අප්‍රිකාවට කලින් 'ඔමික්‍රෝන්' නෙදර්ලන්තයේ තිබිලා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Dec 1, 2021

අප්‍රිකාවට කලින් 'ඔමික්‍රෝන්' නෙදර්ලන්තයේ තිබිලා

දකුණු අප්‍රිකා වයිරස විශේෂඥයන් 'ඔමික්‍රෝන්' විකෘතිය පළමුවෙන් හඳුනා ගැනීමට පෙර, තම රටේ එම විකෘතිය තිබුණු බව නෙදර්ලන්ත සෞඛ්‍ය බලධාරීහු පවසති. 

නෙදර්ලන්තයේ ජාතික සෞඛ්‍ය හා පරිසර ආයතනයේ සෞඛ්‍ය බලධාරීන් පවසන ආකාරයට, නොවැම්බර් 19 වැනිදාත්, ඉන්පසු 23 වැනිදාත් 'කොවිඩ් 19' ආසාදිතයන්ගෙන් ලබාගත් සාම්පලවලින් 'ඔමික්‍රෝන්' විකෘතිය හමුවී ඇත. 

දකුණු අප්‍රිකා වයිරස විශේෂඥයන් පළමු වරට 'ඔමික්‍රෝන්' විකෘතිය හඳුනා ගැනීම කළේ නොවැම්බර් 19 වැනිදාය. දකුණු අප්‍රිකා වයිරස විශේෂඥයන්, විකෘතිය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය දැනුවත් කළේ නොවැම්බර් 24 වැනිදාය. ලෝක සෞඛ්‍ය සංවිධානය වයිරස විකෘතිය 'ඔමික්‍රෝන්' යනුවෙන් නම් කළේ නොවැම්බර් 27 වැනිදාය.

නෙදර්ලන්ත සෞඛ්‍ය බලධාරීන් එරටින් 'ඔමික්‍රෝන්' ආසාදිතයන් හමුවුණු බව නිවේදනය කළේ පසුගිය නොවැම්බර් 26 වැනිදාය. එම ආසාදිතයන් දකුණු අප්‍රිකාවේ සිට ආ ගුවන් මගීන්ය. 

කෙසේ නමුත් නෙදර්ලන්තයේ ජාතික සෞඛ්‍ය හා පරිසර ආයතනය දැන් පවසා ඇත්තේ, එම ආසාදිතයන් හමුවීමටත් පෙර සිට නෙදර්ලන්තයේ 'ඔමික්‍රෝන්' තිබුණු බවය. 

 'ඔමික්‍රෝන්' විකෘතිය මෙතෙක් බිහිවුණු සියලුම 'කොවිඩ් 19' විකෘති එක් වී සහ මෙතෙක් හමුනොවුණු විකෘති එක් වී නිර්මාණය වූවක් බව දකුණු අප්‍රිකා වයිරස විශේෂඥයන් තහවුරු කරගෙන ඇත. විකෘතිය ගැන ලොව පුරා බියක් නිර්මාණය වී ඇත්තේ එහෙයිනි. 

ලෝක සෞඛ්‍ය සංවිධානය දිගින් දිගටම පෙන්වා දි ඇත්තේ මේ මොහොතේ 'ඔමික්‍රෝන්' ගැන අනවශ්‍ය බියක් ඇති කර ගැනීමට හේතුවක් නැති බවය. 'ඔමික්‍රෝන්' විකෘතියේ සැබෑ ස්වරූපය අවබෝධ කර ගැනීමට හැකි වනු ඇත්තේ තව සති දෙකකින් හෝ තුනකින් යැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කර තිබේ. 

අද (1) බ්‍රසීලයෙන් පළමු වරට 'ඔමික්‍රෝන්' ආසාදිතයකු වාර්තා විය. ඒ අනුව, ලතින් ඇමෙරිකා රටකින් 'ඔමික්‍රෝන්' ආසාදිතයකු වාර්තා වූ පළමු අවස්ථාව එය විය. ඊයේ (30) ජපානය නිවේදනය කළේ එරටින් ද 'ඔමික්‍රෝන්' ආසාදිතයන් හමුවුණු බවය. ඒ අනුව ජපානය, විදේශිකයන් සඳහා දේශසිමා වසා දැමීම ද කළේය.

෴ උපුටා ගැනීම - Daily Mail

Classified_Ad

Classified_Ad_News_Bottom