ටෝකියෝ ඔලිම්පික් පදක්කමේ කතාව - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Aug 3, 2021

ටෝකියෝ ඔලිම්පික් පදක්කමේ කතාව

'කොවිඩ් 19' වසංගතය හේතුවෙන් වසරක් ප්‍රමාද වූ '2020 ටෝකියෝ' ඔලිම්පික් උළෙල, පසුගිය ජූලි 23 වැනිදා ආරම්භ වුණු අතර, ලබන 8 තෙක් පැවැත්වෙයි. ඔලිම්පික් උළෙල ජපානයේ ටෝකියෝ අගනුවර කේන්ද්‍රකොට ගනිමින් පැවැත්තෙන්නේ කොරෝනා තර්ජන මැදය. 

ඔලිම්පික් උළෙල ආරම්භ වීමෙන් පසු, ටෝකියෝ අගනුවර කොරෝනා ආසාදිතයන් ඉතා වේගයෙන් වැඩිවීමට ද පටන් ගැනුණි. කොරෝනා වසංගතය හේතුවෙන් ටෝකියෝ ඔලිම්පික් තරග පැවැත්වෙන්නේ නරඹන්නන් නොමැතිවය. නරඹන්නන් නොමැතිව ඔලිම්පික් උළෙලක් පැවැත්වෙන්නේ ඉතිහාසයේ පළමු වරටය. 

ඔලිම්පික් උළෙලට සහභාගී වී, රන් පදක්කමක් දිනා ගැනීම තරම් හපන්කමක් හෝ අභිමානයක් හෝ තවත් නොමැත.ටෝකියෝ ඔලිම්පික් උළෙලේ ජයග්‍රාහී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පිරිනැමෙන රන්, රිදී සහ ලෝකඩ පදක්කම් පසුපස ඇත්තේ අපූරු කතාවකි. 

මේ පදක්කම් නිර්මාණය කිරීමට ඉවත දමන ජංගම දුරකතන යොදාගත් බව ඔබ දැන සිටියාද? ටෝකියෝ ඔලිම්පික් උළෙලේ පිරිනමන රන් පදක්කම්, සියයට 100 ක් රත්තරන්වලින් නිර්මාණය වූ ඒවා නොවෙයි. රන් පදක්කම්වල රත්තරන් ඇත්තේ සියයට 1.2 ක් පමණි. සියයට 98.8 ක රිදීය. ඒ අනුව, රාත්තල් 1.2 ක් බර රන් පදක්කමේ ඇත්තේ රත්තරන් ග්‍රෑම් 6.7 කි.

මීට පෙර 2016 වසරේ, බ්‍රසීලයේ රියෝ නුවර පැවැත්වුණු 'රියෝ ඔලිම්පික්' උළෙලේ පිරිනැමුනු රන් පදක්කම්වල රත්තරන් තිබුණේ ග්‍රෑම් 6 කි. 

 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ පිරිනැමූ පදක්කම් අතරින්, පදක්කමේ බරට සමාන අයුරින් නිර්මාණය වූ එකම පදක්කම රිදී පදක්කම පමණි. රිදී පදක්කම, සියයට සියයක්ම රිදීවලින් නිපදවා ඇත. බර අනුව නම්, රිදී පදක්කම ද රන් පදක්කමට සමානය. 

ඊට අමතරව, රත්තලක් බරින් යුත් ලෝකඩ පදක්කමේ ඇත්තේ තඹ සහ සින්ක් ය. ලෝකඩ පදක්කමේ ඇති තඹ ප්‍රමාණය සියයට 95 ක් වන අතර ඉතිරි සියයට 5 සින්ක් ය. 

ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා පදක්කම් නිපදවීමට, ජපන් බලධාරීන් ඉවත දමන ජංගම දුරකතන පමණක් නොව, ඉවත දමන ඉලෙක්ට්‍රොනික් උපාංග පවා භාවිතයට ගත් බව පැවැසෙයි. 

ඔලිම්පික් උළෙලේ පදක්කම් නිෂ්පාදනයට, ඔබ සතු භාවිතයට නොගන්නා ජංගම දුරකතන සහ ඉලෙක්ට්‍රොනික උපකරණ දෙන්නැයි බලධාරීන් කළ ඉල්ලීමට ජපන් වැසියන්ගෙන් යහපත් ප්‍රතිචාර ලැබුණි. 

ඒ අනුව, '2020 ටෝකියෝ පදක්කම් ව්‍යාපෘතිය' වෙනුවෙන් එක් රැස් කළ ඉවත දමන ඉලෙක්ට්‍රොනික් උපකරණ ගණන ටොන් 78,958 කි. ඊට ඇතුළත් ජංගම දුරකතන ගණන මිලියන 6.21 ක් විය. මේවා ජපානයේ නන්දෙසින් එක්රැස් කර ගැනුණි. 

ඉලෙක්ට්‍රොනික උපාංග අධික උෂ්ණත්වයක් යටතේ උණු කිරීමෙන් පසු ඒවා තුළ වූ ලෝහ වෙන් කර ගැනීම සිදුවිය. ඒ අනුව, එකතු කරගත් රත්තරන් ප්‍රමාණය රාත්තල් 70.5 (කිලෝ ග්‍රෑම් 32) කි. රිදී ප්‍රමාණය රාත්තල් 7,716 (කිලෝ ග්‍රෑම් 3,500) ක් වූ අතර ලෝකඩ ප්‍රමාණය රාත්තල් 4,850 (කිලෝ ග්‍රෑම් 2,200) කි. 

රත්තරන් ග්‍රෑම් 1 ක් ලබා ගැනීමට භාවිතා කළ ජංගම දුරකතන ගණන 40 ක් යැයි ද පැවැසෙයි. 

ඉවත දමන ජංගම දුරකතන ඇතුළු ඉලෙක්ට්‍රොනික උපකරණ යොදා ගනිමින්, ඒවායින් ලෝහ වෙන් කරගෙන ඔලිම්පික් ඉතිහාසයේ සියලුම පදක්කම් නිර්මාණය කළ පළමු අවස්ථාව ලෙස මෙම ටෝකියෝ ඔලිම්පික් උළෙල සැලකිය හැකිය.

කෙසේ නමුත්, 2016 රියෝ ඔලිම්පික් උළෙලේදී රිදී පදක්කම් පමණක් නිපදවීමට මෝටර් රථවල භාවිතයට නොගන්නා කොටස් සහ කණ්ණාඩි භාවිත කෙරුණු බව ද පැවැසෙයි. 

෴ උපුටා ගැනීම - බිස්නස් ඉන්සයිඩර්

Classified_Ad

Classified_Ad_News_Bottom