බුද්ධිමතුන් අභිබවා ගිය අරියානා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Stay Safe

Dec 10, 2022

බුද්ධිමතුන් අභිබවා ගිය අරියානා

sample-ad-complete-big
image_a40860b9f6
ලොව මෙතෙක් බිහිවූ විශිෂ්ටතම විද්‍යඥයන් දෙදෙනෙකු ලෙස සැලකෙන ඇල්බර්ට් අයින්ස්ටයින් සහ ස්ටීවන් හෝකින්ස් ය. අයින්ස්ටයින් සහ හෝකින්ස්ගේ බුද්ධි මට්ටම, එසේත් නැතිනම් IQ මට්ටම අභිබවා යෑමට සමත් වුණු පාසල් දැරියක ගැන පසුගිය දා විදෙස් මාධ්‍ය ඔස්සේ අසන්න දකින්න ලැබුණි. 

විශේෂත්වය වන්නේ මේ දැරිය, එක්සත් රාජධානියේ, එසේත් නැතිනම් මහා බ්‍රිතාන්‍යයේ ජීවත් වන ශ්‍රී ලාංකික සම්භවයක් ඇති දියණියක වීමය. ඇය 10 හැවිරිදි අරියානා හීමාල් ධර්මසේන ය.

බුද්ධි මට්ටම (IQ) මැන බැලීමේ, ‘මෙන්සා’ (Mensa) බුද්ධි පරීක්ෂණයෙන් අරියානා හීමාල් ධර්මසේන දියණිය ලකුණු 162 ක් හිමිකර ගත්තාය. 

ඒ වෙනුවෙන් ඇයට හිමිවුණු සහතික පත්‍රයේ සඳහන් වන්නේ ඇය ‘Genius’ (ඉතා ඉහළ බුද්ධිමතෙක්) මට්ටම පසු කර ඇති බවය. ඒ අනුව, උසස් බුද්ධිමතුන්ගේ සමාජයේ සාමාජිකත්වය ද අරියානා හීමාල් ධර්මසේන දියණියට හිමි වී ඇතැයි බීබීසී පුවත් සේවය පවසා ඇත. 

අයින්ස්ටයින් සහ හෝකින්ස්ගේ බුද්ධි මට්ටම (IQ) සැලකෙන්නේ 160 ක් ලෙසය. අරියානා දැරියගේ මවුපියන් වන්නේ ජානක දඹරව හේවගේ සහ මේකලා පෙරේරා ය. 

පියා මව සහ නැගණිය ද සමඟ අරියානා ජීවත් වන්නේ බ්‍රිතාන්‍යයේ හඩර්ස්ෆීල්ඩ් පළාතේය. අරියානා අධ්‍යාපනය ලබන්නේ, හඩර්ස්ෆීල්ඩ්හි ශාන්ත පැට්‍රික් කතෝලික ප්‍රාථමික පාසලේ ය. 
image_ab9ce0f018
ඇගේ අනාගත බලාපොරොත්තුව නම්, ප්‍රසිද්ධ විද්‍යාඥවරියක වීමය. 2012 දී බ්‍රිතාන්‍යයේ උපත ලැබූ අරියානාගේ මාපියන් ශ්‍රී ලංකාවේ මාතලේ ප්‍රදේශයේ පදිංචි වී සිට ඇති අතර, 2009 දී බ්‍රිතාන්‍යයේ පදිංචියට ගිය බව පැවැසෙයි. 

“දියණිය විද්‍යාවට සහ ගණිතයට ගොඩක් දක්ෂයි. ඉංග්‍රීසි වගේම සිංහල භාෂාවත් ඇයට පුළුවන්. ගොඩක් පොත් කියවන්නයි ඇය වඩාත් කැමැති.” මේකලා පෙරේරා පවසයි. 

මේකලා පෙරේරා කැලණිය විශ්වවිද්‍යාලයයේ ජාත්‍යන්තර අධ්‍යයන පිළිබඳ උපාධිධාරිණියක වන අතර, සැමියා ජානක දඹරව හේවගේ බැංගලෝර් විශ්ව විද්‍යාලයයේ තොරතුරු තාක්ෂණය පිළිබඳ උපාධිධරයෙකි. මේ වන විට ඔහු බ්‍රිතාන්‍යයේ සමාගමක ව්‍යාපෘති කළමනාකරුවෙකු ලෙස සේවය කරයි. 

 “මගේ දුව හැම පරීක්ෂණයකින්ම ගොඩක් ලකුණු ගන්නවා. විෂය බාහිර ක්‍රියාකාරකම්වලටත් ඇය දක්ෂයි” යැයි පවසන්නේ පියා ජානකය. මේ අතර, බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් අරියානා ශ්‍රී ලාංකික ළමා පරපුරට විශේෂ පණිවුඩයක් ලබා දී තිබේ. 

“සෑම දරුවෙකුටම කුමක් හෝ හැකියාවක් තිබෙනවා. ඒක හඳුනා ගෙන දියුණු කර ගැනීම ඔවුන් කළ යුතුයි. ඉදිරියට යන්න ඕනෑ එහෙමයි” යැයි පුංචි බුද්ධිමතිය පවසා ඇත.

෴ උපුටා ගැනීම - BBC

Classified_Ad