ගීත කෝකිලාවිය සමුගනී - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Katayam.com

Feb 6, 2022

ගීත කෝකිලාවිය සමුගනී

භාරතයේ ගීත කෝකිලාව ඇයයි. ගායන ලෝකයේ රැජින ඇයයි. ලොව වැඩි ම ගීත ගණනාවක් පටිගත කළ ගායිකාව ඇයයි. ලොව භාෂා වැඩි ම ගණනකින් ගී ගැයූ අසහාය ගායිකාව ඇයයි. දශක අටකට වැඩි කාලයක් තිස්සේ එක සේ ගී ගැයූ ‘සදාහරිත’ ගායිකාව ලෙස සැලකෙන්නේ ඇයයි. ඉන්දියාවේ විශ්ව විද්‍යාල හතරකින් ආචාර්ය උපාධි හතරක් පිරිනැමුණු එකම කාන්තාව ඇයයි. ප්‍රංශ රජයේ ගෞරව සම්මානයක් ලෙස සැලකෙන ‘ලීජන් ඔ‍ෆ් ඔනර්’ සම්මානයෙන් ලැබුවේ ඇයයි. ඉන්දීය රජයෙන් පිරිනැමෙන ඉන්දියාවේ ඉහළම ගෞරව සම්මානය වන 'භරත රත්න' සම්මානයෙන් ද පිදුම් ලැබුවේ ඇයයි. ඇය ලතා මංගේෂ්කාර් ය. 
භාරතය පමණක් නොව, මුළු ලොවම හඩවමින්, 92 හැවිරිදි වියෙහි පසුවුණු ලතා මංගේෂ්කාර් මහත්මිය 'කොවිඩ්' මාරයාට බිලිවූවාය. 'කොවිඩ් 19' ආසාදිතයකු ලෙස හඳුනා ගැනීමෙන් පසු ලතා මංගේෂ්කාර් මහත්මිය මුමබායි නුවර 'බ්‍රීච් කැන්ඩි' පෞද්ගලික රෝහලට ඇතුළත් කෙරුණේ මීට මාසයකට පෙරය. ඇයට ප්‍රතිකාර ලබා දෙන වෛද්‍යවරුන් ඊයේ (5) දැඩි කනස්සල්ලෙන් කියා සිටියේ 'කොවිඩ් නියුමෝනියා' තත්ත්වය හේතුවෙන් ලතා මංගේෂ්කාර් මහත්මියගේ තත්ත්වය බරපතල බවත්, ඇය 'වෙන්ටිලේටර්' යන්ත්‍රයකට සම්බන්ධ කළ බවත්ය. ලතා මංගේෂ්කාර් මහත්මිය වෙනුවෙන් කළ හැකි සෑම ප්‍රතිකාරයක්ම කළ නමුත්, ඇය දිවියෙන් සමුගත් බව වෛද්‍යවරුන් පැවැසුවේ අද (6) උදෑසනය. 

ලතා මංගේෂ්කාර් අභාවප්‍රාප්ත වූ පුවත ඉන්දියානුවන් පමණක් නොව, ඇගේ කටහඩට ඇලුම් කරන ඇගේ ඇගේ ගීත රසවිඳින ලාංකික අපටත් කම්පනයක් වූ බව රහසක් නොවෙයි. ලතා මංගේෂ්කාර් මහත්මියගේ අභාවය සැලවුණු සැණින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ජනාධිපති රාම් නාත් කෝවින්ද්, කොංග්‍රස් පක්ෂ සභාපති රාහුල් ගාන්ධි ඇතුළු ඉන්දීය දේශපාලනඥයන්, ඉන්දීය නළු නිළියෝ සමාජ මාධ්‍ය ඔස්සේ සොව පළ කළහ. විදෙස් මාධ්‍ය ලතා මංගේෂ්කාර් මහත්මියගේ අභාවය පිළිබඳ පුවත් පළ කරන්න විය. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය ශෝක පණිවුඩයෙන් කියා සිටියේ ලතා මංගේෂ්කාර් මහත්මියගේ 'අඩුව' පිරවීමට නොහැකි වනු ඇති බවය. 

