බාලිකා අධ්‍යාපනයට කඩිනමින් අවසර දෙනවා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Oct 20, 2021

බාලිකා අධ්‍යාපනයට කඩිනමින් අවසර දෙනවා

ඇෆ්ගනිස්තානයේ බාලිකා අධ්‍යාපනයට කඩිනමින් අවසර දෙන බවත්, බාලිකා පාසල්වල ද්විතීක ශ්‍රේණි කඩිනමින් ආරම්භ කරන බවත් ඇෆ්ගන් තලේබාන් රජය ප්‍රතිඥා දී තිබේ. 

ඇෆ්ගන් අභ්‍යන්තර කටයුතු අමත්‍යාංශංගේ ප්‍රකාශක, තලේබාන් සාමාජික සහීද් කොස්ටි මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ බාලිකා ද්විතීක ශ්‍රේණි ආරම්භ වන දිනය ඇෆ්ගන් අධ්‍යාපන අමත්‍යාංශය තීරණය කරනු ඇති බවය. 

ඇෆ්ගන් තලේබාන්වරුන්ගේ ෂරියා නීතියට අනුව, බාලිකා අධ්‍යාපනය තහනම් වෙයි. කාන්තාවන්ගේ මූලික අයිතිවාසිකම්වලට ද තහංචි පැනවෙයි. බාලිකාවන්ට අධ්‍යාපනය ලැබීම කළ නොහැකි අතර කාන්තාවන්ට රැකියාවල නියැලීමට අවසර ලැබෙන්නේ නැත. 

ඇමෙරිකා ප්‍රමුඛ නේටෝ හමුදා ඇෆ්ගනිස්තානය අතහැර යෑමත් සමඟ ඇෆ්ගන් තලේබාන්වරුන් එරට බලය අල්ලා ගනිමින්, නව රජයක් පිහිටුවීය. ඒ බටහිර අනුග්‍රහයෙන් පිහිටුවා තිබූ ඇෆ්ගන් රජය පෙරළා දමමිනි. 

බටහිර අනුග්‍රහය ලැබූ ඇෆ්ගන් රජය යටතේ බාලිකා අධ්‍යාපනයටත් කාන්තා නිදහසටත් විශේෂ අවධානයක් යොමු විය. බාලිකා පාසල් පිහිටුවීය. ඇෆ්ගන් සමාජයේ කාන්තාවන්ට ඉහළ පිළිගැනීමක් හිමිවී තිබුණි.

තලේබාන්වරුන් යළි බලය අල්ලා ගැනීමත් සමඟ ඒ සියල්ල වෙනස් විය. තමන් බාලිකා අධ්‍යාපනයට අවසර දෙන බවත්, කාන්තා නිදහසට ගරු කරන බවත් තලේබාන් රජය පැවැසූ නමුත්, ඇෆ්ගන් තලේබාන් රජය යටතේ එවැන්නක් සිදු නොවන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා චෝදනා නගා තිබේ. 

 ඇෆ්ගන් තලේබාන් රජය යටතේ මේ වනවිට පිරිමි ළමයින් සඳහා සියලුම ශ්‍රේණි ආරම්භ වී තිබේ. බාලිකා පාසල්වල ආරම්භ වී ඇත්තේ ප්‍රාථමික ශ්‍රේණි පමණි. ද්විතීක ශ්‍රේණිවල අධායාපනය ලැබූ දැරියන්ට සහ අධ්‍යාපනය ලබා දුන් ගුරුවරියන්ට නිවෙස්වල රැදෙන්නැයි තලේබාන් රජය නියෝග කර ඇත. මේ සම්බන්ධයෙන් දිගින් දිගටම ජාත්‍යන්තරයෙන් විරෝධයක් එල්ල විය. 

බාලිකා ද්විතීක අධ්‍යාපනය නැවැත්වීමට තමන්ට සිදුවූයේ ද්විතීක ශ්‍රේණිවල දැරියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් බවත්, ඔවුන්ට ආරක්ෂිතව අධ්‍යාපනය ලැබීමට සුදුසු වාතාවරණයක් නිර්මාණය වුණු සැණින් ද්විතීක ශ්‍රේණි යළි ආරම්භ කරන බවයත්ය. ඇෆ්ගන් තලේබාන්වරුන් උත්සාහ ගන්නේ බටහිර රටවල් සමඟ දිගටම සහයෝගයෙන් කටයුතු කිරීමටත්, ඇෆ්ගනිස්තානය ලෝකයට විවෘත කිරීමටත්ය. 

කෙසේ නමුත් තවමත් ඊට බාධා පවතී. ඇෆ්ගනිස්තානයේ සංවර්ධන කටයුතුවලට දායක වීමට චීනය සූදානමින් සිටින නමුත් චීනය පවසා ඇත්තේ ඇෆ්ගන් තලේබාන් රජය ස්ථාවර රජයක් බව නොපෙනෙන බවය.

෴ උපුටා ගැනීම - Al Jazeera

Classified_Ad

Classified_Ad_News_Bottom