කාගේත් කතා බහට ලක් වුණු 'අන්සතු ඔබ' මියුසික් විඩියෝ කාන්තා චරිතයට පන පොවන ඇය ගැන කතා නොකරම බැහැ. ඇය නිපුනි පූජිත ගුණවර්ධන ය. කුඩා කල සිටම රංගනයට සිහින මැවූ නිපුනිගේ රුව 2015 වසරේ සිට රූපවාහිනී වෙළෙ දැන්වීම් හරහා දකින්න ලැබුණි. 'ඒ ලෙවල්' සහ 'හීන හොයන සමනල්ලු' ඇගේ සිනමා නිර්මාණයන්ය.
'සියත මිස් ශ්‍රි ලංකා' තරඟට සහභාගී වූ ඇයට අවසන් 10 දෙනා අතරට යෑමට ද හැකිවිය. වෙනස්ම විදිහේ චරිත නිරූපණයට කැමැති නිපුනි, වේදිකා නිළියක් ද වෙයි. 'ප්‍රේමයේ නගරය' හරහා ඇගේ රංගනය දැක ගැනීමට හැකිවිය. රංගන දක්ෂතා නිසා ජාතික යොවුන් සම්මාන උලෙළේ දී විශේෂ කුසලතා සම්මානයක් ද නිපුනිට හිමිවිය. 'අන්සතු ඔබ' මියුසික් වීඩියෝවේ පමණක් නොව, අශාන්ති ගේ "රැජිනියේ" මියුසික් වීඩියෝව හරහා ද නිපුනි දකින්න ලැබේ.


'අන්සතු ඔබ' අතිශය ජනප්‍රියයි. ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ඉතා හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ගීතය ගැන වගේම ගොඩාක් දෙනෙක් මගේ රඟපෑම ගැන කතා කිරීම ඇත්තටම ගොඩාක් සතුටුයි. හොඳ නිර්මාණයකින් ප්‍රේක්ෂකයන් අතරට එන්න ලැබීම ගැනත් සතුටුයි.
ඔබ ගැන හැඳින්වීමක් කළොත්?
මා ප්‍රසිද්ධ නිළියක් නම් නම් නොවෙයි. මා දායක වී ඇත්තේ නිර්මාණ කීපයකට පමණයි. දැනට අවුරුදු හයකට කලින් වෙළෙඳ දැන්වීම් කීපයකට සම්බන්ධ වුණා. ඒලෙවල්' වගේමයි 'හීන හොයන සමනල්ලු' චිත්‍රපටයටත් සම්බන්ධ වුණා. 'ප්‍රේමයේ නගරය' වේදිකා නාට්‍යයේ අවුරුදු දෙකක් රඟපෑවා. සම්මාන ලැබුණේ එම රංගනයටයි.
කොහෙද පදිංචිය?
මං ඉපදුණේ නම් අම්පාරේ. ස්ථිර පදිංචිය කඩවත.
'අන්සතු ඔබ' මියුසික් වීඩියෝවට සම්බන්ධ වුණේ?
ෂේවියර් කණිෂ්ක අයියා තමයි මට ඇරැයුම් කළේ. නිම්න අයියා මට කරන්න තියෙන දේ පැහැදිලි කරලා දුන්නා. ඒ නිර්මාණය ස්වභාවික එකක්. ගීතයක් වුණාට මිනිත්තු කීපය ඇතුළේ කරන්න ලොකු දෙයක් තිබෙන බව අවබෝධ වුණා. මූණේ ඉරියව් සහ ශරීරයේ චලනය හරහා තමයි කතාව ගෙතෙන්නේ. රූගත කිරීම් සඳහා දවස් දෙකක් ගියා. ඒක දවසක් පුහුණු වෙන්න. දෙවැනි දවසේ තමයි රූපගත කිරීම කළේ. ත්‍රිවීල් එක කැරියර් එකකට නග්ගලා තමයි ෂූට් කළේ. 'අන්සතු ඔබ' මෙතරම් කතාබහක් ඇති කරාවි කියලා නම් හිතුවේ නැහැ. සියල්ල සරලව කළා. මේක්-අප් එකක්වත් දැම්මේවත් නැහැ. ස්වාභාවික පෙනුමින් තමයි රඟපෑවේ. ජනප්‍රිය වෙන්න, නිළියක් සුදු වෙන්න, ලස්සන වෙන්න ඕන කියන කතාව බොරු. ඒක ඔප්පු වෙනවා.
මියුසික් වීඩියෝවේ ඉන්න ඔබ සහ සැබෑ ජීවිතයේ ඔබ සමානද?
නැහැ. මම සාරි අඳින කෙනෙක් නෙමේ. ගොඩක් නිදහසේ ඉන්න කැමැති කෙනෙක්.
ඔබ විවාහකද?
නැහැ
අනාගත කටයුතු කොහොමද?
තව නිර්මාණ ගොඩකට ආරාධනා ලැබෙනවා. නමුත් හදිසි වෙලා හැම එකකටම යන්න අදහසක් නෑ.
෴ උපුටා ගැනීම - මුහුණු පොතෙන්