ඇය සැබැවින්ම අසමසම ගායිකාවකි. ලතා මංගේෂ්කාර් උපන්නේ ඉන්දියාවේ ඉන්දෝර්වලදී 1929 සැප්තැම්බර් 28 වැනිදාය. උපතින් ‘හේමා’ වූ ඇගේ නම පසුව ‘ලතා’ යනුවෙන් වෙනස් කෙරුණේ ඇගේ පියාගේ ජනප්‍රිය නාට්‍යයක් වූ ‘බාව් බන්ධාන්' හි ප්‍රධාන කාන්තා චරිතය වූ ‘ලතිකා’ නිසා යැයි පැවැසෙයි. වේදිකා නාට්‍යකරුවකු, නළුවකු, ගායකයකු වූ ඇගේ පියා දීනානාත්, ගෝවේ මංගේෂි නගරයේ උපන් අයකු වූ නිසා ඒ අනන්‍යතාව තබා ගැනීමේ අදහසින් ඔහු උපන් ගම ඇසුරෙන් වාසගම ‘මංගේෂ්කාර්’ යනුවෙන් හදා ගෙන තිබුණි. ඒ අනුව ඇය ලතා, ලතා මංගේෂ්කාර් වුවා ය. ලතා සංගීතය ඉගෙනීම ආරම්භ කළේ පස් හැවිරිදි වියේ සිට ම ඇගේ පියාගෙනි. 

පියා ඔහුගේ ගීත නාටකවලට රඟපෑමට හා ගායනයට ඇය කුඩා වියේ දී ම පුහුණු කළේය. ලතා පවසන්නේ, ඇය ප්‍රසිද්ධ වේදිකාවේ ගී ගයන්නට එක් වූයේ නව හැවිරිදි වියේ දී කියා ය. 1930 ගණන්වල අග භාගයේදී පියා හා ඔහුගේ නාට්‍ය කණ්ඩායම සමඟ කළ සංචාරයක දී ෂෝලාපූර්හිදී පිරිසක් එහි විවිධ ප්‍රසංගයක ගී ගයන්නට ඇගේ පියාට ඇරයුම් කරනු ලතාට ඇසුණි. ඒ අසා පියා සමඟ ගී ගයන්නට ඇය අවසර පැතුවා ය. ඒ අනුව පියා හා එක්ව ඒ ප්‍රසංගයෙහි ඇය ගී ගැයුවා ය. පසුව ලතාගේ පියා හදිසියේ ඇති වූ හෘදයාබාධයකින් මරණයට පත් වන විට ලතාගේ වයස අවුරුදු 13ක් වූ අතර මුළු පවුලේ බර කරට ගැනීමට ඇයට සිදු විය. 

පවුලේ වැඩිමලා වූ ඇයට මීනා, ආෂා, උෂා හා හෘදයනාත් කියා බාල ‍සහෝදර සහෝදරියන් හතර දෙනකුගේ බර ද ඇගේ කරට වැටුණේ ය. පියාගේ හිතවතකු වූ මාස්ටර් විනයාක් ඔහුගේ චිත්‍රපටවලට ගායිකාවක හා රංගන ශිල්පිනියක ලෙස ලතා බඳවා ගත්තේය. 1945 දී ඔහුගේ චිත්‍රපට සමාගම මුම්බායට ගෙන එද්දී ලතාටත් එහි ඒමට සිදු විය. එහිදී එකල ප්‍රකටව සිටි ප්‍රශස්ත ගායකයන් වූ උස්තාද් අමාන් අලි ඛාන් සාහිබ් සහ අමනාත් ඛාන් යන දෙදෙනාගෙන් හින්දුස්ථානි ශාස්ත්‍රීය සංගීතය හා ගායනය පිළිබඳ පුහුණුවක් ලැබීමට ඇයට හැකි විය. 

