![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhKRAsPi64xS6xMgziAxysfL-LgMOjwdvXMnaHBHgR6rRiCjgmiBTbQJHcPrlwaOKn-qrPGC0cQxFfnoRbgUdukxgf1t9LtRmZuBInDcrvHwB1s4svVsojxk4C4sPN94kVdFtXF_cGFWNxE/s16000/2021-07-30T042616Z_821435647_SP1EH7U0CBN3C_RTRMADP_3_OLYMPICS-2020-ATH-W-100M-RND1.jpg)
ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහභාගී වී, තරග ජයක් හෝ පදක්කමක් හෝ නොලබා ජාත්‍යන්තරයේ අවධානයට ලක්වුණු ක්‍රීඩිකාවක වන්නේ ක්‍රිස්ටිනා ටිමෙනොව්ස්කායා ය. ක්‍රිස්ටිනා, බෙලරූස් ක්‍රීඩිකාවකි. ඇයට මේ වනවිට පෝලන්තයේ රැකවරණ ලැබී අවසන්ය. ඔස්ට්‍රියාව හරහා පෝලන්තය බලා පැමිණි ක්‍රිස්ටිනා ට මානුෂීය හේතූ මත පෝලන්ත රජයෙන් වීසා ද හිමිවිය.
බෙලරූස් ඔලිම්පික් කණ්ඩායම සමඟ, 24 හැවිරිදි ක්‍රිස්ටිනා ටිමෙනොව්ස්කායා ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහභාගී වූයේ මීටර් 200 ඉසව්ව වෙනුවෙනි. කෙසේ නමුත් ඔලිම්පික් උළෙලට සහභාගී වී සිටිද්දී, බෙලරූස් ඔලිම්පික් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු යූරි මොයිසෙවිච් සහ ක්‍රිස්ටිනාගේ පුහුණුකරු ආතර් ෂුමැක් බෙලරූස් ඔලිම්පික් නියෝජිත කණ්ඩායමේ තීරණයකට අනුව, ක්‍රිස්ටිනා මීටර් 4x400 කඩින් කඩ දිවීමේ තරගයට ඇතුළත් කෙරුණි.
ක්‍රිස්ටිනා ටිමෙනොව්ස්කායා, එම අවස්ථාවේදී සිය ඉන්ටග්‍රෑම් ගිණුම ඔස්සේ වීඩියෝ පණිවුඩයක් ප්‍රසිද්ධ කරමින් කියා සිටියේ, බෙලරූස් ඔලිම්පික් බලධාරීන් සහ පුහුණුකරුවන් තමන්ට කලින් නොදන්වා බලෙන් තමන් කිසිසේත් සූදානම් නොවුනු ක්‍රීඩා ඉසව්වකට ඇතුළත් කළ බවය.
ක්‍රිස්ටිනාගේ මෙම වීඩියෝව විදෙස් මාධ්‍ය ඔස්සේ ජාත්‍යන්තරයේ අවධානයට ලක් විය. ක්‍රිස්ටිනා ඉන්ටග්‍රෑම් වීඩියෝ හරහා පුහුණුකරුවන් දැඩි ලෙස විවේචනය කළ බැවින්, බෙලරූස් ඔලිම්පික් නියෝජිතයන් තීරණය කළේ වහා ඇය ආපසු බෙලරූසයට ගෙන්වා ගැනීමටය.
ඒ අනුව, මීටර් 200 ක්‍රීඩා ඉසව්වට ද සහභාගී වීමට ඉඩ නොදී, බලෙන්ම ගුවන් යානයකින් ක්‍රිස්ටිනා යළි බෙලරූසයට රැගෙන යෑමට බෙලරූස් බලධාරීන් සූදානම් විය. එම අවස්ථාවේ, බෙලරූසයේ සිටින ක්‍රිස්ටිනාගේ මිත්තණිය ක්‍රිස්ටිනාට ඇමතුමක් දී පවසා ඇත්තේ ආපසු බෙලරූසයට පැමිණීම අනතුරුදායක බවත්, ක්‍රිස්ටිනාට සිරදඩුවම් විඳීමට පවා සිදුවනු ඇති බවත්ය.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhLXAClwOcMCL_bL4_E7AbNPm7jHGDFpkmMfi2m9abi_gQT1eED6iruh6XSTnjuj8NWxhS2RfwVayW9aVHeXDFTd4vcBHXDXHtQZhP_VfN1S0PRjgVsHhEwju-7bc3iuxyT994-Pp_wOpig/s16000/_119689502_069048423.jpg)
ජපාන පොලිසියේ ආරක්ෂාව ලැබුණු අයුරු ...
