කොවිඩ් 19' වයිරසයට එරෙහිව ප්‍රතිශක්තිකරණ එන්නත් ඊශ්‍රායලයෙන් ලබා ගැනීමට පලස්තීන පාලන අධිකාරිය ගිවිසුමක් ඇති කර ගත්තේ මීට සති කීපයකට පෙරය. එම අවස්ථාවේදී, පලස්තීනුවන් බොහෝ දෙනකුගේ විරෝධය ඊට එල්ල විය. ඒ, එන්නත් ලබා ගැනීමට පලස්තීන පාලන අධිකාරිය ඊශ්‍රායලයට 'බැගෑපත් වෙනවා' යැයි චෝදනා නගමිනි. 

කෙසේ නමුත් 'ෆයිසර්' එන්නත් මාත්‍රා 90,000 ඊශ්‍රායලයෙන් පලස්තීනුවන්ට ලැබුණේ පසුගිය 18 වැනිදාය. පලස්තීන සෞඛ්‍ය අංශ ඒවා නියමිත ප්‍රමිතියෙන් යුතු දැයි සොයා බලද්දී, එන්නත් කල් ඉකුත් වීමට ඔන්න මෙන්න බව තහවුරු වී ඇත.

'ඊශ්‍රායලයෙන් ලැබුණු එන්නත් කල් ඉකුත්වීමට නියමිතයි. ඒ නිසා අප අග්‍රාමාත්‍ය මුහම්මද් සෂ්තායේ සමඟ සාකච්ඡා කළා. ඉන්පසු අප තීරණය කළා එන්නත් වහාම ආපසු ඊශ්‍රායලයට යවන්න.' යැයි පලස්තීන පාලන අධිකාරියේ සෞඛ්‍ය කටයුතු ඇමැති මායි අල් කයිලා පවසා ඇත. 

එන්නත්කරණය අතින් ඉදිරියෙන් සිටින රටක් ලෙස ඊශ්‍රායලය සැලකෙයි. ඊශ්‍රායලය එරට වැසියන්ට ලබා දෙන්නේ 'ෆයිසර්' එන්නතය. 

එන්නත කඩිනමින් මිලදී ගැනීම සිදුවූයේ ධුරය අහිමි වූ අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සෘජුව මැදිහත් වී ඇමෙරිකාවේ 'ෆයිසර්' සමාගමෙන් එන්නත් මිලදී ගැනීමට කටයුතු කළ බැවිනි. 

බටහිර ඉවුරේත් ගාසා තීරයේත් පලස්තීන වැසියන්ට ලෝක සෞඛ්‍ය සංවිධානය ද එන්නත් පරිත්‍යාග කර තිබේ. ඒ, 'කොවැක්ස්' වැඩසටහන යටතේය. ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් පලස්තීනුවන්ට ලැබුණේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා ප්‍රතිශක්තිකරණ එන්නතය.

AFP

Classified_Ad