ඩෙල්ටා ප්ලස් බිහිසුණුයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Oct 21, 2021

ඩෙල්ටා ප්ලස් බිහිසුණුයි

අප රටේ ආසාදිතයන් සහ මරණ අඩුවක් පෙන්නුම් කළ ද 'කොවිඩ් 19' වසංගතය තවමත් අවසන් නැති බව සිහියට ගත යුතුය. 'කොවිඩ් 19' වසංගතය ලේසියෙන් පහව යන්නේ නැත. කළ යුත්තේ නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම සහ කඩිනමින් එන්නත් ලබා ගැනීමය. එය අපේ වගකීම සහ යුතුකමය. 

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වාර්තා අනුව, පසුගිය කාලයේ ශ්‍රී ලංකාවෙන් හමුවූ කොවිඩ් ආසාදිතයන්ගෙන් 95% ක්ම ඩෙල්ටා ආසාදිතයන්ය. ආසාදිතයන් සහ මරණ වැඩිවූයේ 'ඩෙල්ටා' නිසාය. 'ඩෙල්ටා' ඔබ බියට පත් කළේ නම්, 'ඩෙල්ටා ප්ලස්' ගැන ඔබ බිය විය යුත්තේ කෙසේදැයි පැහැදිලි කිරීමට වචන නැත. 'ඩෙල්ටා ප්ලස්' මේ වනවිට ලොව කැලැඹීම ආරම්භ කර තිබේ. 

ඒ, 2020 දෙසැම්බර් මාසයයි. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් අසීරු තත්ත්වයකට මුහුණ පා සිටියේය. ඒ වනවිට මහා බ්‍රිතාන්‍යය 'කොවිඩ් 19' වසංගතයෙන් දරුණු ලෙස බැට කන්න විය. රෝහල් ධාරිතාව පිරී ගොස් තිබුණි. අකමැත්තෙන් වුවත්, සෞඛ්‍ය උපදෙස් අනුව, අග්‍රාමාත්‍යවරයාට 'අපකීර්තිමත්' තීරණයක් ගැනීමට සිදුවී තිබුණි. එමගින් තම ජනප්‍රියත්වයට එල්ල වන බලපෑම හොඳින් වටහා ගනිමින් ඔහු එම තීරණය ගත්තේය. අග්‍රාමාත්‍ය ජොන්සන්, මිලියන ගණනක් බ්‍රිතාන්‍ය ජාතිකයන්ට 2020 නත්තල අහිමි කළේය. 

'මා දන්නවා ඔබ සැම මට වෛර කරාවි. ඒත් මෙවර නත්තල අප නිවසේ ගත කරන්න ඕනෑ. අප අපේ ආදරණීයයන් රැක ගන්න ඕනෑ. දීප්තිමත් අනාගතයක් වෙනුවෙන් සහ ඉදිරි දිනෙක නත්තල හොඳින් සැමරීම වෙනුවෙන් අප මෙවර නත්තල කැප කරන්න ඕනෑ.'' ඒ අනුව, පසුගිය නත්තල වෙද්දී මහා බ්‍රිතාන්‍යය ලොක්ඩවුන් කෙරුණි. 

මාස ගණනක් ලොක්ඩවුන් තත්ත්වයෙන් පැවැති මහා බ්‍රිතාන්‍යය, අදියර කීපයක් යටතේ යළි විවෘත කෙරුණි. ඒ 'කොවිඩ් 19' එන්නත්කරණ වැඩසටහන ද සාර්ථක වෙද්දීය. මහා බ්‍රිතාන්‍යය යනු එංගලන්තය, වේල්සය, ස්කොට්ලන්තය සහ උතුරු අයර්ලන්තයේ එකමුතුවය. එංගලන්තයේ පමණක් පනවා තිබූ සියලු තහංචි පසුගිය ජූලි මාසය වෙද්දී ඉවත් වී තිබුණි 'වෙන කරන්න දෙයක් නැහැ. වයිරසය සමඟ ජීවත් වෙන්න හුරු වෙන්න ඕනෑ' යන්න අග්‍රාමාත්‍ය ජොන්සන් රට වැසියන්ට පැහැදිලි කළේය. ඒත් 'කොවිඩ් 19 වයිරසය සමඟ ජීවත්වීම' සහ 'නව සාමාන්‍යකරණය' යටතේ ජීවත් වීම හිතන තරම් පහසු කටයුත්තක් නොවෙයි. 

