බ්‍රසීල ජනපතිට දින 10 ක් තිස්සේ ඉක්කා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Jul 15, 2021

බ්‍රසීල ජනපතිට දින 10 ක් තිස්සේ ඉක්කා

දින 10 පුරා නොනවත්වා ඉක්කා වැටීම හේතුවෙන්, බ්‍රසීල ජනාධිපති ජාර් බොල්සරානෝ රෝහල්ගත කර තිබේ. 66 හැවිරිදි ජනාධිපතිවරයාට හදිසි සැත්කමක් සිදු කළ යුතුදැයි නැද්ද යන්න ස්කෑන් පරීක්ෂණයකින් තීරණය කරන බව ඔහුගේ වෛද්‍යවරු පවසති. 

ජනාධිපති බොල්සරානෝ පසුගිය 3 වැනිදා දන්ත ශල්‍ය වෛද්‍යවරයකු හමුවට ගොස් කෘත්‍රිම දතක් බද්ධ කර ගත්තේය. ඉක්කා වැටීම ආරම්භ වූයේ ඉන්පසුව යැයි බොල්සරානෝ පවසයි. නොනවත්වා ඉක්කා වැටීම හේතුවෙන් පසුගිය දින කීපය පුරා බොල්සරානෝ දැඩි අපහසුතායකින් පසුවුණු බව බ්‍රසීල මාධ්‍ය වාර්තා පෙන්වා දී තිබේ. 

අන්ත දක්ෂිණාංශික නායක බොල්සරානෝ මේ වනවිට බ්‍රසීල වැසියන් බොහෝ දෙනකුගේ අප්‍රසාදයට ද පත් වී සිටී. ඒ, කොරෝනා වසංගතය නිසි ලෙස කළමණාකරනය නොකිරීම සහ එන්නත් ඇණවුම් කිරීමට ප්‍රමාද වීම නිසාය. 

අද ලොව දෙවැනියට වැඩිම කොරෝනා මරණ වාර්තා වන්නේ බ්‍රසීලයෙනි. ඊට අමතරව, එන්නත් මිලදී ගැනීමට ඇණවුම් ලබා දෙමින් ජනාධිපති බොල්සරානෝ, සෞඛ්‍ය අමත්‍යාංශය සමඟ එක් වී මුදල් වංචාවක් සිදු කළේ යැයි ද චෝදනා එල්ල වී ඇත. මෙම චෝදනාව සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට අධිකරණය අවසර දී තිබේ.

ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙන්ම බොල්සරානෝ ද කොරෝනා වයිරසය අවතක්සේරු කළ ජනාධිපතිවරයෙකි. ඒ නිසාම බොල්සරානෝ කොරෝනා ආසාදිතයකු බවට ද පත් විය. ඔහු සුවය ලැබුවේ දින 7 කට පසුවය. 

බොල්සරානෝ බ්‍රසීල ජනාධිපති ධුරයට පත් වූයේ 2018 දීය. ජනාධිපතිවරණයට ඔන්න මෙන්න කියා ජන රැලියකට සහභාගී වී ජනතාව අතර සිටිද්දී, ඔහුට ප්‍රතිවාදියකුගෙන් පිහි ප්‍රහාරයක් එල්ල විය. පිහි ප්‍රහාරය එල්ල වූයේ බොල්සරානෝගේ උදරයටය. එයින් මහ බඩවැලට හානි සිදුවුණු අතර, ඉන්පසු සැත්කම් කීපයක් ද සිදු කෙරුණි. 

රොයිටර්

Classified_Ad