එදා හින්දි සිනමාවේ, නූර් ජෙහාන්, ෂම්සාද් බෙගම් වැනි ගැඹුරු නාසික හඬකින් ගයන ගායකාවන් සිටි නිසා, ඔවුන්ගේ හඬ පෞරුෂය ලතාගේ සිහින් කටහඬට වඩා උසස් යැයි පෙන්වා දෙමින් අවස්ථා ගණනකදී ඇය ප්‍රතික්ෂේප කෙරුණු බව ද පැවැසෙයි. කෙසේ නමුත් ලතා ඉන් අධෛර්යයට පත් වූ‍යේ නැත. ඇය හින්දි චිත්‍රපට අධ්‍යක්ෂ වරුනට හඳුන්වා දුන් සංගීත අධ්‍යක්ෂ ගුලාම් හයිඩර් එදා මාධ්‍ය හමුවේ පවසා තිබුණේ ‘අද ඇය එපා කියන අය, අනාගතයේ දවසක ලතා පසුපස වැඳගෙන එන කාලයක් උදාවේවි' යනුවෙනි. 
ලතා මංගේෂ්කාර් මුලින් ම චිත්‍රපට ගීයක් ගැයුවේ 1942 දී මරාති චිත්‍රපටයකටය. ඒ වසන්ත ‍ජොග්ල්කාර්ගේ ‘කිටී හසාල්’ නම් විය. ඒත් ඒ ගීය ඇතුළත් කොටස සංස්කරණයේ දී ඉවත් කෙරිණ. ඉන්පසු ඇය හින්දි ගීයක් ගැයූවේ ‘ගජබාහු’ (Gajaabaahu -1943) නම් තවත් මාරාති චිත්‍රපටයකටය. ඇයගේ ජනප්‍රිය වූ ප්‍රථම හින්දි ගීතය, ගුලාම් හයිඩර් සංගීතවත් කළ ‘මජ්බූර් (Majboor - 1948) චිත්‍රපටයට ඇතුළත් විය. ඇය පසුබිම් ගායනය කළ හින්දි චිත්‍රපට ගණන පමණක් දෙදහසකට වැඩි ය. ඇය හින්දි, මරාති, උර්දු, බෙංගාලි ඇතුළු ඉන්දියානු භාෂා 36කින් ගී ගැයුවා ය. 

 ඊට අමතරව සිංහලෙන් ද ගීයක් ගැයුවා ය. ඇය සිංහල ගීය ගැයූ ආකාරය පිළිබඳ පසුබිම් පුවත විස්මිත එකකි. ඒ විස්මිත සිදුවීමට උර දුන්නේ සුවිශේෂ පුද්ගලයන් දෙදෙනෙකි. එක් කෙනෙක් යුග ගී ගායනය අපට හඳුන්වා දුන්, අපේ ජාතික ගීයේ නිර්මාතෘ වූ ආනන්ද සමරකෝන් මහතාය. අනෙක් තැනැත්තා සිංහල චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිසි ප්‍රථම දෙමළ ජාතිකයා වූ ටී. සෝමසේකරන් මහතාය. 

ආනන්ද සමරකෝන් මහතා ඒ කතාව එදා කීවේ මෙසේය. ‘ඉන්දියාවෙදි, සෝමසේකරන් මහත්තයා ලතාජී එක්ක කතා කරලා මට කිව්වා, එයා ලවා ගායනය කරන්න බලාපොරොත්තු වන ගීය පිළිබඳ විස්තර කරන්න කියා. ඒ ගීය ටිකක් දිග එකක්. විනාඩි අටක් විතර දිගයි. මං හින්දියෙන් එතුමියට කතා කරලා ගීයේ අදහස, වචන, තනු‍ව ගැන විස්තර කරලා දුන්නා. එතුමියට එදා අවිවේකී දවසක්. ඒත් එතුමියව ගුවන් යානයකින් අපේ රෙකෝඩින් තිබුණු ප්‍රාන්තයට ගෙන්වා ගෙන අවසන් වූ වහා ම ආපසු යවන්න සෝමසේකරන් කටයුතු සූදානම් කරලා තිබ්බා. කෙළින් ම රෙකෝඩින්වලට ගිය ඇය හින්දියෙන් ගීය කියවා බලා වචනවල උච්චාරණය ගැන සැක ඇති තැන් මා ලවා පැහැදිලි කරවා ගත්තා. විනාඩි කීපයක් ඇතුළත ඒවා නිරවුල්ව ‍තේරුම් ගත් ඇය තමා පටිගත කිරීමට සූදානම් බව කීවා.' ‘ඉන්පසු පුදුමය නම් කිසිදු වරදක් නොවී එකවර ම පටිගත කිරීමයි. ඇයගේ පටි ගත කිරීමේ දක්ෂතාව ගැන මා ඇයට ප්‍රශංසා කළා. ඊට නිහතමානී හිනාවකින් පිළිතුරු දුන් ඇය විනාඩි විස්සක් විතරමයි එතැන රැඳී සිටියේ. සෝමසේකරන් මහතා ඇයව ගුවන්තොටුපළට යැව්වා. ඇත්තට මට අදත් ඒක හීනයක් වගෙයි.’ ආනන්ද සමරකෝන් මහතා එදා ඒ අවස්ථාව ගැන කියා තිබුණේ සතුටින් ඉපිලෙමිනි. 

