නිල් දියමන්ති පලහිලව්ව - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jan 30, 2022

නිල් දියමන්ති පලහිලව්ව

නිල් දියමන්ති පලහිලව්ව වසර 33 කට පසු, තායිලන්තයත්, සෞදි අරාබියත් අතරේ යහපත් සබඳතා වර්ධනය වෙමින් පවතී. ඒ, සෞදියේ ඔටුන්න හිමි මොහොමද් බින් සල්මාන් කුමරුන්ගේ විශේෂ ඇරැයුමකට අනුව, තායිලන්ත අග්‍රාමාත්‍ය ප්‍රයාත් චාන් ඕචා ඇතුළු විශේෂ දූත පිරිසක් දෙදින නිල සංචාරයක් සඳහා සෞදියට යෑමෙන් පසුවය. 
තායිලන්තය සහ සෞදිය අතරේ ඇයි හොඳයිකම් සබඳතා පළුදු වූයේ 1989 වසරේ සිදුවුණු ස්වර්ණාභරණ සොරකමක් මුල්කොට ගනිමිනි. එම සොරකම සහ ඊට පසු සිදුවුණු සිදුවීම් මාලාව රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් තෙක් දුරදිග ගිය අතර, අවසානයේ තායිලන්තය සමඟ සියලු සබඳතා නවතා දැමීමට සෞදිය තීරණය කළේය.

දැන් වසර 33 කට පසු, යළිත් වරක් දෙරට අතර යහපත් සබඳතා ගොඩ නැගෙමින් පවතී. 1989 වසරේ, තායිලන්ත ශ්‍රමිකයකු වූ ක්‍රියැංග්ක්‍රායි ටෙකාමොංග්, සෞදියේ ෆයිසාල් බින් ෆහාද් කුමරුන්ගේ මාලිගයේ පිරිසුදු කිරීමේ සේවකයකු ලෙස රැකියාව කරමින් සිටියේය. 

කුමරුන්ගේත් රජ පවුලේ සෙසු සාමාජිකයන්ගේත් විශ්වාසය දිනා ගත් ක්‍රියැංග්ක්‍රායි ට කුමරුන්ගේ නිදන කාමරයට යෑමට ඒමට අවසර හිමිවී තිබුණි. ක්‍රියැංග්ක්‍රායි, කුමරු සතු ඉතා වටිනා මුතු මැණික් ඇතුළු ස්වර්ණාභරණ සොරකම් කළේය. සොරකම් කළ සියල්ල කාටත් හොරා කසළ එක් රැස් කරන මල්ලක සඟවා තැබුවේය. සොරකම් කළ මැණික් අතරේ කැරට් 50 ක නිල් දියමන්තියක් ද විය. 

සොරකම සහ ඊට අදාළ සිදුවීම් මාලාව 'Blue Diamond Affair' එසේත් නැතිනම් 'නිල් දියමන්ති පලහිලව්ව' යනුවෙන් හැඳින්වෙන්නේ මෙම නිල් දියමන්තිය නිසාය. සොරකම් කළ මුතු මැණික් ඇතුළු ස්වර්ණාභරණ නැව් මගින් තායිලන්තයේ ලැම්පැංග් පළාතේ සිය නිවසට රැගෙන යෑමට ක්‍රියැංග්ක්‍රායි කෙසේ හෝ සමත් විය. සොරකම් කළ ඒවා බැවින්, ස්වර්ණාභරණ සහ මැණික් විකිණීම ක්‍රියැංග්ක්‍රායි ට ගැටලුවක් විය. ඔහු ඉතා අඩු මුදලකට ඒවා විකුණා දමන්න පටන් ගත්තේය. 

