ඉදිරි දශකයේ හරිතාගාර වායු වායුගෝලයට මුදා හැරීම කප්පාදු කරමින්, '2015 පැරිස් සම්මුතිය' අනුව, මිහිකත උණුසුම්වීම වළක්වා ගැනීමට පෙරමුණ ගන්නා බවටත්, සහයෝගයෙන් කටයුතු කරන බවටත් ඇමෙරිකාව සහ චීනය ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝව් නුවර පැවැත්වෙන 'කොප්26" සමුළුවේදී ප්‍රතිඥා දුන්නේය.
පසුගිය ඔක්තෝබර් 31 වැනිදා ආරම්භ වුණු 'කොප්26' එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිටුදැකීමේ සමුළුව 14 වැනිදායින් අවසන් වෙයි. සමුළුව ආරම්භයේ දී රටවල් 200 ක රාජ්‍ය නායකයෝ සමුළුවට සහභාගී වූහ. පරිසරවේදීන්ට අනුව, ලෝකය බේරා ගැනීමට ඇති අවසන් අවස්ථාව වන්නේ මෙම 'කොප්26' සමුළුවය.
ලොව වැඩිම හරිතාගාර වායු මුදා හරින්නන්, එසේත් නැතිනම් කාබන්ඩයොක්සයිඩ් විමෝචකයන් ලෙස සැලකෙන්නේ ඇමෙරිකාව සහ චීනයයි.
දේශපාලනික වශයෙන් පවතින එදිරිවාදිකම් පසෙකලා ලෝක බලවතුන් වන ඇමෙරිකාව සහ චීනය මානව වර්ගයාගේ අනාගත පැවැත්ම වෙනුවෙන් සහයෝගයෙන් කටයුතු කිරීමට ප්‍රතිඥා දීම ඓතිහාසික අවස්ථාවක් බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
2015 වසරේ දී ප්‍රංශයේ මූලිකත්වයෙන් පැරිස් අගනුවරදී පරිසර සමුළුවක් පැවැත්විණි. එම අවස්ථාවේදී ඇමෙරිකන් ජනාධිපති ලෙස කටයුතු කළේ බරැක් ඔබාමාය.
එදා ලොව බලවත් රටවල් සියල්ල මෙම සමුළුවට එක් වුණු අතර, ගෝලීය උණුසුම අවම කිරීමට නම්, ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5 සීමාවට වඩා අඩුවෙන් පවත්වා ගැනීම කළ යුතු බවට තීරණය කෙරුණි.
කෙසේ නමුත් එම තීරණය වචනවලට පමණක් සීමා වූ අතර, මේ වනවිට ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ යෑමට පටන් ගෙන ඇත.
ජීවත් වීමට සුදුසු වටපිටාවක් පැවැතීමට නම්, ඉහළ යන උෂ්ණත්වය කඩිනමින් පහළ දැමිය යුතුය. එය දවසින් හෝ දෙකකින් කළ හැකි දෙයක් නොවන බව ද පැවැසෙයි.
විද්‍යාඥයන්ට අනුව, ලෝකය උණුසුම් වන වේගය අනුව, මෙම සියවස අවසන් වෙද්දී ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 2 කට වඩා ඉහළ යනු ඇත.
ගෝලීය උණුසුම ඉහළ යද්දී තව තවත් විපරිත කාලගුණික පෙරැළි සිදුවුනු ඇත. මෙය අනාගතයේ දිනෙක සෙල්සියස් අංශක 4 සීමාවට ළං වුවහොත් එදාට පෘථිවිය ජීවයෙන් තොර කාන්තාරයක් වනු ඇතැයි ද විද්‍යායන් පැහැදිලි කර තිබේ.
෴ උපුටා ගැනීම - BBC