සූ කී සිවු වසරක් හිරේ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Dec 6, 2021

සූ කී සිවු වසරක් හිරේ

හමුදා කුමන්ත්‍රණයකින් බලයෙන් පහ කර, නිවාස අඩස්සියට පත් කෙරුණු මියන්මාර ප්‍රජාතන්ත්‍රවාදී නායිකා අවුන් සාන් සූ කී ට, සිවු වසරක සිර දඬුවමක් ලබා දීමට මියන්මාර විශේෂ අධිකරණයක් නියෝග කළේය. 

සූ කීට චෝදනා රැසක් යටතේ නඩු 12 ක් පවරා ඇති අතර, අද (6) ලබා දුන්නේ පළමු නඩුවේ තීන්දුව යැයි මියන්මාර මාධ්‍ය වාර්තා කර තිබේ. 

ජනතාව නොසන්සුන් කිරීම සහ 'කොවිඩ්19' වසංගතය හේතුවෙන් සෞඛ්‍ය අංශ පැනැවූ නීති උල්ලංඝනය කිරීම යන චෝදනාවලට සූ කී වරදකාරිය විය. 

ඊට අමතරව, රාජ්‍ය රහස් සම්බන්ධ පනතක් උල්ලංඝනය, දූෂණ චෝදනා ආදිය ද නායිකා සූ කී ට එල්ල වී ඇති අතර, ඒ සියලු චෝදනාවලට ඇය වරදකාරිය වුවහොත් ඇයට ජීවිතාන්තය තෙක් සිර දඩුවම් විදීමට සිදුවනු ඇති බව පැවැසෙයි. 

මීට පෙර මියන්මාරයේ හමුදා පාලනයක් පැවැති අවදියේ වසර 15 ක් නිවාස අඩස්සියේ පසුවුණු සූ කී තමන්ට එල්ල වන සියලු චෝදනා ප්‍රතික්ෂේප කර ඇත. 

76 හැවිරිදි නොබෙල් සාම ත්‍යාගයෙන් ද පිදුම් ලැබ සිටින සූ කී බලයෙන් නෙරපා දමමින් හමුදාව එරට බලය අල්ලා ගත්තේ මෙම වසරේ පෙබරවාරි පළමු වැනිදාය.

මියන්මාර මහ මැතිවරණය පසුගිය වසරේ පැවැත්විණි. එයින් ද පහසු විශිෂ්ට ජයක් හිමි කර ගැනීමට සූ කී සහ ඇගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සමත් විය. පරාජය වූයේ මියන්මාර හමුදාවට සහාය දක්වන දේශපාලන කණ්ඩායම්ය. එම දේශපාලන කණ්ඩායම් දිගින් දිගටම චෝදනා කරන්න වූයේ මහ මැතිවරණය දූෂිත බවට ය. හමුදා කුමන්ත්‍රණයක් තෙක් එම චෝදනා දුරදිග ගියේ ඉන්පසුවය. 

හමුදා සොල්දාදුවන් අවුන් සාන් සූ කී අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඇගේ යැංගොන් නුවර නිවසේ තිබී වෝකිටෝකි ඇතුළු සන්නිවේදන උපකරණ හමුවිය. ඒවා සම්බන්ධයෙන් බලපත්‍ර නොතිබුණු බව ද පැවැසිණි. 

සූ කී ට අමතරව, ඇගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයන් මෙන්ම ජනාධිපති ලෙස කටයුතු කළ වින් හිටිං ද ඇතුළු 354 දෙනකු හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබුණි. ජනාධිපති වින් හිටිං ට 20 වසරක සිර දඩුවම් නියම වූයේ පසුගිය ඔක්තෝබර් මාසයේය.

෴ උපුටා ගැනීම - NDTV

Classified_Ad

Classified_Ad_News_Bottom