ඇටන්බරෝ සහ ටෙනිස් බෝලය - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

May 17, 2026

ඇටන්බරෝ සහ ටෙනිස් බෝලය

ඔබ ලොව කොතැන සිටියත් ඔබ පරිසරයට ආදරය කෙනකු නම්, විශේෂයෙන් සතුන් සහ සොබාදහම ගැන අපූරු බීබීසී වාර්තා වැඩසටහන් ප්‍රිය කරන්නකු නම්, ඔබට ඔහුගේ හඬ ආගන්තුක නොවෙයි. ඒ හඬෙහි ඇත්තේ හුදු විස්තර විචාරයක් නොව, සොබාදහමට ඇති අප්‍රමාණ ආදරයයි. ඔහු ශ්‍රීමත් ඩේවිඩ් ඇටන්බරෝය. 

ලෝකයට ආදරය කරන්න, පරිසරයට ආදරේ කරන්න, සතා සිවුපාවාට ආදරය කරන්න කියා දුන් ඩේවිඩ් ඇටන්බරෝ මැයි 8 වැනිදා සිය දිවියේ 100 වැනි සැතපුම් කණුව පසු කළේය. 

පෘථිවි හුස්ම ගන්නා රිද්මය අපේ විසිත්ත කාමරයට රැගෙන ආ මේ අසහාය මිනිසා, මුළු මහත් ලෝකයේම පරිසර හෘද සාක්ෂිය බවට පත්ව සිටින බව අමුතුවෙන් කිවයුතු නොවෙයි. ඩේවිඩ් ඇටන්බරෝ උපත ලැබුවේ 1926 මැයි මස 8 වැනිදාය. 

ඩේවිඩ්ගේ පියා ෆෙඩ්රික් ඇටන්බරෝ ලෙස්ටර් විශ්වවිද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙස කටයුතු කර ඇත. ඩේවිඩ් හැදී වැඩුණේ අධ්‍යාපනික වටපිටාවක් සහිත පවුලකය. 

ඔහුගේ වැඩිමහල් සහෝදරයා වූ රිචඩ් ඇටන්බරෝ ලෝක පූජිත නළුවකු සහ අධ්‍යක්ෂවරයෙකු වූ අතර (ගාන්ධි චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේය, ජුරාසික් පාර්ක් චිත්‍රපටවලට රංගනයෙන් දායක විය.), බාල සහෝදරයා වූ ජෝන් ඇටන්බරෝ මෝටර් රථ කර්මාන්තයේ ප්‍රමුඛ පෙළේ විධායක නිලධාරියකු ලෙස කටයුතු කළේය. 

දෙවන ලෝක යුද්ධ සමයේදී ඔහුගේ දෙමාපියන් යුදෙව් සරණාගත දැරියන් දෙදෙනකු හදා වඩා ගැනීමට භාර ගැනීම නිසා ඔවුහු ද ඩේවිඩ්ගේ සහෝදරියන් ලෙස පවුලට එක් වූහ.

ඩේවිඩ් ඇටන්බරෝ 1950 වසරේදී ජේන් එලිසබෙත් එබ්ස්වර්ත් රියල් සමඟ විවාහ විය. ඔවුන් දෙදෙනා වසර 47ක් පුරා ඉතා සාර්ථක යුග දිවියක් ගත කළ අතර, 1997 වසරේදී ජේන්ගේ හදිසි අභාවය ඩේවිඩ්ගේ ජීවිතය උඩු යටිකුරු කළේය. 

ඔහුට රොබට් සහ සූසන් නමින් දරුවෝ දෙදෙනෙකි. රොබට් ඇටන්බරෝ ජෛව මානව විද්‍යාව පිළිබඳ කථිකාචාර්යවරයකු ලෙස කටයුතු කරන අතර, සූසන් ඇටන්බරෝ අධ්‍යාපන ක්ෂේත්‍රයේ විදුහල්පතිනියක ලෙස සේවය කරයි. ඩේවිඩ් ඇටන්බරෝ බීබීසී ආයත.නය සමග එක් වෙද්දී, එය ළදරු අවදියක පැවැතිණි. 

දශක හතකට වැඩි කාලයක් ඩේවිඩ් පෘථිවියේ සෑම අඟලක්ම ගවේෂණය කළේය. ලයිෆ් ඔන් අර්ත්, ලිවින් ප්ලැනට්, ප්ලැනට් අර්ත්, බ්ලූ ප්ලැනට්, ග්‍රීන් ප්ලැනට් ආදී වාර්තා වැඩසටහන් අපට නැරඹීමට හැකිවූයේ එබැවිනි. 

හිම කඳු මුදුන්වල වෙසෙන හිම දිවියන්ගේ සිට මහා සාගරයේ අගාධවල වෙසෙන අද්භූත සාගර ජීවීන් දක්වා විස්මිත දසුන් අපටඑ දකින්න සැලැස්වූ ඔහු, ස්වභාවික ලෝකය පිළිබඳ මිනිසා තුළ පැවති කුතුහලය දැනුම බවට පරිවර්තනය කළේය. ඔහුගේ නිවැරදි උච්චාරණයත්, අවේණික කථන විලාසයත් අපව සොබාදහමේ අසිරිය මැද තනි කිරීමට සමත් විය. ඇටන්බරෝ හුදෙක් පරිසරවේදියකු පමණක් නොව, ඔහු අප සැමට අපේ පෘථිවිය දෙස නව ඇසකින් බලන්නට ඉගැන්වූ ගුරුවරයෙකි. 

