මම සමාජ මාධ්‍යවල නෑ - කාංචනා මෙන්ඩිස් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jun 19, 2021

මම සමාජ මාධ්‍යවල නෑ - කාංචනා මෙන්ඩිස්

ඇයගේ රූමත්කමත්, දක්‍ෂතාවත් නිසාම සිනමාවටත්, පුංචි තිරයටත් ඇය නැතුවම බැරි රංගන ශිල්පිනියක් වූවාය. ඇයගේ ඒ හැකියාව නිසාම, මෙරට සම්මාන උළෙල රැසකදීම සම්මානයට පාත්‍ර වූවාය. රංගන දිවියේ ඉහළ ස්ථානයක සිටිය දී විවාහයත් සමඟ ඇය එංගලන්තය බලා ගියේ මෙරට ප්‍රේක්‍ෂකයන්ගේ සිත්සතන්වලට කඳුළක් ද එක් කරමිනි.  

මෑත කාලයේ දී තිරගත වූ ඇය රඟපෑ නිහාල් ජයසිංහ නිර්මාණය කළ ‘‘සෙනෙහසේ සිහිනය’’ චිත්‍රපටය නිසාම බොහෝ දෙනා යළි ඇය පිළිබඳව විමසන්නට වූවාය. එංගලන්තයේ සිටින ඇය කතාබහ කරන්නට කැමැත්තක් දැක්වූයේ බොහෝ දේ ඇයට පැවැසීමට අවශ්‍ය වූ නිසාවෙනි. 

මේ රුවැති රංගන ශිල්පිනිය නමින් කාංචනා මෙන්ඩිස්ය. දරුවන් තිදෙනකුගේ මවක් වුව ද ඇය එදා වගේම අදටත් තමන්ගේ රුව එක ලෙස තබාගෙන සිටීම මෙරට අධ්‍යක්‍ෂකවරුන්ට සතුට ගෙන දෙන කරුණක් විය. මේ ඇයගේ කතාබහේ සටහනයි. 

‘‘මම එංගලන්තයට ආවේ 2014 වර්ෂයේ දී. දැන් අවුරුදු 7 ක් ගතවෙලා. කලා කටයුතුවල නම් විශේෂයෙන් කියලා වැඩක් වෙන්නේ නෑ. මට බබාලා තුන්දෙනෙක් ඉන්න හින්දා, ඔවුන්ගේ වැඩකටයුතුවලට තමයි මූලික තැන දීලා තිබෙන්නේ. ලොකු පුතා 7 වසරේත්, දෙවැනි දුව 4 වසරේත්, ඉගෙනුම ලබනවා. පොඩි පුතා ‘‘නර්සරි’’ යනවා. ඒ අයගේ පාසල් වැඩ, ගෙදර වැඩ කරන නිසා දැන් ‘‘ෆුල් ටයිම්’’ ගෘහනියක් බවට පත්වෙලා. 

ගොඩාක් දේවල් තනියෙන් කරගන්න පුළුවන් විදිහට පහසුකම් මේ රටේ තිබෙනවා. ලංකාවේ ඉන්නකොට නම් හැම වැඩකටම උදව් වෙන්න කවුරු හරි හිටියා. ඒත් එංගලන්තයට ආවාම හැම වැඩක්ම තනියෙන් කරගන්න මම ඉගෙන ගත්තා. පවුලේ හැම වැඩක්ම තනියෙන් කරගන්නවා. මේ රටේ සිස්ටම් එකක් ඒ වගේ තමයි. ලංකාවේ ඉන්නකොට සංස්කෘතික බැඳීමත් එක්ක අපි හැම උත්සවයකදීම, දානයකදීම එකතු වෙනවා. ඒ සියල්ල මේ රටේ නැහැ. මෙහි ජීවිතය හරිම ඒකාකාරියි. අසල්වැසි සම්බන්ධතා මේ රටේ ලොකුවට නැහැ. 

හැමෝම වැඩට ගිහින් ඇවිත් දොර වහගෙන ගෙවල් ඇතුළට වෙලා ඉන්නවා. මම හොඳම නිළිය සම්මානයත් අරන් රංගන ක්ෂේත්‍රයේ ඉහළම ජනප්‍රියත්වයක් තිබෙන කාලයේ තමයි ලංකාව අතහැරලා එංගලන්තයට ආවේ. මම 2013 දී හොඳම නිළිය වුණා. ගොඩාක් අය කිව්වා, අපරාදේ හොඳම වෙලාවේ ගියා නේද කියලා. මම අවුරුදු 12 ඉඳලා රඟපෑවා. උසස් පෙළ ඉවර වුණාට පස්සේ තමයි සම්පූර්ණයෙන්ම රංගනයට මගේ ජීවිතය කැප කළේ. අවුරුදු 14 ක් මගේ රංගන දිවිය ගෙන ගියා. ඉතිං මට හිතුණා. දැන් ඇති කියලා. මොකද අලුත් අයත් දිනෙන් දින එකතු වෙනවා. ඒ අයටත් අපි ඉඩ දෙන්න ඕනේ. 
අනෙක මගේ සැමියා විවාහ වෙන කාලයේත් ඔහු හිටියේ එංගලන්තයේ. එතන දී අපි දෙන්නට තීරණයක් ගන්න වුණා, එයා ලංකාවට එනවා ද? මම එංගලන්තයට යනවා ද කියා. මොකද මම විවාහවෙලත් අවුරුදු 5 ක් ලංකාවේ හිටියා. දෙවැනි දුවත් ලැබුණාට පස්සේ තීරණය කළා, මම එංගලන්තයට යන්න. 

