ඇමෙරිකන් හමුදා ඇෆ්ගනිස්තානයෙන් යයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Aug 31, 2021

ඇමෙරිකන් හමුදා ඇෆ්ගනිස්තානයෙන් යයි

වසර 20 කට පසු ඇෆ්ගනිස්තානයේ ඇමෙරිකන් හමුදා මෙහෙයුම් මුළුමනින්ම අවසන් විය. හමුදා මෙහෙයුම් අවසන් වූයේ කාබුල් අගනුවර, හමීඩ් කර්සායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ රැඳී සිටි අවසන් ඇමෙරිකන් හමුදා සොල්දාදුවන් පිරිස ද එරටින් පිටවී යෑමත් සමඟය. 

අවසන් මොහොත තෙක් ඇෆ්ගනිස්තානයේ රැඳී සිටියේ, මේජර් ජනරාල් ක්‍රිස් ඩොනහූගේ 82 වැනි බලඇණියයි. බලඇණියේ සියලු සොලද්දාදුවන් ගුවන් යානයට ගොඩවීමෙන් පසු අවසානයට යානයට ගොඩවූයේ ඩොනහූ ය. ඒ අනුව, අවසන් ඇමෙරිකන් සොල්දාදුවා ලෙස ඇෆ්ගනිස්තානයෙන් පිටවී ගියේ ඩොනහූය. ඉහළින් ඇති ඡායාරූපයේ සිටින්නේ මේජර් ජනරාල් ක්‍රිස් ඩොනහූ ය.

ඇෆ්ගනිස්තානයේ හමුදා මෙහෙයුම් සියල්ල අද (31) වැනිදා අවසන් කරන බවට ජනාධිපති ජෝ බයිඩන් ප්‍රතිඥා දී තිබුණි. කෙසේ නමුත් ඊයේ (30) රාත්‍රිය වෙද්දී, එම කටයුතු සම්පූර්ණ කිරීමට ඇමෙරිකා හමුදාව සමත් විය. අවසන් ඇමෙරිකන් සොල්දාදුවන් කාබුල් අගනුවරින් පිටවී යද්දී, කාබුල් පාලනය අතට ගෙන සිටින තලේබාන්වරුන් මල් වෙඩි පත්තු කරමින් ප්‍රීතිය පළ කරන්න වූ බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඇමෙරිකන් හමුදා ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කළේ තලේබාන් පාලනය පෙරළා දමමින් වුවත්, ඔවුන් ආපසු යන්නේ තලේබාන්වරුන්ට රටේ පාලනය ලබා දීමෙන් බවත් ජාත්‍යන්තර විචාරකයෝ පෙන්වා දෙති.

මීට වසර 20 කට පෙර 2001 වසර අවසානයේ, ඇමෙරිකාව ප්‍රමුඛ නේටෝ හමුදා ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කළේ, ඇෆ්ගනිස්තානය පාලනය කළ තලේබාන්වරුන් අල් කයිඩාවට සහාය දැක්වීම නිසාය. 

2001 සැප්තැස්මබර් 11 වැනිදා ඇමෙරිකාවට මගී ගුවන් යානා යොදා ගනිමින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළේ අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන්ගේ මෙහෙයවීමෙනි. 

එම ප්‍රහාරයට සම්බන්ධ අල් කයිඩා සාමාජිකයන් පුහුණුව ලබා තිබුණේ ඇෆ්ගනිස්තානයේය. ප්‍රහාරයෙන් පසු බින් ලාඩන් ඇෆ්ගනිස්තානයේ සැඟවුණු අතර, තලේබාන් නායක මුල්ලා ඕමාර් ප්‍රමුඛ ඇෆ්ගන් තලේබාන් රජයේ සහාය සහ රැකවරණ බින් ලාඩන්ට හිමිවිය. 
බින් ලාඩන් තමන්ට අවශ්‍ය බවත් ඔහු වහා බාර දෙන ලෙසත් ඇමෙරිකාව තලේබාන් රජයට දැන්වූ නමුත් තලේබාන්වරුන් ඊට කන් දුන්නේ නැත. එවකට ඇමෙරිකාවේ ජනාධිපති ධුරය හෙබවූ ජෝර්ජ් බුෂ්, ඇමෙරිකාව ප්‍රමුඛ නේටෝ හමුදා මෙහෙයවමින් ඇෆ්ගනිස්තානය ආක්‍රමණයට අණ දුන්නේ ඉන්පසුවය. 'ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය' යන නමින් සංග්‍රාම මෙහෙයුම් ආරම්භ වූයේ, තලේබාන් පාලනය පෙරළා දමමිනි. 

