මෝදි එක්ක අයිස් ක්‍රීම් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Aug 12, 2021

මෝදි එක්ක අයිස් ක්‍රීම්

ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී ඉන්දියාව පදක්කම් 7 ක් දිනා ගැනීමට සමත් විය. ඒ, එක් රන් පදක්කමක්, රිදී පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කම් ආදී වශයෙනි. ඉන්දියාව නියෝජනය කරමින්, ලෝකඩ පදක්කම හිමිකර ගැනීමට සමත් වුණු බැඩ්මින්ටන් ශූරිය පී.වී. සින්දු ය. 

ලැබූ ජයග්‍රහණයත් සමඟ සින්දු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමඟ අයිස් ක්‍රීම් රස බැලීමට අවස්ථාවක් උදාවී ඇත. පී.වී. සින්දු අයිස් ක්‍රීම්වලට පමණක් නොව, ඉන්දියාවේ එක එක විදියේ කෑම වර්ගවලට ප්‍රිය කරයි. 'ටයිම්ස් ඔෆ් ඉන්දියා' පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින්, සින්දු පවසා ඇත්තේ තමන් උදෑසන ආහාරය ලෙස ප්‍රිය කරන්නේ දකුණු ඉන්දීය ආහාර බවත්, තෝසේ, වඩේ, ඉඩ්ලි කන්න ඇය ප්‍රිය කරන බවය. 

ඉන්දියාවේ විවිධ ප්‍රාන්තවල විවිධ රසැති අයිස් ක්‍රීම්වලට ද තමන් ප්‍රිය කරන බව ඇය පවසා ඇත. ජූලි 13 වැනිදා ටෝකියෝ බලා යෑමට සූදානමින් සිටි, ක්‍රීඩක ක්‍රීඩිකාවන් කණ්ඩායම සහ ආග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර සූම් තාක්ෂණය හමුවේ කතාබහක් පැවැත්විණි. ඒ, ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරි ගැන්වීමක් වශයෙනි. ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඔවුන්ගේ නිවෙස්වල සහ පුහුණුවීම් මධ්‍යස්ථානවල සිට අග්‍රාමාත්‍ය මෝදි සමඟ කතාවට වැටුණි. 

අග්‍රාමාත්‍ය මෝදි සහ සින්දු අතර සුහද කතාබහක් පැවැති අතර, ඔලිම්පික් සඳහා පුහුණුවීම් කෙරෙන ආකාරයත්, විදේශගතවීමෙන් පසු කැමැති දෙයක් කෑමට අවසර ලැබෙනවාද යන්න ගැනත් අග්‍රාමාත්‍ය මෝදි, සින්දුගෙන් විමසීමක් කළේය. ඊට පිළිතුරු දෙමින් සින්දු කීවේ, එසේ කැමැති දෙයක් කෑමට අවසර නොලැබෙන බවත්, ආහාර පාලනයක් දැන්ම තියා තමන් ආරම්භ කර ඇති බවත්ය. 

'මං අයිස් ක්‍රීම්වලට හරිම ආසයි. මට අයිස් ක්‍රීම්වත් කන්න ලැබෙන්නේ නැහැ' යැයි සින්දු පැවැසුවාය. 'ඔයා හොඳට තරග කරලා පදක්කමක් අරන් එන්න. අපි දෙන්නම එකතුවෙලා අයිස් ක්‍රීම් කමු.' යැයි අග්‍රාමාත්‍ය මෝදි ඊට පිළිතුරු දුන්නේය. මෙම සූම් වීඩියෝ කතාබහ ඉන්දීය මාධ්‍ය හරහා ද ප්‍රසිද්ධියට පත් විය. 

සින්දු ලෝකඩ පදක්කම දිනූ අවස්ථාවේ, ඉන්දීය මාධ්‍යවේදීහු සින්දුගේ පියා පී.වී.රාමණා වටකරගත්හ. දැන් අගමැති මෝදිට, සින්දු සමඟ අයිස් ක්‍රීම් කන්න වේවි නේද යැයි මාධ්‍යවේදීන් රාමණාගෙන් විමසූ අවස්ථාවේදී ඔහු ආඩම්බරයෙන් සිනාසුනා පමණි. 

පසුව ඔහු ට්විටර් පණිවුඩයක් හරහා කියා සිටියේ, ආග්‍රමාත්‍ය මෝදි සමඟ අයිස් ක්‍රීම් කෑමට තමන්ගේ දියණියට අවස්ථාවක් උදාවීම, ඇය ඉන්දියාව වෙනුවෙන් පදක්කමක් දිනා ගැනීම සේම තමන්ට ආඩම්බරයක් බවය.

෴ උපුටා ගැනීම - Times of India

Classified_Ad

Classified_Ad_News_Bottom