ආරම්භයේ දී සෙසු රටවල මෙන්ම මහා බ්‍රිතාන්‍යයේ ද ප්‍රධානතම 'කොවිඩ් 19 වයිරස විකෘතිය' ලෙස සැලකුණේ 'ඇල්ෆා' ප්‍රභේදයයි. ඒත් ඇල්ෆාට අභියෝගයක් එල්ල කිරීමට 'ඩෙල්ටා' සමත්විය. ඉන්පසු 'ඇල්ෆා' අභිබවා යමින් 'ඩෙල්ටා' විකෘතිය බ්‍රිතාන්‍යයේ ආධිපත්‍ය පතුරුවන්න පටන්ගත්තේය. 

ඒත් දැන් 'ඩෙල්ටා' විකෘතිය ද අභිබවා යමින් 'ඩෙල්ටා ප්ලස්' බ්‍රිතාන්‍යය කලඹයි. හිටිහැටියේ යළිත් වරක් 'කොවිඩ් 19' ආසාදිතයන් ඉහළ යන්න විය. රෝහල් ධාරිතාව ද උපරිම මට්ටමට ළං වී ඇති බවත් දිනපතා රෝගීන් දහස් ගණනින් වාර්තා වන බවත් බීබීසී පුවත් සේවය වාර්තා කර තිබේ.

 'කොවිඩ් 19' ආසාදිතයන් අතින් මහා බ්‍රිතාන්‍යය පසුවන්නේ සිවුවැනි ස්ථානයේය. බ්‍රිතාන්‍යයෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන් ගණන 9,000,000 සීමාවට ආසන්නය. සමස්ත මරණ වාර්තා වන්නේ 6‍,05,000 ක් ලෙසය. මේ වනවිට ආසාදිතයන්ගේ වර්ධනය වේගය අනුව, මෙම 2021 වසරේ නත්තල වෙද්දී දෛනික ආසාදිතයන් ගණන ලක්ෂය ඉක්මනු ඇතැයි සෞඛ්‍ය බලධාරීන් අනාවැකි පළ කර තිබේ. 

බ්‍රිතාන්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය දිගින් දිගටම අග්‍රාමාත්‍ය ජොන්සන් ප්‍රමුඛ රජයට චෝදනා කරයි. ඒ, තමන් කළ අනතුරු ඇඟවීම් ගණන් නොගන්නා බවත් බ්‍රිතාන්‍ය වැසියන්ගේ ජීවිත සමඟ සෙල්ලම් කරන බවත් පෙන්වා දෙමිනි. වෛද්‍යවරුන් පවසන්නේ දැඩි සංචරණ සීමා සහ නව මාර්ගෝපදේශ කඩිනමින් හඳුන්වා දිය යුතු බවත්, දෛනිකව තවත් ආසාදිතයන් වැඩි වන්නේ නම් රට ලොක්ඩවුන් කළ යුතු බවත්ය. 

අද ලෝකයේ බොහෝ රටවල ප්‍රධාන 'කොවිඩ් 19' වයිරස විකෘතිය බවට පත්ව ඇති 'ඩෙල්ටා' විකෘතිය අභිබවා යමින් ඉදිරි මාස කීපය ඇතුළත දී 'ඩෙල්ටා ප්ලස්' ලොව කලඹනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය ද අනතුරු අඟවා ඇත. මේ වනවිටත් 'ඩෙල්ටා ප්ලස්' විකෘතිය සම්බන්ධයෙන්, එහි ස්වභාවය අවබෝධ කර ගැනීමට පර්යේෂණ ආරම්භ කර තිබේ. 'ඩෙල්ටා' විකෘතියේ ආරම්භය ඉන්දියාවෙනි. ඉන්දීය විද්‍යාඥයන්ට මෙම විකෘතිය පළමුවෙන් හමුවූයේ 2020 වසර අවසානයේදීය. 