මම සිතනවා ගත්ත තීරණය හරි කියලා. කලා ක්ෂේත්‍රය පැත්ත ගත්තත් අපි අපේ රටේ මහ ලොකු දේවල් කරන්න බැහැනේ. හොඳම නිළිය, ජනප්‍රිය නිළිය, නැගී එන නිළිය, නවක, කුසලතා ආදී සියලු සම්මාන ගත්තා. ප්‍රේක්‍ෂකයන් අතරේත් ආදරය දිනා ගත්තා. ඉතිං මට සිතුණා, තව මොනවද අපට ළඟා කරගන්න තිබෙන්නේ කියලා. 

ඊට පස්සේ තිබෙන්නේ පවුල් ජීවිතය නේද? මොන දේ ලැබුණත්, අන්තිමට අපට ඉතිරිවෙන්නේ එච්චරයි. ඒ හින්දා මම ගත් තීරණය ගැන කිසිම දුකක්, කනගාටුවක් නෑ. මම පළමු ටෙලිනාට්‍යය රඟපෑවේ ආචාර්ය ධර්මසේන පතිරාජ මහත්තයාගේ නිර්මාණයක. ඒ ‘‘සුබ අනාගතයක්’’ ටෙලිනාට්‍යයෙන්. මගේ ආරම්භයේදීම මට හොඳ කණ්ඩායමක් ලැබුණා. එතන දී පතී අන්කල් වැඩ කරපු හැටි, අපට ස්ක්‍රිප්ට් එකක් දීලා වැඩ කරන හැටි, හරි සංයමයකින්, විනයකින් කියලා දුන්න හැටි කොයිතරම් සුන්දර ද? 

ඒවා හරියට විශ්වවිද්‍යාලයකට ගිහින් ඉගෙන ගත්තා වගෙයි. අද දවසේ ටෙලිනාට්‍ය බලනකොට ගුණත්මක භාවයට වඩා බජට් එක කවර් කරගන්න සීන් 30-40 කරන බවක් දැනගන්නට ලැබුණා, එක දවසකට. අපි එහෙම වැඩ කරලා පුරුදු නෑ. දැන් ඉන්න ක්ෂේත්‍රයේ අයට අපි ලැබූ අත්දැකීම් ලබලා නෑ. ඒ අතින් අපි හරි වාසනාවන්තයි කියලා හිතෙනවා. හොඳ අධ්‍යක්‍ෂකවරු යටතේ කලාව හා රංගනය කියන එකේ ගෞරවය පිළිබඳව අපි බොහෝ දේ ඉගෙන ගත්තා. දැන් තිබෙන බජට් එකට කරන නිර්මාණවලට දායක වෙන්න නොලැබීම ගැන නම් කිසිම දුකක් නෑ. 

හැබැයි ඉඳහිට හොඳ නිර්මාණත් දකින්න තිබෙනවා. ඒ වගේ හොඳ නිර්මාණයකට කතා කළොත්, මම ලංකාවට ඇවිල්ලා හරි වැඩ කරන්න කැමතියි. එය මුදල්ම නොවෙයි, මට වටිනාකමක් තියෙන සහ ටෙලිනාට්‍යයක තිබෙන ගුණාත්මක බව රැකෙනවා නම්, එයට දායකත්වය ලබා දෙන්න මා සූදානම්. මම ආසයි රඟපාන්න. රංගනය කියන එක මගෙන් ඈත් වෙලා නෑ. අදටත් ඒ වෘත්තියට මම හරි ආදරෙයි. මම හැමදේම ළඟා කරගත්තේ ඒ වෘත්තියත් එක්කයි. මේ මොහොතේදීත් හොඳ නිර්මාණයක් ලැබුණොත් ඇවිල්ලා හරි රඟපානවා. 

