තල් අරණක සිසිලස රැඳි කදුරුගොඩ විහාරය - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jul 3, 2021

තල් අරණක සිසිලස රැඳි කදුරුගොඩ විහාරය

යාපනය දිස්ත්‍රික්කයේ චුන්නාකම් හි කන්දරොඩායි නැමති ගම්මානයේ පිහිටා ඇති මෙම විහාරය යාපනය දිස්ත්‍රික්කයේ දැනට ඉතිරිව ඇති බෞද්ධ සිද්ධස්ථාන අතලොස්ස අතරින් එකකි. 

පුරාවිද්‍යා භූමියක් ලෙස පිළිගෙන ඇති මෙම ස්ථානය, දැනට ශ්‍රි ලංකා යුධ හමුදාව විසින් නඩත්තු කටයුතු සිදු කරනු ලබයි. මෙහි ඉතිහාසය, අනුරාධපුර යුගය දක්වා දිවයයි. සංඝමිත්තා තෙරණිය, ශ්‍රී මහා බෝධීන් වහන්සේ ලංකාවට වැඩමවන විට, දඹකොළපටුනේ සිට අනුරාධපුරයට යන මාර්ගයේ පිහිටි මෙම සිද්ධස්ථානය වැඳ පුදා ගත් බව ඉතිහාසයේ සඳහන් වේ. 

දැනට මෙහි සම්පූර්ණ ස්ථූප 20ක් දැක ගත හැකිය. මෙම ස්ථූප ඉතා අලංකාර ලෙස අළු පැහැති කොරල් ගල් වලින් නිමවා ඇති අතර, ලංකාවේ වෙනත් ස්ථූපවල දැකිය නොහැකි සිදුරුරටාවන් දැකගත හැකිවීම විශේෂත්වයකි. 

මෙම ස්ථානයේ පළමු පුරාවිද්‍යා කැණීම් සිදුකර ඇත්තේ පෝල් E. පීරිස් විසින් 1917 සහ 1919 යන වසර වලදීය. එහිදී බුදු මැදුරක නටඹුන්, බුද්ධ රූප, කාසි, බුදුන්ගේ පා සලකුණු සහිත ගල්, කුඩා හා විශාල ප්‍රමාණයේ ස්ථූප 60 ක් පමණ සහ උළු වැනි දෑ සොයා ගැනීමට හැකි වී ඇත. 
ජනප්‍රවාද වලින් පැවත එන පරිදි 16 වන ශත වර්ෂයේදී සංගිලි රජු යාපන අර්ධද්වීපය පාලනය කල බව හෙළිවන අතර එකල රහතන් භික්ෂූන් වහන්සේ 60 නමක් වස දී ඝාතනය කල බව සඳහන් වේ. මෙම ස්ථූප එම භික්ෂූන් වහන්සේලා තැන්පත් කල සොහොන් කොත් හෝ ස්මාරක යැයි පැවැසෙයි. 

යාපනය සංචාරයෙහි යන බෞද්ධ ඔබ, දැක බලා වැඳ පුදා ගැනීමට අමතක නොකළ යුතු තැනක් ලෙස මෙම ඓතිහාසික සිද්ධස්ථානය හැදින්විය හැකිය. 

  සටහන සහ සේයා රූ 
෴ තනූජා කරුණාරත්න

Classified_Ad

Classified_Ad_News_Bottom