වූහාන් නුවරින් යළි ආසාදිතයන් හමුවෙලා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Aug 3, 2021

වූහාන් නුවරින් යළි ආසාදිතයන් හමුවෙලා

චීනයේ නගර 20 කින් සහ පළාත් 18 කින් මේ වනවිට 'කොවිඩ් 19 ඩෙල්ටා' ආසාදිතයන් හමුවී ඇතැයි චීන සෞඛ්‍ය අංශ පවසයි. 2019 දෙසැම්බරයේ 'කොවිඩ් 19' වසංගතය ආරම්භ වුණු වූහාන් නුවරින් ද මාස ගණනාවකට පසු මේ වනවිට 'ඩෙල්ටා' ආසාදිතයන් අට දෙනකු හමුවී ඇති බව ද සෞඛ්‍ය අංශ වැඩි දුරටත් කියා සිටී. 

පසුගිය සඳුදා (2) දිනයේ පමණක් චීනයෙන් දේශීයව හඳුනා ගත් කොරෝනා ආසාදිතයන් ගණන 55 කි. වූහාන් නුවර යළිත් වරක් වයිරස ව්‍යාප්තියට හේතුව සංක්‍රමණික සේවකයන් පිරිසක් බවත්, වයිරස ව්‍යාප්තිය ආරම්භ වී ඇත්තේ දුම්රිය ස්ථානයක් කේන්ද්‍රකොට ගනිමින් බවත් සිදු කළ විමර්ශනවලිවන් හඳුනාගෙන තිබේ. 

ආසාදිතයන් හමුවුණු නගර සහ පළාත් මුළුමනින්ම වසා දමා ඇති අතර, මිලියන ගණනක් චීන වැසියෝ මේ වනවිට එම නගර සහ පළාත්වල කොටුවී සිටිති. ලොක්ඩවුන් කෙරුණු නගරවල සියලු දෙනා පී.සී.ආර්. පරීක්ෂණවලට යොමු කරවන බව සෞඛ්‍ය අංශ පවසයි. ඒ සඳහා හමුදා සහාය ද ලබා ගැනෙයි. 

චීනයේ 'ඩෙල්ටා' ව්‍යාප්තිය ආරම්භ වූයේ නැංජිංග් නගරයේ ගුවන්තොටුපොළෙනි. මුල්ම ඩෙල්ටා ආසාදිත කොරෝනා රෝගීන් ලෙස හඳුනා ගැනීම සිදුවූයේ ගුවන්තොටුපොළේ පිරිසුදු කිරීමේ සේවිකාවන් පිරිසකි. නැංජිංග් නගරයෙන් ව්‍යාප්ත වුණු 'ඩෙල්ටා' විකෘතිය හේතුවෙන් මේ වනවිට, දින 10 ක් ඇතුළත චීනයෙන් වාර්තා වන නව දේශීය ආසාදිතයන් ගණන 360 කි. 

චීනයේ මේ අයුරින් ආසාදිතයන් ඉහළ යෑමට පටන් ගත්තේ පසුගිය ජූලි මාසයේය. මේ වනවිට බෙයිජීං අගනුවර කේන්ද්‍රකොට ගනිමින් ද නව ආසාදිතයන් හමුවීමට පටන්ගෙන තිබේ. සංචරණ සීමා පනවමින්, බෙයිජිං සෞඛ්‍ය අංශ නගර වැසියන්ට දන්වා ඇත්තේ හැකිතාක් නිවෙස්වලට වී සිටින ලෙසත්, PCR පරීක්ෂණ සිදු කරද්දී වහා ඊට සහභාගී වන ලෙසත්ය. චීනයේ එන්නත්කරණ වැඩසටහනක් සාර්ථක ලෙස ක්‍රියාත්මක වෙයි. 

කෙසේ නමුත් එන්නත් මාත්‍රා දෙකම නියමිත ප්‍රමාණයට ලබාගත් චීන වැසියන් කොපමණ සිටිනවාදැයි ලෝක සෞඛ්‍ය සංවිධානයට නිවැරදි තොරතුරු ලැබී නැති බව පැවැසෙයි. ලැබී ඇති තොරතුරු අනුව, එන්නත් මාත්‍රා බිලියන 1.6 ක් චීන රජය සහ සෞඛ්‍ය අංශ ජනතාවට ලබා දී අවසන්ය. චීන වැසියන්ට ප්‍රධාන වශයෙන් ලැබී ඇත්තේ 'සයිනෝෆාම්' සහ 'සිනොවැක්' යන එන්නත්ය.

෴ උපුටා ගැනීම - AFP

Classified_Ad

Classified_Ad_News_Bottom