බැංකොක් නුවර ස්වර්ණාභරණ හිමිකරුවකු වූ සාන්ති සිතන්කාන් ට ඒ ගැන අසන්න ලැබුණි. ඔහු වහා ක්‍රියැංග්ක්‍රායි සොයා පැමිණියේය. සාන්ති, යැංග්ක්‍රායි හමුවී බොහොම අඩු මුදලකට ඉතා වටිනා මැණික්වලින් වැඩි ප්‍රමාණයක් මිලදී ගත්තේය. සෞදි රජයටත්, එරට පොලිසියටත් සහාය දක්වමින්, තායිලන්ත රජයේ උපදෙස් මත තායිලන්ත රාජකීය පොලිස් නිලධාරීන් කණ්ඩායමක් සොරකම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබුණි. 

එම පොලිස් කණ්ඩායමට ක්‍රියැංග්ක්‍රායි අත්අඩංගුවට ගැනීමට හැකි වූයේ, සාන්ති සිතන්කාන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලිනි. විමර්ශන කටයුතු කළේ තායිලන්ත පොලිසියේ ලුතිතන් ජනරාල් චලෝර් කර්තේස් ප්‍රමුඛ කණ්ඩායමය. සොරකම් කළ ස්වර්ණාභරණවලින් බොහොමයක් යළි සොයා ගැනීමට පොලිස් කණ්ඩායමට හැකියාව ලැබුණි. ක්‍රියැංග්ක්‍රායි ට සත් වසරක සිරදඩුවමක් හිමිවිය. සොරකම පිළිබඳ පාපොච්චාරණය කරමින් වරද පිළිගැනීම සහ පොලිසිය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම නිසා ක්‍රියැංග්ක්‍රායිගේ දඩුවම් කාලය අඩු කෙරුණි. 

යළි සොයා ගැනීමට හැකිවුණු ස්වර්ණාභරණ ද රැගෙන ලුතිතන් ජනරාල් චලෝර් කර්තේස් ප්‍රමුඛ පොලිස් කණ්ඩායම ඒවා සෞදියට රැගෙන ගියේය. එහෙත්, ඒ අතරේ මිල කළ නොහැකි නිල් දියමන්තිය නොමැති බව සෞදි බලධාරීහු පැවැසූහ. ඊට අමතරව, සොයා ගෙන ආපසු ගෙනා මැණික්වලින් බොහොමයක් ව්‍යාජ ඒවා බව ද සෞදි බලධාරීහු පෙන්වා දුන්හ. මේ වනවිට තායිලන්ත වැසියන් ගැනත්, තායිලන්ත පොලිසිය ගැනත් රජය ගැනත් සෞදි රජයේ අප්‍රසාදයක් ගොඩ නැගෙමින් තිබුණි. 

මේ අතරතුරේ බැංකොක් නුවර, පුණ්‍යායතනයක් සංවිධානය කළ සාදයක ඡායාරූප මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් විය. එම සාදයට පැමිණියේ තායිලන්ත රජයේ ඉහළ නිලධාරීන් සහ ඔවුන්ගේ බිරියන් ඇතුළු ප්‍රභූවරුන්ය. රජයේ ඉහළ නිලධාරීන්ගේ බිරියන් දියමන්ති මාල පැලඳ සිටි අතර, ඒවා සෞදි කුමරුන්ගේ මාලිගයෙන් සොරාගත් ස්වර්ණාභරණවලට බොහෝ සේ සමාන විය. 

තායිලන්ත පොලිසිය සහ රජයේ ඉහළ නිලධාරීන්, ක්‍රියැංග්ක්‍රායි සොරාගත් ස්වර්ණාභරණ ඔවුන් සන්තකයේ තබා ගනිමින් ව්‍යාජ ඒවා තමන්ට බාර දීමට කටයුතු කළේ යැයි සෞදිය චෝදනා නගන්න වූයේ මෙම අවස්ථාවේදීය. ඒ අනුව සෞදියත් තායිලන්තයත් අතර අර්බුදය ඔඩුදුවන්න පටන් ගත්තේය. සෞදි රජ පවුලේ සමීපතමයකු මෙන්ම ව්‍යාපාරිකයකු ද වන මොහොමද් රුවාලි, තායිලන්තයේ බැංකොක් අගනුවර බලා ගියේ 1990 පෙබරවාරි 12 වැනිදාය. ඒ, සොරකම සහ ඒ සම්බන්ධයෙන් පැවැත්වූ විමර්ශන සම්බන්ධයෙන් පෞද්ගලික මට්ටමේ සොයා බැලීමේ අරමුණින්ය. 