2021 මැයි 31 වැනිදා විකෘතියට 'ඩෙල්ටා' යන නම යෙදීමට ලෝක සෞඛ්‍ය සංවිධානය තීරණය කළේය. ඒ, 'කොවිඩ් 19' නව විකෘති හඳුන්වා දීමට ග්‍රීක හෝඩියේ අකුරු භාවිතයට ගැනීමත් සමඟය. 'ඩෙල්ටා' විකෘතියේ නිල නාමය B.1.617.2 ය. 2021 අගෝස්තු 24 වනවිට 'ඩෙල්ටා' විකෘතිය රටවල් 163 කට පැතිර ගොස් තිබුණි. 

'ඩෙල්ටා' විකෘතිය ඉතා කෙටි කාලයකදී ලොව බිහිසුණු මෙන්ම මාරක 'කොවිඩ් 19' විකෘති ප්‍රභේදය ලෙස සෙසු විකෘති අභිබවා ඉදිරියට පැමිණියේ ඒ අනුවය. වයිරසවල ස්වභාවය, ඒවා විකෘතිකරණය වීමය. අප වයිරස නැසීමට උත්සාහ ගන්නා සෑම අවස්ථාවකම වයිරස උත්සාහ ගන්නේ නොනැසී සිටීමටය. හැකි තරම් ව්‍යාප්තවීමටය. වයිරස විකෘති වී ස්වරූප වෙනස් කර ගන්නේ එ් නිසාය. 

'කොවිඩ් 19' 'ඩෙල්ටා' විකෘතිය තවත් විකෘතිකරණයකට ලක් විය. 'ඩෙල්ටා ප්ලස්' යනුවෙන් නම් කෙරුණේ එම අනු ප්‍රභේදයයි. 'ඩෙල්ටා ප්ලස්' ද ඉන්දියාවෙන් පළමු වරට හඳුනා ගැනීම සිදුවිය. ඒ, මෙම 2021 වසරේ අප්‍රේල් මාසයේය. 'ඩෙල්ටා' ට වඩා 'ඩෙල්ටා ප්ලස්' ඉතා සීඝ්‍රයෙන් ව්‍යාප්තවීමේ හැකියාවක් සහිත සංකූලතා වැඩි කොවිඩ් අනු ප්‍රභේදයකි. 'ඩෙල්ටා ප්ලස්' එන්නත්වලින් පවා මට්ටු කළ නොහැකි බව ඇතැම් පර්යේෂණවලින් අනාවරණය වී ඇත. 

ඉතාමත් තද උණ, නොනවතින කැස්ස, ගද සුවඳ ඉතා ඉක්මණින් නොදැනීම ප්‍රධාන රෝග ලක්ෂණ බව බ්‍රිතාන්‍යයෙන් වාර්තා වේ. 'ඩෙල්ටා ප්ලස්' නිල වශයෙන් හැඳින්වෙන්නේ K417N යන නාමයෙනි. අද ඉන්දියාවේ 'කොවිඩ් 19' ආසාදිතයන් සහ මරණ සැලකිය ලෙස අඩුවී තිබේ.

පසුගිය 15 වැනිදා සිට ඉන්දියාව විදෙස් සංචාරකයන්ට රට විවෘත කළේය. ඒ ක්‍රමාණුකූලවය. එන්නත් නියමිත පරිදි ලබාගත් විදෙස් සංචාරකයන්ට පැය 72 කට පෙර සිදු කරන 'කොවිඩ් 19' පරීක්ෂණ ප්‍රතිඵල අනුව ඉන්දියාවට ඇතුළුවීමට අවසර හිමිවෙයි. ලබන නොවැම්බර් 15 වනවිට තව තවත් විදෙස් සංචාරකයන්ට අවසර දීමට ඉන්දීය රජය බලාපොරොත්තු වෙයි. 'ඩෙල්ටා' විකෘතිය හේතුවෙන් ඉන්දියාව විසාලාවක් වූ හැටි අපට අමතක නැත. 

