තලේබාන් පාලනය යටතේ ආහාර අර්බුදය ඔඩුදුවයි. ඇෆ්ගන් වැසියන් කුසගිනි නිවා ගන්න දරුවන් විකුණයි' මේ, 'හින්දුස්ථානිටයිම්ස්' පුවත් වෙබ් අඩවියේ පළවුණු සිරස්තලයක සිංහල අදහසය. අද ඇෆ්ගනිස්තානය ඉතාමත් දරුණු ආකාරයට ආහාර අර්බුදයකට මුහුණ පා සිටී.
එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, ඇෆ්ගන් වැසියන් මිලියන 22.8 ක් කුසගින්නේය. ඇෆ්ගනිස්තානයේ ජනගහන මිලියන මිලියන 38 කි. නොවැම්බරය යනු ඇෆ්ගනිස්තානයට සීත කාලයයි. සීත කාලය උදාවීමත් සමඟ ඇෆ්ගන් වැසියෝ තව තවත් අසීරුතා රැසකට මුහුණ දී සිටිති.
රට වැසියන්ට ආහාර ලබා දීමට තලේබාන් රජයට හැකියාවක් නැත. කුසගින්නේ සිටින අම්මා කෙනකු හෝ තාත්තා කෙනකු හෝ තම දරුවන් විකුණා ආහාර මිලදී ගන්නේ කෙසේදැයි යන්න හින්දුස්ථානිටයිම්ස්' වෙබ් පුවත දකිද්දී සිහියට නැගෙයි. අම්මා කෙනකුට තාත්තා කෙනකුට එවැන්නක් කළ හැකිද?
අවාසනාවට, 'හින්දුස්ථානිටයිම්ස්' පුවත් වෙබ් අඩවිය පළ කර ඇති වාර්තාවට අනුව එවැනි සිදුවීමක් සිදුවී තිබේ.
පුවත් වාර්තාව අනුව, දෛනික අවශ්‍යතා සපුරා ගැනීමට මුදල් නොමැතිව අසරණ වූ යුවළක්, ඔවුන්ගේ සිඟිති බිලිඳිය ඇමෙරිකන් ඩොලර් 500 ක මුදලකට විකුණා තිබේ. මෙම සිදුවීම වාර්තා වන්නේ ඇෆ්ගනිස්තානයේ හේත් නගරයෙනි. ඇෆ්ගන් වැසියන් මෙසේ අන්ත අසරණ තත්ත්වයකට ඇද වැටුණේ පසුගිය සැප්තැම්බරයේ සිටය.
අගෝස්තු මස අවසන් වෙද්දී, ඇමෙරිකාව ප්‍රමුඛ නේටෝ හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී යෑම ආරම්භ කර තිබුණි.
වසර 20 ක් තිස්සේ දිග්ගැසුණු යුද්ධය අවසන් විය. විදෙස් හමුදා පිටවී ගිය සැණින්, විදෙස් හමුදා අනුග්‍රහය යටතේ පැවැති රජය පෙරළා දමමින් තලේබාන් සංවිධානය රටේ බලය අල්ලා ගත්තේය.
මර්දනයට ලක් වී සිටි තලේබාන්වරු යළි බලයට පත් වූහ. තලේබාන්වරුන් රජයක් පිහිටුවූ නමුත් අද වනවිට එම රජය ද අසරණ තත්ත්වයකට පත් වී සිටී. ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ ගෙන්වා ගැනීමට පවා තලේබාන් රජයට මුදල් නැත. ආහාර මිල පමණක් නොව අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලද ඉහළ ගියේ අනපේක්ෂිත ආකාරයටය. විදෙස් හමුදා පිටවී යෑමත් සමඟ විදෙස් ආධාර ද නතර විය.
ඇෆ්ගන් වැසියන් අමාරුවේ වැටුණේ ඒ අනුවය.
අද වනවිට ලෝකය ආහාර අර්බුදයකට මුහුණ පා සිටී. ඉදිරි මාස කීපය ඇතුළත ලොව සෑම රටක් ම ආාහර අර්බුදයට මුහුණ දෙනු ඇත. ඊට හේතුව 'කොවිඩ් 19' වසංගතය සහ එහි අනිසි බලපෑමය. දැනටමත් සිවිල් යුද ගැටුම්, දේශපාලනික සහ සමාජීය අර්බුදවලට මුහුණ දෙන රටවල් 'කොවිඩ් 19' වසංගතය හමුවේ කබලෙන් ලිපට වැටී අසරණ වනු ඇත. මිනිස් ක්‍රියාකාරකම් නිසා දේශගුණික විපර්යාසවලින් එල්ල වන බලපෑම ද ආහාර අර්බුදය උත්සන්න කරනු ඇත.