එහෙත්, බැංකොක් නුවරදී මොහොමද් රුවාලි අතුරුදන් විය. ඔහු ඝාතනයට ලක් වන්න ඇතැයි අනුමාන කෙරේ. එම සිදුවීමට පෙර, 1989 ජනවාරි 4 වැනිදා බැංකොක් නුවර සිටි සෞදි රාජ්‍ය තාන්ත්‍රිකයකු හිටිහැටියේ ඝාතනයට ලක් විය. ඉන්පසු 1990 පෙබරවාරි පළමු වැනිදා ද බැංකොක් නුවර සිටි තවත් සෞදි රාජ්‍ය තාන්ත්‍රිකයෝ තිදෙනෙක් ඝාතනයට ලක් වූහ. 

එම ඝාතන සහ ස්වර්ණාභරණ සොරකම අතරේ සම්බන්ධයක් නැතැයි තායිලන්තය තරයේ පැවැසූ නමුත්,සෞදිය දිගින් දිගටම චෝදනා කරන්න වූයේ එම සිදුවීම් එකිනෙක සම්බන්ධ බවටය. 1995 දී පොලිස් පරීක්ෂණ මෙහෙයවූ ලුතිතන් ජනරාල් චලෝර් කර්තේස් අත්අඩංගුවට ගැණුනි. ඒ, මෙම පලහිලව්වට සම්බන්ධ යැයි කියන මැණික් ව්‍යාපාරිකයකුගේ බිරිඳ සහ පුත්‍රයා ඝාතනය කිරීමට නියෝග දීම සම්බන්ධයෙනි. එල්ල වුණු චෝදනාවලට චාලර් වරදකරු වූ අතර, ඔහුට මරණ දණ්ඩනය නියම කෙරුණි. 

තායිලන්ත ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ 2009 ඔක්තෝබර් 16 දින චලෝර් කර්තේස්ගේ මරණ දණ්ඩනය ක්‍රියාත්මක කළ යුතු බවය. කෙසේ නමුත්, තායිලන්ත භූමිබෝල් අදුල්යාදේජ් රජතුමන්ගේ 84 වැනි ජන්ම දිනය නිමිත්තෙන් චලෝර්ගේ මරණ දඩුවම අහෝසි කෙරුණු අතර, එය වසර 50 ක සිරදඩුවමකට පෙරැළිණි. 

2015 වසරේ අගෝස්තුවේ ලුතිතන් ජනරාල් චලෝර්ට රාජකීය සමාව යටතේ නිදහස හිමිවිය. වසර පහකට ආසෙන්න කාලයක් බන්ධනාගාරගතවී සිට 2016 මාර්තු 17 වැනිදා නිදහස ලැබූ ක්‍රියැංග්ක්‍රායි පැවිදි විය. ඒ තමන් කළ වරද සම්බන්ධයෙන් ජීවිනාත්තය තෙක් පසු තැවෙනවා යැයි මාධ්‍ය හමුවේ පැවැසීමෙන් අනතුරුවය. අතුරුදන් වුණු 'නිල් දියමන්තිය' තමන්ටත් තම පවුලේ සාමාජිකයන්ටත් ශාපයක් වූ බව ද ක්‍රියැංග්ක්‍රායි මාධ්‍ය හමුවේ කියා සිටියේය.

෴ උපුටා ගැනීම - Al Jazeera

Classified_Ad

Classified_Ad_News_Bottom