පිහි ප්‍රහාරකයාගේ පැටිකිරිය - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Sep 5, 2021

පිහි ප්‍රහාරකයාගේ පැටිකිරිය

තවමත් ලොව බිහිසුණු ත්‍රස්ත සංවිධානයක් ලෙස සැලකෙන 'අයි.එස්.අයි.එස්.' සංවිධානය පසුගිය දා යළි කරළියට පැමිණියේ, අවාසනාවන්ත ලෙස ශ්‍රී ලංකාවේ කීර්ති නාමයට ද හානි කරමිනි. 

පසුගිය 3 වැනිදා නවසිලන්තයේ ඕක්ලන්ඩ් නුවර සුපිරි වෙළෙඳ සංකීර්ණයට කඩා වැදී පිහි ප්‍රහාරය එල්ල කළ 32 හැවිරිදි තරුණයා ශ්‍රී ලංකිකයෙකි. එම ප්‍රහාරයෙන් පසු නවසීලන්තයේ ත්‍රස්තවාදී සැකකරුවන් සම්බන්ධයෙන් ඔවුන් අත්අඩංගුවට ගැනීමත්, ඔවුන් බන්ධනාගාරගත කිරීමත් සම්බන්ධයෙන් පවතින නීති දැඩි කිරීමටත්, නව නීති හඳුන්වා දීමටත් අග්‍රාමාත්‍ය ජැසෙන්ඩා එර්ඩන් ප්‍රතිඥා දුන්නාය. 

 ප්‍රහාරය සිදු කළ අහමඩ් ආතිල් මොහොමඩ් සම්සුදීන් නමැති ශ්‍රී ලාංකික දෙමළ මුස්ලිම් තරුණයා නවසීලන්තයට පැමිණ ඇත්තේ 2013 වසරේ දී ශිෂ්‍ය වීසා මතය. සරණාගතයකු ලෙස ඔහු නවසීලන්තයේ පුරවැසිභාවය ඉල්ලූ අතර, 2011 දී ඒ සඳහා අවසර හිමිවිය. 
සම්සුදීන් ගැන නවසීලන්ත බුද්ධි සහ ආරක්ෂක අංශ අවධානය යොමු කළේ 2016 වසරේදීය. ඒ, අයි.එස්.අයි.එස් ත්‍රස්ත සංවිධානයට සහාය පළ කරමින්, ඔවුන්ගේ මතවාද අනුගමනය කරමින්, ෆේස්බුක් හරහා ප්‍රචණ්ඩකාරී අන්තවාදය ප්‍රචලිත කිරීමත් සමඟය. 

පොලිස් නිලධාරීන් අවස්ථා දෙකක් දී සම්සුදීන් හමුවී, අන්තවාදී අදහස් ප්‍රචලිත කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්න කළේය. එහෙත්, අයි.එස්.අයි.එස්. මතවාද අනුව යමින්, සමාජ මාධ්‍ය හරහා අන්තවාදී අදහස් ප්‍රචලිත කිරීම සම්සුදීන් නැවැත්වූයේ නැත. 

 2017 දී සිරියාව බලා යෑමට ගුවන්තොටුපොළට ගිය අවස්ථාවේදී ආරක්ෂක අංශ සම්සුදීන් අත්අඩංගුවට ගත්තේය. ඔහු සිරියාවට යෑමට උත්සාහ කළ බවත් අයි.එස්.අයි.එස්. සංවිධානයට එක්වීමට සූදානමින් සිටි බවත් බුද්ධි අංශ පැවැසීය. 

එම අවස්ථාවේදී පොලිසිය කළ සෝදිසි කිරීම්වලදී සම්සුදීන් සන්තකයේ තිබී දඩයම් පිහියක් සොයා ගැණින. ඔහුගේ පරිගණකයේ තිබී අයි.එස්. ත්‍රස්ත සංවිධානයේ වීඩියෝ දසුන් හමුවිය. සම්සුදීන් අයි.එස්.අයි.එස්. සංවිධානයේ කටයුතු පිළිබඳ බෙහෙවින් උනන්දුවක් දැක්වූ අයකු බව තවත් තහවුරු විය. 

එසේ වුවත්, ත්‍රස්ත සැකකරුවන් සම්බන්ධයෙන් පවතින නීතිරීති ලිහිල් බැවින්, සම්සුදීන් ඇප මත මුදා හැරුණි. 2018 දී සම්සුදීන් තවත් දඩයම් පිහියක් මිලදී ගත්තේය. අයි.එස්.අයි.එස් හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානයේ කටයුතු ඇතුළත් වීඩියෝ ඔහු එකතු කරන්න පටන් ගත්තේය. 

