චීන එන්නත්වලට සෞදියේ අනුමැතිය - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Aug 30, 2021

චීන එන්නත්වලට සෞදියේ අනුමැතිය

චීනයේ නිෂ්පාදිත 'සයිනෝෆාම්' සහ 'සිනොවැක්' එන්නත් ද හදිසි භාවිතයට සුදුසු යැයි සෞදි අරාබිය තීරණය කර ඇත. ඒ අනුව, 'ෆයිසර්', 'ජොන්සන් ඇන්ඩ් ජොන්සන්', 'මොඩර්නා' සහ 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා' එන්නත්වලට අමතරව ඉදිරියේ දී 'සයිනෝෆාම්' සහ 'සිනොවැක්' එන්නත් ද සෞදි වැසියන්ට හිමිවෙයි. 

'සයිනෝෆාම්' සහ 'සිනොවැක්' චීන රජයේ අනුග්‍රහය යටතේ නිපදවන ලද 'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නත්ය. මෙම එන්නත් දෙකම හදිසි භාවිතයට සුදුසු යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවා නිර්දේශ කර තිබේ. සෞදියේ එන්නත්කරණ කටයුතු සාර්ථකව සිදුවෙයි. අවුරුදු 12 ට වැඩි සියලු දෙනාට එන්නත් ලබා දීම සිදුවෙයි. අවුරුදු 12 ත් 18 ත් වයස් කාණ්ඩයේ දරුවන්ට ලබා දෙන්නේ 'ෆයිසර්' එන්නතය. 

ලොව රටවල් බොහොමයක අවුරුදු 12 ත් 18 ත් අතර වයස් කාණ්ඩයේ දරුවන්ට ලබා දෙන්නේ ද 'ෆයිසර්' එන්නතය. 'ෆයිසර්' එන්නත් මාත්‍රා දෙකම ලබා දීමෙන් පසු සෞදියේ උසස් පාසල් විවෘත කර ඇති බව ද වාර්තා වේ. සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයක් නොමැති දරුවන් පාසල් එවන මෙන් සෞදි අධ්‍යාපන බලධාරීන් සෞදි මාපියන්ට දැනුම් දී තිබේ. 

මේ වනවිට සෞදි අරාබියෙන් වාර්තා වන සමස්ත 'කොවිඩ් 19' ආසාදිතයන් ගණන 5,44,004 කි. සමස්ත මරණ වාර්තා වන්නේ, 8,532 ක් ලෙසය. 

'සයිනෝෆාම්' සහ 'සිනොවැක්' එන්නත් අතරින් ද රටවල් බොහොමයක භාවිතයට ගැනෙන්නේ 'සයිනෝෆාම්' එන්නතය. මෙම එන්නත සම්බන්ධයෙන් පළමුවෙන් අධ්‍යයනයක් කර එය සාර්ථක එන්නතක් බව තහවුරු කළේ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයයි. 

චීනය ද එරට වැසියන්ට මහා පරිමාණයෙන් 'සයිනෝෆාම්' එන්නත් ලබා දීම සිදු කළේ එක්සත් අරාබි එමිරේට්ස් වෛද්‍ය පර්යේෂකයන් ලබා දුන් නිර්දේශ අනුවය. 'සයිනෝෆාම්' එන්නත ගැන පුළුල් ලෙස අධ්‍යයනයක් කර එම අධ්‍යයන වාර්තා ලොවට ඉදිරිපත් කළ තවත් රටක් වන්නේ ශ්‍රී ලංකාවය.

෴ උපුටා ගැනීම - REUTERS

Classified_Ad