හොරෙන් ඉතාලි යන්න හැදූ තැත වරදී - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Dec 11, 2021

හොරෙන් ඉතාලි යන්න හැදූ තැත වරදී

කූඨ ලෙස සකස් කළ ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයක් සහ ඉතාලි නේවාසික වීසා බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් ඉතාලියට යාමට තැත් කළ ශ්‍රී ලාංකිකයකු ඊයේ රාත්‍රී (10) කටුනායක ගුවන්තොටුපළ ආගමන හා විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ එකක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. 

අද රාත්‍රී 8.20ට තුර්කි ගුවන් සේවයේ TK 731 ගුවන් යානයෙන් තුර්කියේ ඉස්තාන්බුල් නුවර බලා ගොස් එතැනින් ඉතාලිය වෙත පැනයාමේ අරමුණින් මෙම මගියා ගුවන්තොටුපළ වෙත පැමිණ ඇත. 

තිස්අට හැවිරිදි ද්‍රවිඩ ජාතිකයකු වන මොහු මඩකලපුව නොච්චිමුනායි ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ගුවන්සේවා නිෂ්කාශන කටයුතු සඳහා පිටත්වයාමේ පර්යන්තය වෙත පැමිණ සිටි මෙම පුද්ගලයා ගැන සැක සිතූ ගුවන්තොටුපළ ආගමන හා විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකක නිලධාරීන් මොහු කැඳවා මූලික විමර්ශන කටයුතු සිදු කර ඇත. 

තමන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයක් සඳහා යන අයකු බව මුල් අවස්ථාවේ දී ආගමන හා විගමන නිලධාරීන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී මොහු පවසා තිබුණද ශ්‍රී ලංකා ගමන් බලපත්‍රය සමඟ ඔහු නිලධාරීන් වෙත ඉදිරිපත් කළ එමිරේට්ස් ගුවන් යානා ප්‍රවේශපත්‍රය පිළිබඳව ද සැක මතු වූ හෙයින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කෙරිණි. 

එහිදී මෙම පුද්ගලයා සතු ශ්‍රී ලංකා ගමන් බලපත්‍රය සහ එමිරේට්ස් ගුවන්යානයට පිවිසීමට බව අඟවමින් සකස් කර තිබූ ගුවන්යානා ප්‍රවේශ පත්‍ර කූඨ ලෙස සකස් කර තිබූ ලියකියවිලි බව අනාවරණය විය. 

ඊට අමතරව ශ්‍රී ලංකා ගමන් බලපතෙහි සටහන් කර තිබූ ආගමන හා විගමන මුද්‍රා සියල්ලක් ම ද ව්‍යාජ ලෙස සකස් කර ඇති බව ද අනාවරණය කර ගැනුණි. තවද, මොහු සතු ගමන් මල්ල ද සෝදිසි කෙරුණු අතර එහි තිබී ඔහුගේ සැබෑ ගමන් බලපත සොයා ගැනීමට ද දේශසීමා ආවේක්ෂණ ඒකක නිලධාරීහු සමත් වූහ. 

ඒ සමඟම ආගමන හා විගමන නිලධාරීන් රාජකාරි කටයුතු සඳහා භාවිත කරන කූඨ ලෙස සැකසූ විගමන මුද්‍රාවක් ද ඔහුගේ ගමන් මල්ලෙහි තිබී සොයා ගැනීමට නිලධාරීන්ට හැකි විය. 

 මේ අතර සැකකටයුතු මෙම තරුණයා සතුව තිබූ තුර්කි ගුවන් සේවයෙන් නිකුත් කළ සැබෑ ගුවන්යානා ප්‍රවේශ පත්‍රයක් ද සොයා ගැනීමට එම නිලධාරීන් සමත් වූහ. ඒ පිළිබඳව ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී පවසා ඇත්තේ මෙරට ආගමන හා විගමන නිලධාරීන් හට තම ව්‍යාජ ශ්‍රී ලංකා ගමන් බලපත පෙන්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත යන බව අඟවමින් විගමන නිෂ්කාශන කටයුතු සිදු කර ගැනීම⁣ට තමන් සූදානමින් සිටි බවයි. 

ඉන් පසුව තුර්කියේ ඉස්තාන්බුල් නුවර දක්වා සහ එතැනින් ඉතාලියේ මිලාන් නුවර දක්වා යාම සඳහා තුර්කි ගුවන් සේවයෙන් ලබාගත් සැබෑ ගුවන් ප්‍රවේශ පත්‍රය හා තම සැබෑ ශ්‍රී ලංකා ගමන් බලපත උපයෝගී කර ගනිමින් ඉතාලියට පැන යාම එම සැකකටයුතු පුද්ගලයාගේ මූලික අරමුණ වූ බව ද නිලධාරීන් සිදු කළ මූලික විමර්ශනවලින් අනාවරණය කර ගැණුනි. 

ඉතාලියට ඇතුළු වීම සඳහා කූඨ ලෙස සකස් කළ ඉතාලි නේවාසික වීසා බලපත්‍රයක් ද මොහු සතුව තිබී සොයාගෙන ඇත. ඉන් පසුව සැකකටයුතු මෙම පුද්ගලයා ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන්තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත බාර දුන්හ.

෴ ගුවන්තොටුපොළ විශේෂ වාර්තාකරු

Classified_Ad

Classified_Ad_News_Bottom