ඇප කොන්දේසි උල්ලංගනය කළැයි පොලිසිය ඔහු අත්අඩංගුවට ගත් අතර තෙවසරක සිර දඩුවමක් හිමිවිය. පසුගිය මැයි මාසයේ ජූරි සභාවක් හමුවේ, නව චෝදනා කීපයක් සම්බන්ධයෙන්, සම්සුදීන් වරදකරු විය. එම නව චෝදනා ගොනු කර තිබුණේ සම්සුදීන් සන්තකයේ තිබී හමුවුණු අයි.එස්.අයි.එස් හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය සම්බන්ධ වීඩියෝ දසුන් අනුවය. 

අයි.එස්. ධජයක් ඇතැති අයි.එස්. ත්‍රස්තවාදීන් ස්වංක්‍රීය ගිනි අවිවලින් සන්නද්ධ වී සිටින අයුරු එම වීඩියෝ දසුන්වල අන්තර්ගත විය. කෙසේ නමුත්, වීඩියෝ දසුන්වලින් ප්‍රචණ්ඩත්වයට අනුබල දීමක් හෝ පුද්ගල ඝාතන ආදී ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවන ආකාරයක් හෝ දකින්න නොලැබුණි. 

වීඩියෝ දසුන් පුරා අසන්න ලැබෙන්නේ, අරාබි භාෂාවෙන් ගායනා කරන ආගමික ගීතිකා ය. දෙවියන් වහන්සේ උදෙසා ඝාතනය කිරීමෙන් යුධ පිටියේදී දිවි පිදූවන් වර්ණනා කරන ආකාරය එයින් කියැවෙයි. මහාධිකරණ විනිසුරුවරිය සැලී ෆිට්ස්ගර්ලන්ඩ්ගේ අවධානය මේ සඳහා යොමු විය. 

සම්මුදීන් හුදෙකලා දිවි ගෙවූ, දැඩි අන්තවාදී ආකල්ප ඇති, සමාජයට අනතුරක් කළ හැකි ආකාරයේ අයකු යැයි එක් අධිකරණ වාර්තාවක දැක්විණි. එසේ වුවත්, ත්‍රස්ත සැකකරුවන්ට දඩුවම් කිරීමට අදාලව නීතියේ පවතින 'හිඩැස්'වලින් රිංගා යෑමට සම්මුදීන් ට හැකියාව ලැබුණි. මහාධිකරණ විනිසුරු සැලී ෆිට්ස්ගර්ලන්ඩ් ඔහු මුදා හැරීමට තීරණය කළාය. ඒ, සම්මුදීන් පරිවාස භාරයට පත් කරමින් සහ ඕක්ලන්ඩ් මුස්ලිම් පල්ලියේ අධීක්ෂණය යටතේ සිටිය යුතු බව පවසමිනි. 

ඕක්ලන්ඩ් මුස්ලිම් පල්ලියේ ආගමික නායකයකු සම්මුදීන් අන්තවාදී අදහස්වලින් බැහැරව 'යහ මඟට' ගැනීමට හැකි යැයි අධිකරණය හමුවේ කරුණු දක්වා තිබුණි. සම්මුදීන් අහම්බෙන් අයි.එස්. සංවිධානයේ වීඩියෝ නැරඹූ බවත්, ඔහු අරාබි බස ඉගෙන ගැනීමේ ආසාවෙන් වීඩියෝ ළඟ තබා ගෙන සිටි බවත් සම්මුදීන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට කරුණු දැක්වූ නමුත් මහාධිකරණ විනිසුරුවරිය එය තරයේ ප්‍රතික්ෂේප කර තිබුණි. 

විනිසුරුවරිය සම්මුදීන් ට නිදහස ලබා දීමට තීරණය කළේ, දැඩි කොන්දේසි පනවමිනි. කිසිදු ආකාරයකට කිසිදු උපාංගයකින් සම්මුදීන් ට අන්තර්ජාලයට පිවිසීම තහනම් කෙරුණි. යළි අන්තර් ජාලයට පිවිස සහ සමාජ මාධ්‍ය ගිණුම් භාවිතයට ගැනීමට නම්, සම්මුදීන් ට පරිවාස නිලධාරියා හරහා ලිපියක් ඉදිරිපත් කළ යුතු විය. සම්මුදීන් නිදහස ලැබුවේ පසුගිය ජූලි මාසයේය. 