මේ සියවස් පූර්ණය සැමරීම යනු සොබාදහම කෙරෙහි අප තුළ ඇති වගකීම යළි පණ ගැන්වීමකි. ටෙනිස් බෝලය, දීප්තිමත් ළා කොළ පැහැයක් ගන්නේ ඩේවිඩ් ඇටන්බරෝ නිසා බව ඔබ දැන සිටියාද? මෙය බොහෝ දෙනකු නොදන්නා කතාවකි. ඉතිං ඩේවිඩ් ඇටන්බරෝ 100 වැනි ජන්ම දිනය සමරද්දී, ඩේවිඩ් සහ ටෙනිස් බෝලය ගැන කතා නොකර කොහොමද? ඒ, 1960 දශකයයි. 

ඒ කාලයේ ඩේවිඩ්, බීබීසී ටූ නාළිකාවේ වැඩසටහන් නිෂ්පාදන සහ පරිපාලන නිලධාරියකු ලෙස රාජකාරි කරන්න විය. ඒ වනවිට කළුසුදු වෙනුවට වර්ණ රූපවාහිනි කරළියට පැමිණ තිබුණු අතර, වර්ණ රූපවානී හරහා වැඩසටහන් විකාශය සිදුවිය යුත්තේ කෙසේදැයි තීරණ ගැනීම පැවරී තිබුණේ ඩේවිඩ්ටය. 

 1967 විම්බල්ඩන් ටෙනිස් පිටියට ඩේවිඩ් වර්ණ ටෙලි කැමරා යැවීය. ඒ, පළමුවරට වර්ණ රූපවාහිනී ඔස්සේ ටෙනිස් ක්‍රීඩා විකාශය කිරීමටය. මෙතෙක් කල් ටෙනිස් ක්‍රීඩා විකාශය වූයේ කලු සුදු ලෙසය. 

ඒ වනවිට ටෙන්සි තරග සඳහා සාම්ප්‍රදායිකව, භාවිතයට ගැණුනේ සුදු පැහැති ටෙනිස් බෝලය. ටෙනිස් පිටියේ මායිම් ලකුණු කෙරුණේ සුදු වර්ණයෙන් බැවින්, ටෙනිස් බෝලය සුදු පාට වීම, රූපවාහිනී තිරයෙන් එය කරඹන කෙනකුට නිසි ලෙස ග්‍රහණය කර ගැනීම ගැටලුවක් විය. බෝලය නියමිත මායිමේ පතිත වූවා ද මායිමෙන් පිටත පතිත වූවා ද යන්න නිවැරදිව දැන ගැනීම ගැටලුවක් විය. ඩේවිඩ් ඇටන්බරෝ අපූරු යෝජනාවක් කළේය. 

ටෙනිස් බෝලය පහසුවෙන් දැක ගැනීමට එහි සුදු වර්ණය වෙනස් කරමු යැයි ඔහුගේ යෝජනාව විය. ජාත්‍යන්තර ටෙනිස් ෆෙඩරේෂන් ඒ ගැන අවදානය යොමු කළේය. ත්‍යන්තර ටෙනිස් සම්මේලනය, ටෙනිස් බෝලයේ වර්ණය කෙසේ වෙනස් විය යුතුදැයි තීරණය කිරීමට එකඟ වියත කුමන වර්ණයකින් ටෙනිස් බෝලය වර්ණ ගැන්වීම කළ යුතුදැයි අත්හදා බැලීම් කරන්න පටන් ගත්තේය. 

දීප්තිමත් කොළ මුසු කහ වර්ණය ටෙනිස් බෝල සඳහා සුදුසු යැයි අවසානයේ දී තීරණය කෙරුණි. ඒ අනුව, වර්ණ ගන්වන ලද ටෙනිස් බෝල, පළමුවෙන්ම භාවිතයට ගැණුනේ ඇමෙරිකාවේ යූ.එස්. ඕපන් ටෙනිස් තරගාවලියකටය. ඒ, 1973 වසරේදීය. 

බ්‍රිතාන්‍යයේ විම්බල්ඩන් ටෙනිස් තරග සුදු ටෙනිස් බෝල වෙනුවට දීප්තිමත් කොළ කහ ටෙනිස් බෝල භාවිතය ආරම්භ කළේ 1986 දීය. අද ටෙනිස් ක්‍රීඩා කරද්දී භාවිතයට ගන්නා ටෙනිස් බෝලයට ආවේණික සුවිශේෂී වර්ණය බවට දීප්තිමත් කොළ කහ වර්ණය පත්වී අවසන්ය. 

මීළඟ වතාවේ ඔබ ටෙනිස් බෝලයක් අතට ගනිද්දී හෝ ටෙනිස් බෝලයක් දකිද්දී, ශ්‍රීමත් වේඩිඩ් ඇටන්බරෝ සිහිවනු නිසැකය. අමතක කරන්න එපා. ටෙනිස් බෝලයේ වර්ණය වෙනස් කිරීමට දායක වූයේ ඔහුය. 

ලුසිත ජයමාන්න 
BBC ඇසුරිනි

Classified_Ad