‘කොරෝනා වයිරස’ වසංගතය හේතුවෙන් මහා සාගතයක් ඇතිවීමේ අවදානමක් පවතින බවට පළමුවෙන් අනාවැකි පළ කළේ එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනේ ප්‍රධානී ඩේවිඩ් බියස්ලිය. එම අනාවැකිය දැන් හැබෑවක් වීමට පටන් ගෙන ඇත. ''මාස කිහිපයක් වැනි කෙටි කාලයක් ඇතුළත ලෝකය මහා ව්‍යසනයකට මුහුණ දෙන්නයි යන්නේ. ඒක හරියට බයිබල කතාවල සිදුවුණු ව්‍යසනයක් වගෙයි. ඉක්මන් පියවර නොගන්නේ නම් අප කවුරුත් අමාරුවේ වැටෙනවා' යන්න ඩේවිඩ් බියස්ලිගේ අනාවැකියයි. දැනට කුසගින්නේ සිටිනවා යැයි ඇස්තමේන්තු කර ඇති මිලියන 135 ක අධික ජනතාව, කෙටි කාලයක් තුළ මිලියන 250ක් දක්වා වැඩි වනු ඇතැයි ද ලෝක ආහාර වැඩසටහන නිකුත් කළ වාර්තාවක දැක්විණි.
උතුරු කොරියාව, යේමනය, කොංගෝ ජනරජය, වෙනිසියුලාව, ඉතියෝපියාව, දකුණු සුඩානය, සුඩානය, සිරියාව, නයිජීරියාව සහ හයිටි මේ වනවිටත් ආහාර අර්බුදයකින් බැට කන රටවල් ලෙස නම් කළ හැකිය. 'කොවිඩ් 19' වසංගතය හේතුවෙන් නිර්මාණය වුණු ආර්ථික අර්බුද හමුවේ, කෘෂි කාර්මික කටයුතුවලට බාධා සිදුවිය. ආහාර, අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟයක් සහ මිල ඉහළ යෑමක් සිදුවූයේ භාණ්ඩ සැපැයුම් ජාලා අවහිර වීමෙනි. පසුගිය දිනවල මහා බ්‍රිතාන්‍ය වැසියන් ද ආහාර අර්බුදයකට මුහුණ දුන්නේ ඒ අනුවය.
'කොවිඩ් 19' වසංගතයෙන් බැට කෑමට පෙර සිටම හයිටි වයැසියන් (විශේෂයෙන් පොඩි දරුවන්) ට ආහාරයක් වූයේ මැටි රොටිය. මැටිවලින් සාදා හොඳින් වියලා ගන්නා මෙම රොටිවල කිසිදු පෝෂණ ගුණයක් නොමැති අතර, කුසගින්න දරා ගැනීමට නොහැකි බැවින් හයිටි වැසියෝ මැටි රොටි ආහාරයට ගනිති. හයිටි දරුවන් මෙසේ මැටි රොටි අමාරුවෙන් ගිල ගනිදිදී ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් දිනපතා ඉවත දැමූ ආහාර ප්‍රමාණය ටොන් ගණනකි.
අද 'කොවිඩ් 19' වසංගතයෙන් එල්ල වූ අහිතකර බලපෑම් හමුවේ ඇමෙරිකානුවන් ද අසීරු තත්ත්වයකට මුහුණ දෙමින් සිටින බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
ගෝලීය ආහාර මිල ගණන් මේ වනවිට දශකයකින් ඉහළම අගයට පත්ව ඇත. විශේෂයෙන් ධාන්‍ය සහ එළවළු තෙල් මිල කැපී පෙනෙන ලෙස වැඩිවී ඇත.
පසුගිය ඔක්තෝබර් මාසයේදී පමණක් එළවළු තෙල් මිල සියයට 10කින් ඉහළ ගියේ වාර්තාගත ලෙස එහි මිල ඉහළ නංවමිනි. සැපයුම් අඩාලවීම, වෙළඳ භාණ්ඩ මිල ඉහළ යාම, කම්හල් වසා දැමීම, දේශපාලන අර්බුද ආදි කරුණු මෙලෙස ආහාර ද්‍රව්‍ය මිල ඉහළ යෑමට හේතු සාධක විය.
කොවිඩ් ව්‍යසනය ආරම්භ වීමටත් පෙර පටන් පැවති ආහාර අනාරක්ෂිතතාවය 2020 වසරෙන් පසුව තව දුරටත් වර්ධනය වී ඇත. මෙම අර්බුදයට ඇති එකම විසඳුම රට තුළ හැකි අයුරින් ආහාර නිෂ්පාදනය කිරීමය.
මේ වනවිට ලෝක නායකයන් බොහෝ දෙනකුගේ අවධානය මේ සඳහා යොමු වී තිබේ.
නිෂ්පාදන නිසි ලෙස පරිභෝජනය කිරීමත් කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය පහසුකම් රජය විසින් නිසි ලෙස සලසා දීමත් වැදගත්ය. එසේ සිදු නොවුණනහොත්, අද අප මුහුණ දෙන ආහාර අර්බුදය තව තවත් උත්සන්න වී, කොවිඩ් ව්‍යසනය අවසන් වෙද්දී සමස්ත ලෝකයටම ආහාර හිඟයකට ද මුහුණ දීමට සිදුවනු නොඅනුමානය.
෴ උපුටා ගැනීම - REUTERS