ශ්‍රී ලංකාවේ අප ද බිහිසුණු ලෙස 'ඩෙල්ටා' රැල්ලකින් බැට කෑවේය. මේ වනවිට මහා බ්‍රිතාන්‍යය පමණක් නොව, යුරෝපා රටවල් කීපයක 'ඩෙල්ටා ප්ලස්' දරුණු ලෙස ව්‍යාප්ත වෙමින් පවතී. ඒ අනුව, එන්නත් ගත් යුරෝපා සංචාරකයන්ට රට විවෘත කිරීම කල්පනාවෙන් කළ යුත්තකි. 

ලොව පළමු 'කොවිඩ් 19' එන්නත නිපදවූ රට රුසියාවය. තවමත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය එම එන්නතට ලැබී නැතත්, රුසියානුවන් බොහෝ දෙනකුට ලැබී ඇත්තේ එම 'ස්පුට්නික් 5' එන්නතය. අද වනවිට රුසියාවේ 'කොවිඩ් 19' තත්ත්වය දරුණුය. දෛනිකව, මරණ 1,000 ඉක්මවා වාර්තා වෙයි. දෛනික ආසාදිතයන් ගණන 30,000 ඉක්මවයි. 'කොවිඩ් 19' ආසාදිතයන් සහ මරණ සීඝ්‍රයෙන් ඉහළ යෑම හේතුවෙන් රුසියාවේ වැඩ නොකරන සතියක් ක්‍රියාත්මක කරන බව රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසා තිබේ. 

ඒ අනුව, ඔක්තෝබර් 30 වැනි දා සිට නොවැම්බර් 7 වැනි දා දක්වා වැඩ නොකරන සතිය ක්‍රියාත්මක වනු ඇත. ඊට අමතරව, පොදු ස්ථානවලට යන සෑම කෙනකුම අනිවාර්යයෙන් ම කොවිඩ් මර්දන එන්නත් ලබාගත් බව හෝ කොවිඩ් ආසාදනය වී සුවය ලබා සිටින බව හෝ තහවුරු කළ යුතු බව ජනාධිපති ව්ලැදිමීර් පුටින් පැහැදිලි කර ඇත. ඒ, නව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුවය. 

මේ අතර, එන්නත් ලබා නොගන්නා 60 ට වැඩි වැඩිහිටියන් ඉදිරි මාස 4 ක කාලය නිවසේ රැඳී සිටිය යුතු බවටත් ආයතනවල සේවක සංඛ්‍යාවෙන් සියයට 30ක් නිවසේ සිට රාජකාරී කළ යුතු බවටත් මොස්කව් නගර බලධාරීන් නියෝග කර ඇත. වැඩියෙන්ම ආසාදිතයන් වාර්තා වීමට පටන්ගෙන ඇත්තේ මොස්කව් අගනුවරිනි. 

'කොවිඩ් 19' ආසාදිතයන් සහ මරණ අතින් රුසියාව පසුවන්නේ පස්වැනි ස්ථානයේය. රුසියාවෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන් ගණන 8,131,164 කි. මරණ වාර්තා වන්නේ 2,27,389 ක් ලෙසය. 'ඩෙල්ටා' සහ 'ඩෙල්ටා ප්ලස්' හේතුවෙන් එලැඹෙන නොවැම්බරය වනවිට 6 වැනි කොරෝනා රැල්ලකට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඉරානය ද බිය පළ කර තිබේ. 

'කොවිඩ් 19' වසංගතය ආරම්භ වූ දා පටන් මැදපෙරදිග කලාපයේ 'කොවිඩ් 19' වයිරසයෙන් දරුණු ලෙස බැට කෑ රාජ්‍යය ඉරානයයි. ඉරානය 'කොවිඩ් 19' වසංගතයට මුහුණ දෙන්නේ ඇමෙරිකාව පනවා ඇති සම්බාධක මධ්‍යයේය. එසේ වුවත්, ඉරානය ඔවුන්ගේ දැනුම සහ තාක්ෂණය භාවිතයට ගනිමින් 'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නත් දෙකක් නිපදවා ඇති අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලැබුණු මෙන්ම, ඉරානය ඉන්දියාවෙන්, චීනයෙන් සහ රුසියාවෙන් මිලදී ගත් එන්නත් ද එරට වැසියන්ට ලබා දීම සිදු කරයි. 

