විද්‍යාඥයන්ට හමුවුණු ඩයිනසෝර් බබා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Dec 23, 2021

විද්‍යාඥයන්ට හමුවුණු ඩයිනසෝර් බබා

ඉතාමත් හොඳින් සංරක්ෂණය වූ ඩයිනසෝර කලලයක් විද්‍යාඥයන්ට හමුවීමේ පුවත ලොව කැලැඹීමක් ඇති කළේය. 'ඉතාමත් හොඳින් සංරක්ෂණය වූ' යනුවෙන් අදහස් කරන්නේ මෙම ඩයිනසෝර කලලයට පණ තිබෙන බව හෝ ඩයිනසෝරයකුට පණ දීමට හැකිවන බව නම් නොවෙයි.

'ඉතාමත් හොඳින් සංරක්ෂණය' වී හමුවුණේ පොසිලකරණයට ලක්වුණු ඩයිනසෝර බිත්තරයකි. මේ පොසිලකරණය වූ බිත්තරයේ ඇති වැදගත්කම වන්නේ, මේ අයුරින් සංරක්ෂණය වූ ඩයිනසෝර බිත්තරයක් මීට පෙර හමුවී නොවීම සහ ඩයිනසෝරයන් කුරුල්ලන්ට සමාන බව තහවුරු වීම නිසාය. 

 කලලය සහිත පොසිල බිත්තරය, අවුරුදු මිලියන 72 ක් හෝ 66 ක් පැරැණි යැයි පැවැසෙයි. පුංචි කුරුළු පැටවකු බිත්තරයෙන් එළියට පැමිණීමට උත්සාහ ගන්නා අයුරින්, මෙම බිත්තරය තුළ ඩයිනසෝර පැංචකු සිටින බව පැහැදිලිව පෙනෙයි. 

මේ සටහන සමඟ ඡායාරූප දෙකක් පළ වෙයි. එයින් එකක් පොසිල බිත්තරයේ සැබෑ ඡායාරූපයකි. පණ පිටින් බිත්තරය තුළ සිටින ඩයිනසෝර පැටවා පරිගණකයෙන් කළ නිර්මාණයකි. පොසිල බිත්තරය හමුවී ඇත්තේ දකුණුදිග චීනයේ ගැන්ෂූ පළාතේ කළ කැණීමකදීය. ගැන්ෂූ පළාතෙන් මීට පෙර නව ඩයිනසෝර විශේෂ රැසක පොසිල සාක්ෂි හමුවී තිබේ. 

බිත්තරය අයිති, පසුපස ගාත්‍රාවලින් ඇවිද්ද, තෙරපොඩ් (දෙපා ඩයිනසෝරයන්) ඩයිනසෝරයකු වන රැප්ටරයකුටය. මේ ඩයිනසෝරයා 'ඕවිරැප්ටර්සෝරස්' ඩයිනසෝරයකු යැයි පැවැසෙයි. පර්යේෂකයන්, බිත්තරයේ සිටින පුංචි රැප්ටරයා නම් කර ඇත්තේත්, ඌ ලොවට හඳුන්වා දෙනු ලැබුවේත් 'බේබී යිංග්ලියැං' යන නමිනි. 

''ඉතිහාසයේ පළමු වතාවටයි අපට මේ විදියේ හොඳින් සංරක්ෂණය වුණු ඩයිනසෝර කලලයක් හමුවු‍ණේ. මේක ඉතා වැදගත් සොයා ගැනීමක්.' යැයි 'බේබී යිංග්ලියැං'කලලය ලොවට හඳුන්වා දෙමින් බර්මින්හැම් විශ්ව විද්‍යාලයේ පර්යේෂක ෆියෝන් වයිසුම් මා 'ජර්නල් අයිසයන්ස්' විද්‍යා සඟරාවට ලිපියක් පළ කර ඇත. පසුගිය දා විදෙස් මාධ්‍ය ඩයිනසෝර කලලය ගැන ලොවට කීමට පටන් ගත්තේ එම ලිපිය උපුටා දක්වමිනි. 

'බේබී යිංග්ලියැං' පැටවා හිස සිරුරට පහත් කරගෙන, වකුටු වුණු ඉරියව්වකින් බිත්තරය තුළ සිටින්නේ, වර්තමානයේ අප දකින්න පුංචි කුරුලු පැටවකු මෙනි. විද්‍යාඥයන්ගේ මතය, කුරුල්ලන් ඩයිනසෝරයන්ට ඥාති වන බවය. 'අද ඔබට ඩයිනසෝරයන් දැක ගන්න ඕනෑ නම් යන්න ඔබේ ගෙවත්තට' යනුවෙන් ඩයිසනෝර විද්‍යාඥයන් අතරේ කියමනක් ඇත්තේ ද මේ නිසාය. 

ඩයිනසෝරයන්ගේ අස්ථි පිහිටීම කුරුල්ලන්ගේ අස්ථි පිහිටීමට බෙහෙවින් සමානය. එපමණක් නොව, පියඹා යෑමට නොහැකි වුවත් ඇතැම් රැප්ටර් ඩයිනසෝරයන් අලංකාර පිහාටුවලින් සමන්විත වූ බව පොසිල සාක්ෂි අනාවරණය කර තිබේ. කුරුල්ලන් ගැන කතා කළොත්, කුරුලු බිත්තරවල කුරුලු පැටවුන්, වකුටු වී හිස සිරුරට නවා ගනිමින් සිටී. එම ඉරියව්ව පාලනය කරන්නේ වැඩෙන පැටවුන්ගේ ප්‍රධාන ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වය මතය. කුරුලු බිත්තරවල කුරුලු පැටවුන් සිටින ඉරියව්ව මෙයයි. 