මට මෙතනදී කිවයුතු විශේෂ දෙයක් තිබෙනවා. ඇත්තටම මට කිසිම face book (මුහුණු පොත) ගිණුමක් නෑ. හැබැයි මගේ නමින් ව්‍යාජ FB ගිණුම් 4 – 5 ක් තිබෙනවා. මීට කලිනුත් මම පැවසුවා, මේවා කරගත්තේ මම නොවෙයි, වෙන අය කියලා. දැනටත් ඒවා තිබෙනවා. මගේ ප්‍රේක්ෂක ජනතාවට කියන්නේ, මට ආදරය කරන රසික පිරිසට කියන්නේ මේවාට රැවටෙන්න එපා කියලයා. මම කිසිම සමාජ මාධ්‍ය ජාලාවල නෑ. මට Facebook, WhatsApp, Imo, වගේ කිසිම දෙයක් නෑ. මම ඒවා පාවිච්චි කරන්නේ නෑ. මට ඒවායේ ඉන්න වෙලාවකුත් නෑ. 

හරිම අවිවේකී ජීවිතයක් මම ගත කරන්නේ. මම එක පැත්තකින් සිතන්නේ ලංකාවෙන් එංගලන්තයට ආවේ දරුවන් හා පවුල නිසා නම්, ඉතිං එහි හොඳම ඵලය ගන්න නම් උපරිම කැපකීරීම කළ යුතුයි. ඉතිං ඒ හින්දා ඒවාට තමයි මම මූලික තැන දෙන්නේ. ලංකාව ගත්තත්, පිටරටවල් ගත්තත් දැන් යන සිස්ටම් එක හරිම අමුතුයි. 

අපේ තිබුණු පුංචි කාලය නොවෙයි දැන් ඉන්න ළමයිනගේ ජීවිතවල තිබෙන්නේ. හැම වෙලේම ලැප්ටොප්වල, දුරකතනවල ඉන්නේ. ජීවිතේ නාස්ති කරගන්නේ කොයි වෙලාවෙ ද කියන්න බැහැ. අපේ කාලයේ ඒවා තිබුණේ නෑ. අපිට සුන්දර ළමා කාලයක් තිබුණා. ඒ හින්දා මම දරුවන් ළඟින්ම ඉන්නවා. මේ හින්දා මම සමාජ මාධ්‍ය ජාලා පාවිච්චි කරන්නේ නෑ. වට්ස් ඇප්වල WhatsApp ව්‍යාජ ඒවා හදලා මගේ නමින් සමහරුන්ට chat කරලාත් තිබෙනවා. ඒවාට රැවටෙන්න එපා. 

මගේ පාසල්වල යාලුවන්ගේත් fb ගිණුම්වල නෑ. ඒක පාවිච්චි කිරීමෙන් යම් යම් වැරැදි දේවල් වෙන්න පුළුවන්. අන්තිමට දෝෂාරෝපණ මට එල්ල වෙයි. ඒ හින්දයි මම ලංකාවේ ජනතාවට කියන්නේ මේ කිසිඳු දෙයකට රැවටෙන්න එපා කියලා. මගේ නමයි රූපයයි දාලා වට්ස්ඇප්වල සිදුකරන මේ වංචනික ව්‍යාජ ගිණුම්වලට රැවටෙන්න එපා. මෙය ඇත්තෙන්ම මට කරන ලොකු අසාධාරණයක්. 

ඒ හින්දයි මගේ රසික ප්‍රජාවට මේ ගැන පවසන්නේ. ප්‍රේක්ෂකයන්ගේ ආදරය අදටත් මට තිබෙනවා. ඒක ලොකු සතුටක්. රංගන ක්ෂේත්‍රයේ නිරතවීමෙන් මුදල්වලට වඩා මට ගොඩාක් පැසසුම් ලැබුණා, ගොඩාක් අය අදටත් කියනවා, ඔයාලා එකක් වැඩ කරන්න ලැබීම කොයිතරම් පහසු ද කියලා. කිසිම දවසක වැඩක දී මම අතපසුවීම් කරලා නෑ. ඒ තරමට මම ඒ වෘත්තිට සියයට සියයක්ම කැපවෙලා වැඩ කළේ. 

මම හැමදෙනාටම ගෞරව කරමින් තමයි වැඩ කළේ. හැමකෙනාම එක විදිහකට සලකලයි මගේ කටයුත්තේ නියැළුණේ. හරිම සුහදව කටයුතු කළේ. කාර්මික ශිල්පීන් පවා මට ගරු කළා. මේ කොරෝනා වසංගතය මුළු ලොවෙන්ම තුරන් වී යළිත් සුහදව එකතු වී වැඩකරන්න කාලයක් අපි හැමෝටම උදාවෙන්න කියලයි මම ප්‍රාර්ථනා කරන්නේ.’’ 

කතාබහ කළේ සමන්ත යහම්පත් 
උපුටා ගැනීම - ලංකාදීප රසවින්දන

Classified_Ad

Classified_Ad_News_Bottom