රටේ යළි ආසාදිතයන් සහ මරණ වැඩිවීමක් පෙන්නුම් කර ඇත්තේ වේගතවත් එන්නත්කරණයක් සිදුවී අවසන් වෙද්දී වීම විශේෂත්වයකි. මේ වනවිට 'කොවිඩ් 19' වයරසයට බිලිවුණු සමස්ත ඉරාන වැසියන් ගණන 1,25,000 කි. මේ වනවිට එරටින් වාර්තා වන සමස්ත ආසාදියන් ගණන මිලියන 5.8 කි. ඉරානය 'කොවිඩ් 19' වසංගතයට මුහුණ දෙන්නේ පසුගිය 2020 පෙබරවාරියේ සිටය. සෞඛ්‍ය අමතයාංශයට අනුව ගතවුණු දින කීපය පුරාවට දෛනිකව නව ආසාදිතයන් 10,000 බැගින් වාර්තා වීමට පටන් ගෙන තිබේ. 

ලබන නොවැම්බර් මාසය වනවිට 6 වැනි කොරෝනා රැල්ලට මුහුණ දෙනු ඇතැයි අනතුරු ඇඟවීම් කර ඇත්තේ ඒ නිසාය. ඉරාන ජනගහනයෙන් සියයට 75 කට වඩා වැඩි පිරිසකට එක් එන්නත් මාත්‍රාවක් හෝ ලැබී ඇති අතර, නියමිත පරිදි එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් ගණන සියයට 25 ක් බව පැවැසෙයි. ඉරාන වැසියන්ට වැඩිපුර ලැබී ඇත්තේ චීනයේ 'සයිනෝෆාම්' සහ ඇස්ට්‍රාසෙනකා එන්නත්ය. ඉරානයේ ජනගහනය මිලියන 85 කි. 

අද භාවිතයට ගැනෙන බොහෝ 'කොවිඩ් 19' එන්නත් නිපදවීම සිදු කර ඇත්තේ 'කොවිඩ් 19' වයිරසයේ ආරම්භයත් සමඟය. 'කොවිඩ් 19' වයිරසය විකෘතිකරණයට ලක් වී 'යවත්කාලීන' වෙද්දී, ප්‍රතිශක්තිකරණ එන්නත් ද එසේ විය යුතුය. ඒත් එසේ කිරීම පහසු කටයුත්තක් නොවෙයි. අද භාවිතයට ගන්නා සියලු 'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නත් අනුමැතිය ලබා ඇත්තේ 'හදිසි භාවිතයට' සුදුසුයි යනුවෙනි. 

එන්නත් ලබා ගැනීමෙන් 'කොවිඩ් 19' ආසාදනය වී මරණයට පත්වීම වළක්වා ගැනීම කළ හැකි බව මේවනවිට තහවුරු වී ඇත. අද ඇමෙරිකාව ඇතුළු යුරෝපා රටවල් පමණක් නොව, ඊශ්‍රායලය ද සිය වැසියන්ට තෙවැනි මාත්‍රාවමක් ලෙස 'බූස්ටර්' එන්නත් ලබාදීම පවා ආරම්භ කර අවසන්ය. ඒ විකෘති වයිරසවලින් ජනතාව ආරක්ෂා කර ගැනීමටය. ලෝක සෞඛ්‍ය සංවිධානය දිගින් දිගටම පෙන්වා දී ඇත්තේ 'බූස්ටර්' එන්නතක් ලබා දීමට අවශ්‍ය වුවත් මේ මොහොතේ එසේ කළ යුතු නැති බවය. 

පළමුවෙන් ලොව සෑම රටකම‍, එන්නත ලබා ගැනීමට සුදුසු වයස් කාණ්ඩවල සියලු දෙනාට පළමු සහ දෙවැනි එන්නත් මාත්‍රා ලබා දිය යුතු යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී ඇත. දිළිඳු රටවලට තවමත් ප්‍රමාණවත් අන්දමින් 'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නත් ලැබී නැති බැවින්, 'කොවිඩ් 19' වසංගතය ලබන 2022 වසර පුරාවටත් දිග් ගැස්සෙනු ඇතැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවමින් පෙන්වා දී ඇත. 

෴ උපුටා ගැනීම - REUTERS

Classified_Ad

Classified_Ad_News_Bottom