තලේබාන්වරුන් ඇමෙරිකාව ප්‍රමුඛ නේටෝ හමුදාවට එරෙහිව අවිගෙන සටන් වැදුණු අතර, වසර 20 ක් තිස්සේ දිග්ගැස්සුනේ එම සංග්‍රාමයයි. 2011 වසරේ දී, පකිස්තානයේ සැඟවී ජීවත් වුණු ඔසාමා බින් ලාඩන් මරා දැමුණු අතර, 2013 දී ඇෆ්ගන් පාකිස්තාන දේශසීමාවේ සැඟවී සිටි තලේබාන් ත්‍රස්ත නායක මුල්ලා ඕමාර් ඝාතනය කිරීමට ඇමෙරිකා හමුදා සමත් විය. 

වසර 20 ක සංග්‍රාමය අවසන් කරමින් ඇමෙරිකන් හමුදා සහ සෙසු විදෙස් හමුදා ඇෆ්ගනිස්තානයෙන් ගෙන්වා ගැනීමට තලේබාන් සංවිධානය සමඟ සාම කතා ආරම්භ වූයේ ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය පැවැති 2019 සහ 2020 කාලයේය. 

තලේබාන් දේශපාලනික අංශය සාම වැඩපිළිවෙළකට එකඟත්වය පළ කළත්, සන්නද්ධ අංශයේ ඇතැම් කල්ලි ඊට විරෝධය පළ කරයි. 'අයි.එස්.කේ.' නමැති ඇෆ්ගන් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත කල්ලිය සම්බන්ධ වී සිටින්නේ එසේ සාම වැඩපිළිවෙළකට විරෝධය දක්වන තලේබාන් සටන්කාමීන් සමඟය. 

පසුගිය 26 වැනිදා කාබුල් ගුවන්තොටුපොළ පරිශ්‍රයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර දෙකක් එල්ල වුණු අතර, 100 කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත් වූහ. ඇමෙරිකන් සොල්දාදුවෝ 13 දෙනෙක් ද ඒ අතර සිටිති. 
එම ප්‍රහාරය එල්ල කළේ 'අයි.එස්.කේ.' කල්ලියයි. එම ප්‍රහාරයෙන් මියගිය ඇමෙරිකන් සොල්දාදුවන්ගේ සිරුරු ඇමෙරිකාවට ගෙනා අවස්ථාවේදී, ඔවුන්ට ගෞරව කිරීමට ජනාධිපති ජෝ බයිඩන් සහ බිරිඳ ජිල් බයිඩන් ද අමතක නොකළාහ.

 තලේබාන්වරුන් පවසන්නේ 'අයි.එස්.කේ.' කල්ලිය තමන්ට ද තර්ජනයක් බවය. වත්මන් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ඉදිරියට ගෙන ගියේ ට්‍රම්ප් පරිපාලනය, තලේබාන්වරුන් සහ ඇෆ්ගන් රජය සමඟ එකතු වී සකස් කළ සාම වැඩපිළිවෙළය. ඒ අනුව, කඩිනමින් ඇමෙරිකාව ප්‍රමුඛ නේටෝ හමුදා ඇෆ්ගනිස්තානයෙන් ඉවත් කිරීම සිදුවිය. 

26 වැනිදා එල්ල වුණු බෝම්බ ප්‍රහාරයෙන් පසු, ඇමෙරිකාවේ නවතම සතුරා වී ඇත්තේ 'අයි.එස්.කේ.' කල්ලියයි. 26 වැනිදා ප්‍රහාරය සැලැසුම් කළ ත්‍රස්ත නායකයා ඩ්‍රෝන ප්‍රහාරයකින් මරා දැමූ බව ඇමෙරිකන් හමුදා පසුගිය 28 වැනිදා පැවැසීය. 