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjgy8cV6tr4jCjV1cycuAp_iL1wDABkwZQz-zqCZH9nSDJRGLF-CmII1Mzb9vvHyztF9URoPVXp2tl3osf_jYa5ARlg7VPFKRUbTuH8uTdm3jHfcZSer4F5MEvmKKFvNWgSx7M0QR28_DmS/s16000/2021-08-01T122412Z_586651095_RC2BWO9Y3V0O_RTRMADP_3_OLYMPICS-2020-BELARUS.jpg)
ඒ අනුව, තමන්ට උදවු කරන්නැයි ක්‍රිස්ටිනා ජපාන පොලිසියෙන් ඉල්ලීමක් කළාය. ක්‍රිස්ටිනාට පිහිටවීමට ටෝකියෝ පෝලන්ත තානාපති කාර්යාලය ඉදිරිපත් විය. දේශපාලන පළිගැනීම් හේතුවෙන් බෙලරූසයෙන් පලා ගොස් මානුෂීය වීසා මත එරට රැදී සිටින බෙලරූස් විපක්ෂ දේශපාලන ක්‍රියාකාරීන්ගේ සහාය සහ අනුග්‍රහය මෙම අවස්ථාවේදී ක්‍රිස්ටිනාට හිමිවුණු බව ද පැවැසෙයි.
ක්‍රිස්ටිනා දින දෙකක් ටෝකියෝ නුවර පෝලන්ත තානාපති කාර්යාලයේ ආරක්ෂාව ලබා ගනිමින් එහි රැඳී සිටි අතර, පසුව ඔස්ට්‍රියාවේ වියානා නුවර හරහා පෝලන්තයේ වෝසෝ අගනුවර බලාපැමිණියාය. ඇයට සෘජුව වෝසෝ බලා පැමිණීමට නොහැකි වූයේ ගුවන් යානා අසුනක් හදිසියේ වෙන් කර දීමට ටෝකියෝ නුවර පෝලන්ත තානාපති නිලධාරීන්ට නොහැකි වුණු බැවින් යැයි මාධ්‍ය වාර්තා කර තිබේ.
ක්‍රිස්ටිනා ටිමෙනොව්ස්කායා විවාහ වී සිටින්නේ ක්‍රීඩා පුහුණුකරුවකු වන අර්සේනී සෙඩැනෙවිච් සමඟය. ටෝකියෝ ඔලිම්පික් උළෙලට ගිය තම බිරිඳ, බෙලරූස් නිලධාරීන් සමඟ අර්බුදයක් ඇතිකරගත් බව ආරංචි වූ සැණින්, අර්සේනී සෙඩැනෙවිච් යුක්රේනය බලා පිටව ගියේය. පසුව පෝලන්තය ඔහුට ද මානුෂීය හේතුමත වීසා නිකුත් කෙරුණු අතර ඔහු මේ වනවිට වෝසෝ නුවරට පැමිණ තිබේ. වෝසෝ නුවර ක්‍රීඩා මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම තම අරමුණ යැයි ක්‍රිස්ටිනා සහ අර්සේනී පසුව මාධ්‍ය හමුවේ පවසා තිබේ.
බෙලරූස් විපක්ෂ ක්‍රියාකාරීන් පමණක් නොව, බෙලරූස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝගේ උදහසට ලක්වුණු බොහෝ දෙනකු මානුෂීය වීසා මත බෙලරූසයෙන් පලාගොස් ජීවත් වන්නේ පෝලන්තයේය.
ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ බෙලරූසයේ ජනාධිපති ධුරය හොබවන්නේ 1994 වසරේ සිටය. අවසන් වරට පැවැති ජනාධිපතිවරණයෙන් ද ලුකෂෙන්කෝ සියයට 90 කට වඩා ඡන්ද ප්‍රතිශතයක් හිමිකරගත්තේය.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjcUzP0e8ocRL4Jd1GBFE_xVUGHEK7K0_-ugD8frxrQBE240I7R6jnyfboAGJwTSvqUAnCTHYPFhXf8FjXw61LdmtZPeCMmycMNYlaAaKF6QLebu4-V7rUVkQneWQN56IWoKBE3IQABMVcj/s16000/bf4a5fb9-1dc2-4670-b2fa-6eac05a46ec9.jpg)
ලුකෂෙන්කෝගේ රජය, බෙලරූස් විපක්ෂ දේශපාලන නායකයන් සහ ක්‍රියාකාරීන් දැඩි ලෙස මර්දනයට ලක් කර තිබේ. බොහෝ විපක්ෂ ක්‍රියාකාරීන්ට සිරදඩුවම් ලබා දී ඇත. ක්‍රිස්ටිනා ටිමෙනොව්ස්කායාගේ සිදුවීමත් සමඟ යුරෝපා රටවල් බොහොමයකින් ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ අප්‍රසාදය වර්ධනය විය.
ක්‍රිස්ටිනා ටිමෙනොව්ස්කායා සම්බන්ධයෙන් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විශේෂ විමර්ශනයක් ආරම්භ කෙරුණි. ඇයට ටෝකියෝ පොලිසියේ ආරක්ෂාව ලැබුණේත්, ටෝකියෝ තානාපති කාර්යාලයටත් පසුව පෝලන්තය බලා පැමිණීමට අවස්ථාවක් උදා වූයේත් ඒ නිසාය.
ක්‍රිස්ටිනාට අසාධාරණයක් සිදුවුණු බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව පවසා තිබේ. බෙලරූස් ඔලිම්පික් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු යූරි මොයිසෙවිච් සහ ක්‍රිස්ටිනාගේ පුහුණුකරු ආතර් ෂුමැක්ට යළි ඔලිම්පික් උළෙලකට සහභාගී වීමට ඉඩ ලබා නොදීමට ද ඔලිම්පික් කමිටුව තීරණය කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiCi0kTlFUyfEDlFob0-NfSfh2vq3XFZvaOatMPjDPjk8x_omz1yjqQiNJ-T1hDJ9CYYPpCEQTcdkkjByhmVsLgNIXV5cgWDnx-AZFPnZzPaqTOjc_wlZ_C0SOXnyNzs0ZEozekw3d67FDb/s16000/summer-universiade-atheletics-in-napoli-italy-11-jul-2019-752x501.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjLDEQc1VRGFtoAxAZhuS6C49KI0Jm-CQ-UcRV2hbbykH4KeNUuB6XwyqNmOBvwDRtCmz2-FkQGwF72MVrey0N8VOECDEscdPTiLfrHhBZsgfLMtl66uzuPG61B1xGUCMVi9EgIo4j6-HZK/s16000/E77LRwkWEAIPnSb.jpg)
ක්‍රිස්ටිනා ටිමෙනොව්ස්කායා දිගින් දිගටම පවසා ඇත්තේ තමන් දේශපාලනයට සම්බන්ධ අයකු නොවන බවත්, ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ ප්‍රමුඛ රජයට හෝ බෙලරූසයට ද්‍රෝහියකු නොවන බවත්ය.
ඔලිම්පික් උළෙලේදී තමන්ට බලපෑම් එල්ල වුණු බවත්, තමන් ඊට විරෝධය දැක්වූ නිසා තමන් සහභාගී වීමට සූදානමින් සිටි ක්‍රීඩා ඉසව්ව පවා බලධාරීන් තමන්ගෙන් උදුරා ගත් බවත් ඇය වෝසෝ නුවර පැවැති මාධ්‍ය හමුවකදී පැහැදිලි කළාය.
මේ අතර, බෙලරූස් ඔලිම්පික් පුහුණුකරුවන්ගේ කණ්ඩායම පවසා ඇත්තේ, ඔවුන් ක්‍රිස්ටිනා ටිමෙනොව්ස්කායා ආපසු බෙලරූසයට යැවීමට කටයුතු කළේ ඇගේ මානසික තත්ත්වය දුර්වල මට්ටමක පැවැති නිසා බවය.
෴ උපුටා ගැනීම - CNN