ශීත කඳු ශිඛරයට තනි රකින ලිප්ටන්ගේ අසුන - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jul 10, 2021

ශීත කඳු ශිඛරයට තනි රකින ලිප්ටන්ගේ අසුන

දෙස් විදෙස් සංචාරකයන් අතර ඉතාමත් ප්‍රසිද්ධියක් උසුලන ලිප්ටන් සීට් බදුල්ල දිස්ත්‍රික්කයේ හපුතලේ නගරයේ පිහිටයි. මෙහි ළඟා වීමට මාර්ග දෙකක් ඇති අතර, මෙම කුමන මාර්ගයක වුවද පරිසරය රස විඳින්නෙකුට සුන්දරත්වයේ අඩුවක් නම් නොමැත. 

බණ්ඩාරවෙල නගරයේ සිට පූනාගල මාර්ගයෙන් ද, හපුතලේ පිටරත්මලේ සිට දඹේතැන්න තේ කර්මාන්ත ශාලාව හරහා වැටී ඇති මාර්ගයෙන් ද මෙහි ලඟා විය හැකිය. මෙයට පිවිසෙන ගමන් මාර්ගය ඉතා පටු වූවක් වන අතර මීදුම පවතින වේලාවන් වලදී ප්‍රවේසමෙන් ධාවනය කල යුතුය. 
මෙහි ඇති විශේෂත්වය වන්නේ ලංකාවේ ඇති පළාත් නවයෙන් පහක්ම කාලගුණය යහපත්ව ඇති දිනෙක මෙහි පැමිණෙන්නෙකුට එකවර දැකගත හැකි, ලංකාවේ පිහිටි එකම ස්ථානය වීම නිසාවෙනි. 

මෙසේ දැක ගත හැකි පළාත් වන්නේ ඌව , දකුණු , සබරගමුව , මධ්‍යම සහ නැගෙනහිර පළාත් ය. 

ලිප්ටන් සීට් පිහිටා ඇත්තේ හපුතලේ නගරය ආසන්නයේ පිහිටි පුනාගල කන්දේ මීටර් 1950 කට වඩා උස කදුමුදුනක ය. බ්‍රිතාන්‍ය පාලන සමයේ ලංකාවට පැමිණි තෝමස් ජේ. ලිප්ටන් මහතා (Sir Thomas J. Lipton) දඹේතැන්න වතු යාය ආරම්භ කරමින් ශ්‍රී ලංකාවේ තේ ලෝකප්‍රකට කිරීමට පුරෝගාමී වූවෙකි. 

සොබා සුන්දරත්වයේ අපූර්වත්වය විඳීමට තෝරාගත් මෙම ස්ථානයෙහි ඒ මහතාගේ ජීවමාන ප්‍රමාණයේ ප්‍රතිමාවක් ඉදිකර ඇත. 

අංශක 360 ක දර්ශන තලයකින් යුත් මෙම ස්ථානය සුන්දරත්වය විඳීමට සකසා ගත් අසුන ලිප්ටන් සීට් (Lipton’s Seat) ලෙස ප්‍රචලිතව ඇත. 
උදෑසන සහ සවස් කාල වලදී දැඩි මීදුමක් පවතින අතර එවැනි අවස්ථාවන් වලදී අවට දැක ගැනීමට බාධා ඇති කරයි. මනෝරම්‍ය වූ දසුන් මවමින් මීදුම වෙලාගත් ශීත කඳු අතරින් මෙහි ළඟාවීම ඔබට සුන්දර වූ අත්දැකීමක් වනු ඒකාන්තය. 

ඔබත් යන්න. මේ සුන්දර පරිසරයේ සුව විඳ සැනසෙන්න. මතක ඇතුවම රැගෙන යන දෑ නැවත රැගෙන එන්නට වග බලා ගන්න. මන්ද යත් අනාගත පරපුරටද මෙහි සුව විඳීමට සැලසීම ඔබේත් වගකීමක් වන නිසාවෙනි. 

   සටහන සහ සේයා රූ 
෴ තනූජා කරුණාරත්න

Classified_Ad

Classified_Ad_News_Bottom