නිදහස ලබා දින 53 ක් ගත විය. එම කාලයේ, පැය 24 පුරාවට විශේෂ පොලිස් කණ්ඩායමක්, සම්මුදීන් ට හොරා ඔහු ගැන ඇස ගසාගෙන සිටියේය. මෙම පොලිස් කණ්ඩායම පොලිස් නිලධාරීන් 30 දෙනකු අයත් විය. සම්මුදීන් කුමක් හෝ දරුණු අපරාධයක් සිදු කරනු ඇතැයි ඔවුහු සැක කළහ. පසුගිය 3 වැනිදා ඒ සැකය තහවුරු විය. සම්මුදීන්, ඕක්ලන්ඩ් ග්‍රීන් ඒඩන් මුස්ලිම් පල්ලියේ සිට දුම්රියෙන් නිව්ලින් 'කවුන්ට්ඩවුන්' සුපිරි වෙළෙඳ සංකීර්ණයට පැමිණියේය. 

සුපිරි වෙළෙඳ සංකීර්ණයට ඇතුළු වී, විකිණීමට තබා තිබුණු පිහියක් ගෙන වියරු වැටී දකින දකින සැමට අනින්න විය. වෙළෙඳ සංකීර්ණයේ සිටි සේවකයකු ඇතුළු පසු දෙනෙකුට ඔහු පිහියෙන් ඇන්නේය. පිහි ප්‍රහාරයට ලක් වුණු ළාබාලතම තැනැත්තා 29 හැවිරිදි කාන්තාවකි. වයස්ගතම තැනැත්තා 77 හැවිරිදි වැඩිහිටියෙකි.

තත්ත්පර 60 ක් වැනි කෙටි කාලයකදී සම්මුදීන් පසුපස පැමිණි පොලිසි නිලධාරීන් වහා ක්‍රියාත්මක වී, සම්මුදීන් යටත් කර ගැනීමට උත්සාහ කළත් එය අසාර්ථක විය. පොලිසිය කළ වෙඩි තැබීමෙන් සම්මුදීන් එම ස්ථානයේදීම මියගියේය. පොලිස් නිලධාරීන් 10 වතාවක් සම්මුදීන්ට වෙඩි තැබූ බව පැවැසෙයි. ඒ බව අනාවරණය වූයේ වෙළෙඳසැලේ සිටි අයකු එම ත්‍රාසජනක සිද්ධිය ජංගම දුරකතනයෙන් රූගත කළ බැවිනි. 

 ප්‍රහාරයෙන් පසු ඉකුත් 4 වැනිදා, සම්සුදීන්ගේ පවුලේ සාමාජිකයන් වෙනුවෙන් ඔහුගේ සොහොයුරු අරූස් මාධ්‍ය හමුවේ කියා සිටියේ, ප්‍රහාරයෙන් තුවාල ලැබූ සියලු දෙනා වෙනුවෙන් තමන් සොව පළ කරන බවත්, තම සොයුරා සම්සුදීන් දැඩි මානසික සෞඛ්‍ය ගැටලු රැසකින් පෙළෙමින් සිටි අයකු බවත්ය.

සම්සුදීන් ෆේස්බුක් හරහා මිතුරන් ආකර්ශණය කර ගැනීමේ අරමුණින්, විවිධාකරයේ අදහස් ප්‍රසිද්ධ කළ බවත් අරූස් පැවැසීය. සම්සුදීන් නිසි මාර්ගයට ගැනීමට තමන් නොකළ දෙයක් නොමැති බව ද අරූස් පැවැසුවේ ඉතා හැඟීම්බරවය.

'අප කාගේත් බලාපොරොත්තුව වුණේ වැරදි අවබෝධ කරගෙන ආතිල් (සම්සුදීන්) යළි අප වෙත ඒවි කියලයි. ඒත් එහෙම වුණේ නැහැ. ඔහු ගියේ වැරදි මාර්ගයක. ඔහු නිවැරදි මාර්ගයට ගන්න අප උත්සාහ කළා මදි. ඒ ගැන අප පසු තැවෙනවා' යැයි සොහොයුරු අරූස් මාධ්‍ය හමුවේ වැඩි දුරටත් පවසා ඇත. 

෴ උපුටා ගැනීම - AP

Classified_Ad

Classified_Ad_News_Bottom