ග්‍රහක පොකුරේ රහස් සොයන්න ගිය 'ලුසී' - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Oct 24, 2021

ග්‍රහක පොකුරේ රහස් සොයන්න ගිය 'ලුසී'

අප සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහයා බෘහස්පතිය. බෘහස්පති වටා ග්‍රහකවලින් සැදුම්ලත් ග්‍රහක පොකුරු ඇත. මෙයින් ග්‍රහක 7 ක් කෙරෙහි නාසා විද්‍යාඥයන්ගේ විශේෂ අවධානය යොමු වී තිබේ. ඒ, මුලින්ම ඒවා හඳුනාගත් අවස්ථාවේ සිටය. 

මේ ග්‍රහක පොකුර 'ට්‍රෝජන්ස්' යනුවෙන් නම් කර ඇති අතර, දැන් ඒවා ගවේෂණය කරමින් ඒවායේ සැඟවුණු රහස් සෙවීමට ඇමෙරිකාවේ නාසා ආයතනය රොබෝ ගවේෂණ යානයක් යවා ඇත. මේ යානයේ නම 'ලුසී' ය. 

නාසා විද්‍යාඥයන් 'ලුසී' හඳුන්වන්නේ 'ග්‍රහක පුරාවිද්‍යාඥයා' යන නමිනි. පසුගිය ඔක්තෝබර් 16 වැනිදා, අලුයම 5.34 ට 'ඇට්ලස් වී' අධිබලැති රොකට්ටුවක ආධාරයෙන් 'ලුසී' පෘථිවි කක්ෂයට තල්ලු කිරීම සිදුවුණු අතර, රොකට්ටුවෙන් වෙන් වුණු 'ලුසී' තනිවම බෘහස්පති බලා ගමන් ආරම්භ කළේය. 

'ලුසී' මෙහෙයුමට වසර 12 ක් ගතවනු ඇති බව ද පැවැසෙයි. නාසා විද්‍යාඥයන්ට අනුව, 'ට්‍රෝජන්ස්' ග්‍රහක පොකුරට අයත් වන්නේ බෘහස්පති ග්‍රහයා මෙන්ම අප සෞරග්‍රහ මණ්ඩලය ද නිර්මාණය වීමේදී සිදුවුණු පිපිරීම් සහ හැලහැප්පීම් නිසා කැබැලි වුණු කොටස්ය. 

මේවා ගවේෂණයෙන්, විශ්වයේ රහස් අනාවරණය කර ගැනීමට විද්‍යාඥයෝ බලාපොරොත්තු වෙති. බෘහස්පති සෞරග්‍රහ මණ්ඩලයේ දැවැන්තයා වූයේ කෙසේදැයි යන්න අනාවරණය කර ගැනීම ද 'ලුසී'ගේ අරමුණක් බව පැවැසෙයි. 

මෙම රොබෝ 'ලුසී' යනුවෙන් නම් කර ඇත්තේ පැරණිතම මානවයා 'ලුසී' සිහිගන්වමිනි. 'ලුසී' යනු 1974 වසරේ දී පුරා විද්‍යාඥ ඩොනල්ඩ් ජොන්සන් විසින් සොයා ගත් වසර මිලියන 3.2 ක් පැරැණි මානව ඇටසැකිල්ලය. මනුෂ්‍යයාගේ ආදීතම මුතුන් මිත්තණිය ලෙස 'ලුසී' සැලකෙයි. 

මානව පරිණාමයේ වැදගත් රහස් රැසක් අනාවරණය කර දීමට 'ලුසී'ට හැකි වී තිබේ. ඒ අනුව, අප ආදීතම මුතුන් මිත්තණිය 'ලුසී' ට කරන ගෞරවයක් ලෙස මෙම රොබෝ ගවේෂණ යානය 'ලුසී' ලෙස නම් කළ බව නාසා ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 

යෝධ සූර්ය පැනල දෙකකින් සමන්විත 'ලුසී' රොබෝ යානයේ විශ්කම්භය මීටර් 7.3 ක් වන අතර, උස මීටර් 13 කි. 'ලුසී'ගේ බර කිලෝ ග්‍රෑම් 1,500 කි. මෙය නිපදවීමට නාසා ආයතනයට ඇමෙරිකන් ඩොලර් මිලියන 981 ක් වැය වී ඇත.

෴ ලුසිත ජයමාන්න - Daily Mail ඇසුරිනි

Classified_Ad

Classified_Ad_News_Bottom