ඩයිනසෝර පැටවුන් බිත්තර ඇතුළේ මෙවැනි ඉරියව්වකින් සිටින බව මීට පෙර විද්‍යාඥයන් දැන සිටියේ නැත. කුරුලු පැටවුන් ට බිත්තරය තුළ හොඳින් නිරෝගීව වැඩී එළියට පැමිණීමට මෙම වකුටු වූ ඉරියව්ව ඉතා වැදගත්ය. එසේ නොවුණහොත් බිත්තරයෙන් එළියට එන පැටවා මියයයි. ඩයිනසෝරයන් සම්බන්ධයෙන් ද එය එසේ වන්න ඇතැයි පර්යේෂක වයිසුම් මා සහ ඔහුගේ කණ්ඩායම පැහැදිලි කර තිබේ.

'දැන් අපට පැහැදිලිව කියන්න පුළුවන්, කුරුල්ලන් බිහිවුණේ ඩයිනසෝරයන්ගෙන් නම්, කුරුලු පැටවුන්ගේ කලල, බිත්තරයේ සිටින ආකාරය ඔවුන්ට උරුම වන්න ඇත්තේ ඩයිනසෝරයන්ගෙන්.' යැයි ද මා සහ ඔහුගේ කණ්ඩායම වැඩිදුරටත් පැහැදිලි කර තිබේ.

කුරුලු බිත්තර සහ උරග බිත්තරවල වෙනසක් ඇත. උරග පවුලට අයත් කිඹුල් බිත්තරවල කිඹුල් කලල එසේත් නැතිනම් පුංචි කිඹුල් පැටවුන් සිටින්නේ කුරුලු පැටවුන් මෙන් වකුටු ඉරියව්වකින් නොවෙයි. කිඹුල් පැටවුන් බිත්තරයේ සිටින්නේ වාඩි වී සිටින ආකාරයේ ඉරියව්වකිනි. හිස පපුවට ළං කර ගනිමිනි. ඒ අනුව, ඩයිනසෝරයන් උරගයන් නොවන බව ද තහවුරු වෙයි. 
පෙනුමින් යෝධ උරගයන් වැනි වුවත් 'ඩයිනසෝර්' යන නාමයේ අදහස 'බිහිසුණු උරගයා' යන්න වුවත් ඩයිනසෝරයන් උරගයන්ට ඥාතී නොවන බව විද්‍යාඥයෝ දිගින් දිගටම පෙන්වා දෙති. 'ඕවිරැප්ටර්සෝරස්' නැතිනම් 'ඕවිරැප්ටර්' යන්නෙහි අර්ථය 'බිත්තර හොරා ගන්නා උරගයා' යන්නය. 

ඕවිරැප්ටර් පිහිටුවලින් අලංකාර වූ ඩයිනසෝර විශේෂයකි. ක්‍රිටෛයිසීය අවදිය අවසානයේ ජිවත් වූ බව පැවැසෙන මෙම දෙපා ඩයිනසෝරයන්ගේ පොසිල අද ආසියාවෙන්, උතුරු ඇමෙරිකාවෙන් සොයා ගෙන තිබේ. විවිධාකාරයේ ඕවිරැප්ටර් විශේෂ ජීවත් වූ අතර, උන්ගේ ප්‍රමාණය, වර්ණය විවිධය. කළුකුමකු තරම් රැප්ටරයන් පමණක් නොව අඩි 26 ක් (මීටර් 8) දිග රැප්ටරයන් ද සිට ඇතැයි පොසිල සාක්ෂිවලින් අනාවරණය වී තිබේ.

'බේබී යිංග්ලියැං' රැප්ටර් පුංචාගේ ප්‍රමාණය හිසේ සිට වල්ගයට සෙන්ටි මීටර් 27 කි. රැප්ටර් පුංචා වකුටු වී සිටින්නේ සෙන්ටි මීයර් 17 ක බිත්තරයක් තුළය. මේ පොසිල බිත්තරය මේ වනවිට යිංග්ලියැං ස්වභාව ඉතිහාස කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා තිබේ. 

සෙසු ඩයිනසෝරයන් මෙන්ම රැප්ටරයන් ද කූඩු තනන්නේ බිමය. බිත්තර සහිත කූඩුව මතට පස් කන්දක් කඩා වැටී බිත්තර පස්වලට යටවී වැළලී යන්න ඇති බවත්, කසල භක්ෂකයන්ගෙන් ඒවා ආරක්ෂා වී පසුව පොසිලකරණයට ලක් වන්න ඇති බවත් විශ්වාස කෙරේ. ඉදිරියේ දී හමුවුණු 'බේබී යිංග්ලියැං' තව තවත් ස්කෑන් පරීක්ෂණ සඳහා යොමු කර, තවත් විස්තර දැන ගැනීමට පර්යේෂකයෝ සූදානමින් සිටිති. 

෴ උපුටා ගැනීම - Daily Mail

Classified_Ad

Classified_Ad_News_Bottom