ලතා මංගේෂ්කාර් දශක හතක් තිස්සේ ඉන්දියානු සිනමාවට අනූපමය සේවයක් කළාය. ඇය තරම් විවිධ සම්මාන ලත් ඉන්දියානු පුරවැසියෙක් තවත් නැත. චිත්‍රපට පසුබිම් ගායනයට පිට පිට ෆිල්ම් ෆෙයාර් සම්මාන සිවු වරක් දිනා ගත් ඇය 1969 දී අලුත් අයට තැන දෙන්නට ඉන්පසු තමන්ව සලකා නොබලන්නැයි කියා ඉන් ඉවත් වුණා ය. 1993 දී ෆිල්ම් ෆෙයාර් යාවජීව සම්මානය ද ඇයට හිමි විය. 

ජාතික සිනමා සම්මාන තුනක් ද, බෙංගාලි සිනමා ලේඛකයන් වෙතින් සම්මාන 15ක් ද ලැබුවා ය. 2012 දී ඉන්දියාවේ ‘අවුට් ලුක්’ සඟරාව ගාන්ධිගෙන් පසු බිහි වූ විශිෂ්ට ඉන්දියානුවන් ගැන කළ ජන මත විචාරණයේ දී ලතා මුල් 10 දෙනා අතරන් තුන් වැනි තැනට පත් වීමේ භාග්‍යය හිමි කර ගත්තා ය. ඇයට වඩා ඉදිරියෙන් සිටියේ බී. ආර්. අම්බෙඩ්කාර් හා ජේ. ආර්. ඩී. ටාටා යන දෙදෙනා පමණ ය. 

හතර වැනි, පස් වැනි තැන්වලට පිළිවෙළින් තේරුණේ සචින් ටෙන්ඩුල්කාර් හා ජවහර්ලාල් නේරු තුමන් යන දෙදෙනා ය. ලතා මංගේෂ්කාර්ගේ හඬට මෙන් ම නමට ද ආදරය නොකළ කෙනකු ලොව නැති තරම් ය. ඇය ගයන බස කුමක් වුවත් ශ්‍රාවකයන්ට ඉන් ලද ඉමිහිරි ආස්වාදය අඩුවක් නොවීය. ඇය ලන්ඩනයේ ඇල්බට් හෝල් නෘත්‍යශාලාවේ ඒක පුද්ගල ගායන ප්‍රසංගයක් පැවැත් වූ ප්‍රථම ඉන්දියානු කාන්තාව ද වූවා ය. 

ඉන්දියානුවන් ලතාගේ නමට ඉමහත් ගෞරවයක් හා ආදරයක් දැක්වූ තරම් කෙතරම් ද යත් 1999 දී ඇගේ නමින් ආ ‘ලතා ඕ ඩී පර්ෆියුම්’ නම් සුවඳ විලවුන් වර්ගයක් එකාවන් ව මිලදී ගත් බව සඳහන් ය. 1999 දී ඇය පාර්ලිමේන්තුවට ද නම් කරනු ලැබුවා ය. එහෙත් එකල අසනීප තත්වය හේතුවෙන් ඇය රාජ්‍ය සභාවට සහභාගි වූයේ නැත. 

ඒ වෙනුවෙන් ඇය කිසිම මුදලක් භාර ගත්තේ නැත. දිල්ලියේ ඇයට ලැබුණු නිවසට ගියේ ද නැත. පසුව ඇය සිය නිර්මාණ කුසලතාව මෙහෙයවමින් අඩෝරා නමින් ඉන්දියානු දියමන්ති අපනයන සමාගමක් පිහිටුවා එහි දියමන්ති එකතුව ස්වරාංජලී ලෙස නම් කළා ය. 

ඇය වරක් ඉන් දියමන්ති පහක් ලන්ඩනයේ ක්‍රිස්ටීස් වෙන්දේසි හලේ දී අළෙවි කර ලත් පවුම් 105,000 ක මුදල 2005 දී කාශ්මීරයේ භූමිකම්පාවෙන් විපතට පත් අය වෙනුවෙන් පරිත්‍යාග කළා ය. ඇය ශ්‍රේෂ්ඨ ගායිකාවක පමණක් නොව, මානව දයාවෙන් පිරුණු ගෞරවණීය චරිතයකි. 

෴ උපුටා ගැනීම - NDTV

No comments:

Post a Comment

Stay Safe

Stay_Safe Free_Ad