ඊයේ 30 වැනිදා කාබුල් අගනුවරට 'අයි.එස්.කේ.' ත්‍රස්තයන් රොකට් ප්‍රහාර එල්ල කළ බවත්, එම ප්‍රහාර ප්‍රති ප්‍රහාර එල්ල කරමින් ව්‍යර්ථ කිරීමටත් ඇමෙරිකන් හමුදාව සමත් විය. ඇමෙරිකන් හමුදාව 'අයි.එස්.කේ.' සාමාජිකයන් ඉලක්ක කරමින් සිදු කළ ගුවන් ප්‍රහාරයකින් කුඩා දරුවකු ද ඇතුළු සිවිල් වැසියන් පිරිසක් මියගිය බව තලේබාන්වරුන් පවසා තිබේ. 
පිටවීමට නොහැකිවුණු ඇෆ්ගන් වැසියන් පිරිසක්

කාබුල් අගනුවර පාලනය යළි සියතට ගත් තලේබාන්වරුන් පවසා ඇත්තේ තමන් යළි කිසිම අවස්ථාවක දෙස් විදෙස් කිසිදු පාර්ශ්වයක් සමඟ ගැටුම් ඇති කර නොගන්නා බවත්, කිසිවකුගෙන් පළිගැනීමක් නොකරන බවත්ය. 

තලේබාන් පාලනය ප්‍රතික්ෂේප කරමින් ඇෆ්ගනිස්තානයෙන් පලා යන ඇෆ්ගන් සිවිල් වැසියන්ට කිසිදු බාධාවක් නොකරන බව ද තලේබාන්වරුන් පවසා තිබුණි. ඒ අනුව, ඇමෙරිකා හමුදාවේ මැදිහත් වීමෙන්, නේටෝ රටවල හමුදා සහාය ඇතිව ඇෆ්ගන් වැසියන් දහස් ගණනක් ඇෆ්ගනිස්තානයෙන් ඉවත් කිරීම සිදුවිය. 
ඇමෙරිකන් හමුදා කාබුල් ගුවන්තොටුපොළේ ඉතිරි කර දමා ගිය 
හමුදා රථ, හෙලිකොප්ටර් සහ ගිනි අවි ඇතුළු යුද උපකරණ

කෙසේ නමුත් ඇෆ්ගනිස්තානයෙන් පිටවීමට උත්සාහ කළ නමුත් අසාර්ථක වූ ඇෆ්ගන් වැසියන් දහස් ගණනක් කාබුල් ගුවන්තොටුපොළ ඉදිරියේ දකින්න ලැබුණු බව විදෙස් පුවත් සේවා වාර්තා කළේය. 

ඇමෙරිකා හමුදා කාබුල් ගුවන්තොටුපොළෙන් පිටවී ගියේ ඔවුන්ගේ මිල අධික හමුදා උපකරණ බොහොමයක් ඉතිරි කරමිනි. ඒවා තලේබාන්වරුන් අතට පත්වුණු බව ද පැවැසෙයි. ඇමෙරිකන් හමුදා පිටව යෑමෙන් පසු තලේබාන්වරුන් කාබුල් ගුවන්තොටුපොළට පැමිණ ප්‍රීතිය පළ කරන්න වූහ.

ඇමෙරිකාව ප්‍රමුඛ විදෙස් හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී යද්දී දමා ගිය ගිනි අවි, රාත්‍රියට පෙනෙන ඇස්කණ්ණාඩි ඇතුළු යුදෝපකරණවලින් සමන්විත විශේෂ බලඇණියක් තලේබාන් සංවිධානය විසින් නිර්මාණය කරනු ලැබ ඇත. 
මෙම බලඇණිය බැලූ බැල්මටම තලේබාන් සටන්කාමීන් මෙන් නොව ඇමෙරිකන් හමුදා බලඇණියක් හා සමානය. මොවුන් හැදින්වෙන්නේ 'බද්‍රි 313' බලඇණිය යනුවෙනි. මේවනවිට කාබුල් ගුවන්තොටුපොළේ ආරක්ෂාව ඇත්තේ මොවුන්සතුවය.

෴ උපුටා ගැනීම - Daily Mail

Classified_Ad

Classified_Ad_News_Bottom